2-10. අට්ඨසතපරියාය ආදි සූත්‍ර වර්ණනා
දෙවැන්නෙහි - අට්ඨ සත පරියායං = කරුණු එක සිට අටක් වූ ධම්ම පරියායං = ධර්ම කරුණ. කායිකාච චෙතසිකාච = මෙහි කායික වින්දන ආදිය කාමාවචර භූමියෙහි ම ලබත් චෛතසික වින්දන ආදිය (කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලොකොත්තර යන) භූමීන් සතරෙහිදීම ලබත්. සුඛා යන ආදියෙහි සුවදායී වින්දන අරූපාවචර භූමියෙහි නැත. සෙසු භූමි තුනෙහිදී ලැබේ. දුක කාමාවචර වේ. ඉතිරි වින්දන චාතුර්භූමික වේ. පඤ්චකයෙහි සුඛ, දුක්ඛ, දෝමනස්ස යන ඉන්‍ද්‍රියයන් කාමාවචර ම වේ. සෝමනස්ස ඉන්‍ද්‍රිය ත්‍රෛභූමික වේ. උපේක්ෂා ඉන්‍ද්‍රියය චාතුර්භූමික වේ. ෂට්කයෙහි (හයේ සමූහයෙහි) (චක්‍ඛු සොතාදී) දොරටු පසෙහි වේදනාවන් කාමාවචර ම වේ. මනස නමැති දොරටුවෙහි වින්දන චාතුර්භූමික වේ. අටළොසක් වූ ඉෂ්ටාරම්මණ සයෙහි සෝමනස්සය සමග හැසිරේය යන අදහසින් “සෝමනස්සුප විචාර” නම් වේ. සෙසු දෙකෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ මේ දේශනාව විචාර වශයෙන් පැමිණ ඇත. එකට යෙදුණ සෝමනස්ස ආදීන්ගේ වශයෙන් මෙහි අටළොස් වැදෑරුම් වූ වේදනාවන් දත යුතුය.
ඡ ගෙහසිතානි සොමනස්සානි = මේ ආදියෙහි සිතට ප්‍රියවන්නා වූ. සිත් ඇද ගන්නා වූ මනාප වූ, මනරම් වූ, ලෞකික ආමිසයට සම්බන්ධ වූ, ඇසින් දැකිය යුතු වූ රූපයන් ලැබීම හෝ ලැබීමෙන් පෙර හෝ කලින් ලබා ඇති. අතීතයට අයත් වූ. නිරුද්ධ වූ, විපර්යාසයට පත් වූ බව හෝ යන මේ ස්වභාවයන් සිහි කරන තැනැත්තා හට මෙවැනි යම් සොම්නසක් උපදීද එය ලෞකික වූ සෝමනස්සය යයි කියනු ලැබේ. මෙසේ (චක්‍ඛු සෝතාදී) දොරටු සයෙහි ගැටෙන පෙර කී කාම ගුණයන් ආශ්‍රිත වූ සෝමනස්සයන් සය ලෞකික වූ සෝමනස්සයන් නම් වේ.
රූපයන්ගේ අනිත්‍ය බව හා විපරිණාමයෙහි විරාගය ද, නිරෝධය ද දැන පෙර වූ රූපයන් ද, දැන් පවත්නා සියළුම රූපයන් ද අනිත්‍යය, දුඃඛය, විපරිණාම ස්වභාවය ඇත්තේය යනුවෙන් මෙසේ මෙය තත් වූ පරිදි නිවැරදි නුවණින් දකින්නහුට සෝමනස්සය උපදී. මෙබඳු වූ යම් සෝමනස්සයක් වේද, එය නෛෂ්ක්‍රම්‍යය ආශ්‍රිත වූ සෝමනස්සය යයි කියනු ලැබේ. මෙසේ (චක්‍ඛු, සෝත ආදී) දොරටු සය වෙත ප්‍රිය වූ අරමුණු යොමු වූ කල්හි අනිත්‍යය ආදී වශයෙන් විදර්ශනාව පිහිටුවා උනන්දු කරවා “උනන්දු වූ තමා තුළ විදර්ශනාව වැඩේය යි සොම්නස උපන්නහු තුළ උපන් සෝමනස්සයන් නෛෂ්ක්‍රම්‍යය ආශ්‍රිත වූ සෝමනස්සයන් සය වන්නේය.
