37. නවා සූත්‍ර වර්ණනා
සාමුද්දිකාය නාවාය = යන ආදිය වනාහී යට වෙළෙන්දා පිළිබඳ උපමා මෙහිදී විස්තර කරන ලද්දේමය.
41. ආගන්තුක සූත්‍ර වර්ණනා
ආගන්තුකා ගාරං = පින් කැමැත්තවුන් විසින් නුවර මැද කරවන ලද ආගන්තුකයන් සඳහා වූ ගෘහය, එහි රාජරාජ මහාමාත්‍යවරුන් හට ද නැවතීම සඳහා පැමිණිය හැක. අහිඤ්ඤා පරිඤ්ඤෙය්‍ය = යම් සේ වනාහී පෙරදිග ආදී දිසාවන්ගෙන් පැමිණි එම ක්ෂත්‍රිය ආදීන් හට ද ආගන්තුක ගෘහයෙහි වාසය පිණිස කැමැත්ත උපදීද, එසේම මනාවූ නුවණින් දත යුතුව ඇතැයි යන ආදී මේ ධර්මයන් හට ද, මනා වූ නුවණින් දැන ගත යුතුව ඇතැයි යන විදර්ශනා ආර්ය මාර්ගය වැඩීමට ද කැමතිවෙත් ද ඒ නිසා මෙය කියන ලදී. නදීසූත්‍රය යට කියන ලද පිළිවෙළ අනුවම වේ.
බලකරණිය වර්ගය නිමියේය.
15. එසනා වර්ගය
1-16. එසනා ආදි සූත්‍ර වර්ණනා
එසනා වර්ගයෙහි - කාමෙසනා = කාමයන් සෙවීම, සොයා බැලීම, පරීක්ෂාව, ප්‍රාර්ථනා කිරිම. භවෙසනා = භවයන් සෙවීම. බ්‍රහ්මචරියෙසනා = මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව සෙවීම.
17-32. විධා සූත්‍ර වර්ණනා
විධා = මාන්නය ඇති අය, මාන්නයේ පිහිටි අය සෙය්‍යොහමස්මීති විධා = මම ශ්‍රේෂ්ඨ වෙමියි යනුවෙන් මෙසේ මාන්නය ඇත්තේ, මාන්නයේ පිහිටියේ වෙයි. නීඝා = දුක් මෙහි වචනාර්ථය නම් මෙසේය. යමකුගේ ඉපදීමක් වේද? එය පුරුෂයා විනාශ කරයි යන අරුතින් “නීඝා” නම් වේ. මෙහි සෙසු කොටස් පහසු වෙයි.
එසනා වග්ගය නිමියේය.
16. ඔඝ වර්ගය
1. ඔඝ සූත්‍ර වර්ණනා
ඔඝ වර්ගයෙහි - කාමොඝො = පඤ්ච කාම ගුණයන්හි ඇල්ම. භවොඝො = රූප අරූප භවයන්හි ඇල්ම. දිට්ඨොඝො = සැට දෙකක් වන මිථ්‍යා) දෘෂ්ටීන්. අවිජ්ජොඝො = චතුරාර්ය සත්‍යයන්හි නො දැනීම. කාම භෝග ආදියෙහිද මේ පිළිවෙළම වේ.
33. උපාදාන සූත්‍ර වර්ණනා
කාමුපාදානං = කාමයන් ග්‍රහණය කර ගැනීම. “දිට්ඨුපාදාන” ආදියෙහි ද මේ පිළිවෙළම වේ. ගත්‍ථා = ගෙතීම, පෑස්සීම කාය ගන්‍ථො = ශරීරයේ නාමයන් එකට ගෙතීම. ගෙතීම්, ගැළපීම් පිළිබඳ ක්ලේශය. ඉදං සච්චාභිනිවෙසො = අන්තග්‍රාහික දෘෂ්ටි වශයෙන් උපන්. මෙයම සත්‍යය වේ යනුවෙන් මෙසේ එහි ඇලී සිටීම.
