7. දුතිය භික්ෂු සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - නිබ්බාණ ධාතුයා ඛො එතං භික්‍ඛු අධිවචනං = ප්‍රත්‍යයෙන් හට නො ගන්නා වූ, අමෘතමය වූ නිර්වාණ ධාතුවට මෙය තව ද වචනයකි. ආසවානං ඛයො තෙන වුච්චති = තව ද ඒ මගින් රාගාදිය ඉවත් කිරීම නිසා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම (හෙවත් කෙළෙස් ප්‍රහීන කිරීම) යයි කියනු ලැබේ. ආසවක්ඛය (හෙවත් කෙලෙස් ප්‍රහීන කිරීම නම් අර්හත් භාවයයි. අර්හත් බව යන්නට ද රාග විනය (හෙවත් රාගයෙන් තොරවීම) ආදී නාමයන් ම දැක්වේ. එතදවොච = ධාතුන් පිළිබඳව විස්තර කරන්නා වූ ශාස්තෲන් වහන්සේ විසින් මාහට නිර්වාණය කියන ලදී. එයට මාර්ගය වනාහී නො කියන ලදී. එය කියවන්නෙමි යි අනු පිළිවෙළ ගැළපීමෙහි දක්ෂ බැවින් ප්‍රශ්න කරනුයේ මෙසේ කීය.
8. විභඞ්ග සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි - කතමාච භික්‍ඛවෙ සම්මා දිට්ඨි = එක් ආකාරයකින් අෂ්ටාංගික මාර්ගය බෙදා දක්වා, නැවත වෙනත් ආකාරයකින් බෙදනු කැමැත්තහු මෙන් මේ දේසනාව ඇරඹීය. එහි - දුක්‍ඛෙඤාණං - ශ්‍රවණය කිරීම, විමසා බැලීම, සත්‍යාවබෝධය හා නුවණින් සලකා බැලීම වශයෙන් සතර ආකාරයෙන් උපන් ඥානයයි. (දුඃඛ) සමුදයෙහිද මේ පිළිවෙළම වේ. සෙසු සත්‍යයන් දෙකෙහි වනාහී විමර්ශනය කිරීමක් (අවශ්‍ය) නොවන බැවින් තුන් ආකාරයකින් පමණක්ම පවතී. මෙසේ මෙය “දුක්‍ඛෙඤාණං” (දුක පිළිබඳව දන්නා නුවණ) යන ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය කර්මස්ථානය දක්වන ලදී.
එහි පූර්ව සත්‍යයන් දෙක පවත්නා තත්ත්වයන්ය. පශ්චිම සත්‍යයන් දෙක නො පවත්නා තත්ත්වයන්ය. ඒවා අතරෙහි පවත්නාවූ සත්‍යයන්හිදී භික්ෂූන්ගේ කර්මස්ථාන ප්‍රිය තාවය ඇති වෙයි. නොපවත්නා වූ සත්‍යයන් හිදී එම ප්‍රියතාවය ඇති නො වෙයි. (දුඃඛය, සමුදය යන) මුල් සත්‍යයන් දෙක වනාහී පඤ්ච ස්කන්‍ධය (ට සම්බන්ධ) වේ. දුක තෘෂ්ණාවෙන් උපදීයයි මෙසේ සැකෙවින් දැක්වේ. පංචස්කන්ධයන් නම් කවරේද? රූපස්කන්ධය ආදී පිළිවෙළින් විස්තර වශයෙන් ද ආචාර්යයන් වහන්සේ සමීපයෙහි හදාරා වචනයෙන් නැවත නැවත (තම දැනුම බවට) පරිවර්තනය කරන්නාවූ යෝගාවචර තෙමේ එයින් කර්මයක් සිදු කරයි. ඉතිරි සත්‍යයන් දෙකෙහි වනාහී නිරෝධ සත්‍යය මනෝඥය, සුන්දරය, මනාපය මාර්ග සත්‍යය මනොඥය, සුන්දරය, මනාපය යනුවෙන් මෙසේ කරන්නාවූ හේ තෙමේ සත්‍යයන් සතර එක්වරම අවබෝධ කර ගනියි. එක්වරම තේරුම්ගනියි. දුක සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනියි. (දුක්‍ඛ) සමුදය අත්හැරීම පිළිබඳ අවබෝධයෙන් ද, මාර්ගය භාවනාව මගින් අවබෝධයෙන් ද සම්පූර්ණ වශයෙන් දැන ගනියි. දුක සම්පූර්ණ අවබෝධයෙන් ද - මාර්ගය භාවනාව මගින් අවබෝධ කර ගැනීමෙන් දැන ගනියි.