65. අනුසය සූත්‍ර වර්ණනා
කාමරාගානුසයො = ශක්ති ස්වභාවයට එක් වූ යන අර්ථයෙන් කාමරාග නම් ක්ලේශය වේ. සෙසු තන්හිද මේ පිළිවෙළම වේ. ඔරම්භාගියානි = යට කොටස්වලට අයත් සඤ්ඤොජනානි = බැඳීම් උද්ධම්භාගියානි = ඉහළ කොටස්වලට අයත් සෙස්ස සියලු තන්හිම පහසු අරුත් ඇත්තේමය.
මග්ග සංයුත්තය නිමියේය.
2. බොජ්ඣඞ්ග සංයුක්තය
1. පබ්බත වර්ගය
1. හිමවන්ත සූත්‍ර වර්ණනාව
බොජ්ඣඞ්ග සංයුත්තයේ පළමු වැන්නෙහි නාගා = මොව්හු ද මහ සමුදුර මතුයෙහි රළ අතරේ වෙසෙන්නෝ ය, විමාන වාසී නාගයෝ නො වෙති. හිමවත ඇසුරුකොට ගෙන සිදු වූ ඔවුන්ගේ කාය වර්ධන ආදී සියල්ල යට කියන ලද පිළිවෙළින්ම දත යුතුය. බොජ්ඣඞ්ග = මෙහිදී බුද්ධත්වය සඳහා වූ හෝ බුද්ධත්වයට අයත් වූ හෝ අංගයන්ය යන අදහසින් බොජ්ඣඞ්ග නම් වේ. කුමක් කියන ලද්දේද යත්:- “යම් තාක් ලෞකික ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි උපදින්නාවූ සැඟවුණ නොසන්සුන් බව, පිහිටීම, රැස් කිරීම, කම් සුවය, අත්තකිලමථානු යෝගය, උච්ඡේද සහ ශාස්වත දෘෂ්ටි යන මේවායෙහි ඇලීම ආදී අනේක විධ උපද්‍රවයන් හට එරෙහිව පවතින සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්‍ඛා යන ධර්මයන්ගේ එක් වීම සඳහා ආර්ය ශ්‍රාවකතෙමේ අවබෝධය ලබා ගනියි” යනුවෙන් අදහස් කොට “බෝධි” යනුවෙන් කියනු ලැබේ. බුඡ්ඣති (හෙවත් අවබෝධකර ගනියි) යනුවෙන් කෙලෙස් සිතුවිලි පිළිබඳ නිද්‍රාවෙන් පිබිදෙයි හෝ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගනියි හෝ නිර්වාණයම සාක්ෂාත් කර ගනියි හෝ යනුවෙන් කියන ලද්දේ වෙයි. යම් සේ බොජ්ඣඞ්ග සත වඩා උතුම් වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරගත් සේකැයි කීයේ ද, එසේ සිදු විය. ධර්ම සාමග්‍රී සංඛ්‍යාත වූ එම බෝධියේ අංගයන්ය යන අදහසින් බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ. ධ්‍යානාංග, මාර්ගාංග ආදිය මෙනි. කියන ලද ආකාර ඇති, මෙම ධර්ම කරුණු එකතුවෙහි අවබෝධය ඇතිකර ගනිමියි යනුවෙන් යම්කිසි ආර්ය ශ්‍රාවක කෙනෙක් එයට යම්සේ “බෝධි” යනුවෙන් කියත් ද, එම බෝධියෙහි අංගයෝ ද සේනාංග, රථාංග ආදිය මෙන් බොජ්ඣඞ්ග (බෝධි අංග) නම් වෙත්. එහෙයින් අර්ථ කථාචාරීහු මෙසේ කීහ :- අවබෝධ කර ගන්නා පුද්ගලයාගේ අංගයන් වශයෙන් ද “බොජ්ඣඞ්ග” යයි කියති.