මෙසේ ඔහුට මුල් කොටසෙහි (දැක්වෙන දුඃඛ, සමුදය යන) සත්‍යයන් දෙකෙහි අවබෝධය ලබා ගැනීමට ඉගෙනීම, ප්‍රශ්න කිරීම, ශ්‍රවණය කිරීම, ධාරණය කර ගැනීම, විමසා බැලීම යන කරුණු වලින් හැකි වේ. සත්‍යයන් දෙකෙක්හි ඇත්තේ ශ්‍රවණය කිරීමෙන් අවබෝධ කරගැනීම ම වේ. අනික් කොටසෙහිදී කරුණු තුනක් කෙරෙහි ක්‍රියා කිරීමෙන් අවබෝධය සිදු වේ. නිරෝධයෙහි දී අරමුණ අනුව අවබෝධය සිදු වේ. නුවණින් සලකා බැලීමෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙයි. කලින් ග්‍රහණය කර ගැනීමක් නැත. මේ භික්ෂුවට තමා කලින් ග්‍රහණය කරගත් මතයක් ඇති නිසා දුක දැන ගණිමි, සමුදය අත්හරිමි, නිරෝධය අවබෝධ කර ගනිමි. මාර්ගය වඩන්නෙමියි යන කරුණු සිතා බැලීමක් ද, අනුව සිත එක් අරමුණක පිහිටු වීමක් ද. ඒ කරුණු මෙනෙහි කිරීමක් ද. ඒවා නුවණින් සලකා බැලීමක් ද නැත. එම මතය ග්‍රහණය කරගත් තැන් සිට මෙසේ වෙයි. පසු කලෙක වනාහී දුඃඛය දැන ගන්නා ලද්දේ ම වෙයි. - පෙ- මාර්ගය වඩනා ලද්දේම වෙයි.
එහිදී ඔහුට සත්‍යයන් දෙකක් දැකීමට අපහසු බැවින් ගැඹුරු වේ. සත්‍යයන් දෙකක් ගැඹුරු බැවින් දැකීමට අපහසු වේ. දුඃඛසත්‍යය වනාහී උපතින් ම ප්‍රකට වේ. උල් කටු ආදිය ඇනුණ කල්හි අහෝ දුක් සහිතයි යනුවෙන් කිවයුතු බවට පැමිණේ. සමුදය සත්‍යය ද කෑමට කැමය. අනුභවයට කැමති බව ආදී වශයෙන් උපතේ සිටම ප්‍රකටය වේ. ස්වභාවයන් අවබෝධ කර ගැනීමෙන් වනාහී (දුඃඛ, සමුදය යන) දෙකම ගැඹුරු වේ. මෙසේ ඒවා දැකීම (අවබෝධය) අපහසු බැවින් ගැඹුරුයයි දැක්වේ. ඉතිරි (සත්‍යයන්) දෙක දැක ගැනීම පිණිස උත්සාහ කිරීම භවාග්‍රය අල්වා ගැනීම පිණිස අත දික් කිරීමක් මෙන් ද, අවිචී නරකය ස්පර්ශ කිරීම පිණිස අත දිගු කිරීමක් මෙන් ද, සියයට පැලු අස් ලොමෙහි කෙළවර නැවත පැලීමට තැත් කිරීමක් මෙන් ද වෙයි. මෙසේ ඒවා දැකීමට (අවබෝධයට) අපහසු බැවින් ගැඹුරු වේ. මෙසේ දැකීමට (අවබෝධයට) අපහසු බැවින් ගැඹුරු වූ ද, ගැඹුරු බැවින් දැකීමට අපහසු වූ ද සත්‍ය සතර ඉගැන්වීම් ආදී වශයෙන් (ඉදං දුක්‍ඛෙ ඤාණං) මෙය දුකෙහි දැනුමය යන ආදිය කියන ලදී. අවබෝධ කර ගැනීම පිළිබඳ ලක්ෂණයෙහි වනාහී එම නුවණ මෙසේම වෙයි.
නෛෂ්ක්‍රම්‍ය සංකල්පය ආදියෙහිදී කාමයට ප්‍රතිවිරුද්ධය යන අදහසින් ද, කාමයෙන් වෙන්ව පවතීය යන අදහසින් ද, කාමය පිළිබඳව විමසා බලන්නහුට ඇති වූයේය යන අදහසින් ද, කාමයෙන් වෙන්ව පවතීය යන අදහසින් ද, කාම විතර්කයෙහි දී ඇති වූයේය යන අදහසින් ද නෛෂ්ක්‍රම්‍ය සංකල්පය ඇති වේ. සෙසු සත්‍යයන් දෙකෙහි ද මේ පිළිවෙළම වේ. ඒ සියළුම නෛෂ්ක්‍රම්‍ය සංකල්පාදිය කාම ව්‍යාපාද විහිංසාවන්හි නො ඇලුණ සංඥා ඇත්තවුන්ගේ විවිධත්වයක් වේ. පූර්ව භාගයෙහිදී වෙන් වෙන් වූ මාර්ග ක්ෂණයේදී වනාහී මේ ස්ථාන තුනෙහි උපන් අකුසල සංකල්පයාගේ පියවර සිඳ දැමීමෙන් නො ඉපදීමට හේතු වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් හුදෙක් කුසල සංකල්පයම උපදියි. මෙය සම්‍යක් සංකල්ප නම් වේ.
“මුසාවාදා වෙරමණී” ආදිය ද මෙසේ දත යුතුය. මුසාවාද ආදියෙන් වෙන්වීම පිළිබඳ සංඥා ඇත්තවූන්ගේ විවිධත්වයක් වේ. පූර්ව භාගයට අයත් වෙන් වෙන් වූ මාර්ග ක්ෂණයෙහිදී මේ ස්ථාන සතරෙහි උපන් අකුසල් වූ දුසිල් වූ සිතුවිල්ලේ පියවර සිඳ දැමීමෙන් නො ඉපදීමට හේතු වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් හුදෙක් අකුසලයෙන් වෙන්වීම (පිළිබඳ සංකල්පය) ම උපදී. මෙය සම්මා වාචා නම් වේ.
“පාණාතිපාතා වේරමණී” ආදිය ද මෙසේ දත යුතුය. පාණාතිපාත ආදියෙන් වෙන්වීම පිළිබඳ සංඥා ඇත්තවුන්ගේ විවිධත්වයක් වේ. පූර්වභාගයට අයත් වෙන් වෙන් වූ මාර්ග ක්ෂණයෙහිදී මේ ස්ථාන තුනෙහි උපන් අකුසල් වූ, දුසිල් වූ සිතුවිල්ලේ ක්‍රියා නොකිරීමෙන් ද, පියවර සිඳ දැමීමෙන් ද නො ඉපදීමට හේතු වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් හුදෙක් අකුසල්, දුසිල් ආදියේ යෙදීමෙන් වෙන්වීම (පිළිබඳ සංකල්පය) උපදී. මෙය සම්මා කම්මන්ත නම් වේ.
මිච්ඡා ආජීව = කෑ යුතු දෙය. බුදිය යුතු දෙය ආදිය සඳහා පවත්නා කාය හා වාක් දුශ්චරිතයයි. පහාය = අත්හැර සම්මා ආජීවෙන = බුදුන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද පරිදි ජීවිතය පවත්වා ගැනීමෙන් ජීවිතං කප්පෙති = ජීවන වෘත්තිය පවත්වයි. සම්මා ආජීවය ද මෙසේ දත යුතුයි. කුහකකම් ආදියෙන් වෙන්වීම පිළිබඳ සංඥා ඇත්තවුන්ගේ විවිධත්වයක් වේ. පූර්ව භාගයට අයත් වෙන් වෙන් වූ මාර්ගක්ෂණයෙහිදී මේ ස්ථාන සතෙහි උපන් මිථ්‍යා ආජීවයෙන් යුතු දුශ්ශීල වූ සිතුවිල්ලේ පියවර සිඳ දැමීමෙන් නො ඉපදීමට හේතු වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් මිථ්‍යා ආජීවය, දුසිල් පැවැත්ම ආදියෙහි යෙදීමේ කුසල තාවයෙන් වෙන්වීම පිළිබඳ සංකල්පය උපදී. මෙය “සම්මා ආජීව” නම් වේ.