යම් යම් ස්වභාව විශේෂයන් මනාව දක්නා වූ තැනැත්තා හට යම් දොම්නසක් උපදීද, එය ලෞකික දෝමනස්සය යයි කියනු ලැබේ. (ඒ ස්වභාවයන් නම් මේවාය) සිතට ප්‍රිය වන්නා වූ, සිත් ඇද ගන්නා වූ, මනරම්වූ, ලෞකික ආමිසයට සම්බන්ධ වූ, ඇසින් දැකිය යුතු වූ රූපයන් නො ලැබීම යන මෙය එක් ස්වභාවයකි. එසේ නො ලැබීම හේතුවෙන් ඇති වූ යථාර්ථවාදී දැක්මට පෙර පැවති තත්ත්වය තවත් ස්වභාවයකි. පෙර ලබා නැති, අතීතය නිරුද්ධ වූ, විපර්යාසයට පත් වූ බව යන මෙය තවද ස්වභාවයකි. (මේවා ලෞකික දෝමනස්සයන් උපදින හේතූන් වේ.) මෙසේ දොරටු සයෙහි ගැටෙන සිතට ප්‍රිය වූ අරමුණු මතුවට විඳ නොගන්නෙමියි ද, දැනු දු විඳ නො ගනිමියි ද සිතන තැනැත්තාහට උපන් කාම ගුණයන් ආශ්‍රිත දෝමනස්සයන් සය ලෞකික දෝමනස්සයන් නම් වේ.
රූපයන්ගේ අනිත්‍ය බව හා විපරිණාමයෙහි විරාගය ද, නිරෝධය ද දැන පෙර වූ රූපයන් ද දැන් පවත්නා ඒ සියලුම රූපයන් ද අනිත්‍යය, දුඃඛය, විපරිණාම ස්වභාවය ඇත්තේය යනුවෙන් මෙසේ මෙය තත් වූ පරිදි නිවැරදි නුවණින් දැක, උත්තම වූ අර්හත් භාවය කෙරෙහි ප්‍රිය භාවය පිහිටුවා ගෙන කවර කලෙක නම් මම එම (රහත්) ස්වභාවයට සපැමිණ වසන්නෙම් ද (යනුවෙන් සිතමින්) ආර්යයන් වහන්සේලා මම රහත් ස්වභාවයට සපැමිණ වාසය කරන්නාහු යයි යනුවෙන් උතුම් වූ රහත් ස්වභාවයෙහි ප්‍රියතාවය පිහිටුවා ගන්නහුට ආසාව නිසා හටගත් දෝමනස්සය උපදී. මෙවැනි යම් දෝමනස්සය වේ නම් එය නෛෂ්ක්‍රම්‍යය ආශ්‍රිත දෝමනස්සය යයි කියනු ලැබේ. මෙසේ (පුද්ගලයාගේ) චක්ෂුරාදී දොරටු සයෙහි යම් විටෙක ප්‍රිය වූ අරමුණු පිහිටන්නේ ද, ඒ හේතුවෙන් (ඒ පුද්ගලයා) යම් කිසිවක් සඳහා අපොහොසත් වෙයි. කුමක් සඳහා ද යත් : උතුම් වූ මෝක්ෂ සංඛ්‍යාත ආර්ය ඵල ධර්මයන්හි රුචිය උපදවා එම ආර්ය ඵලයන් අවබෝධ කර ගැනීම පිණිස අනිත්‍ය ආදී විදර්ශනා පිහිටුවා උත්සාහ ගැනීමටයි. එම අපොහොසත් වීම නිසා මෙසේ සිතයි. කෙසේද යත් :- මේ අඩ මසෙහි හෝ මේ මාසයෙහි හෝ මේ වර්ෂයෙහි හෝ විදර්ශනාව දිරි ගන්වා අර්හත් සංඛ්‍යාත ආර්ය භූමියට පැමිණීමට නොහැකි වූයෙමි යනුයි. එසේ සිතමින් ඒ අනුව ශෝකවන පුද්ගලයාහට උපන් දෝමනස්සයන් සය නෛෂ්ක්‍රම්‍යය ආශ්‍රිත දෝමනස්සයන් නම් වේ.
ඇසින් රූපය දැක අඥාන වූ, මුලාවට පත් වූ, මඟපල නොලැබූ, ක්ලේශ සීමාවන් ජය නොගත්, ක්ලේශ විපාකයන් ජය නොගත්, වරදෙහි ආදීනව නොදක්නා, නූගත්, පෘථග්ජන පුද්ගලයාහට යම්බඳු උපේක්ෂාවක් උපදනේ වේද, එම උපේක්ෂාවට රූපය ඉක්මවා යා හැකි නො වේ. ඒ නිසා ඒ උපේක්ෂාව ලෞකිකයයි කියනු ලැබේ. මෙසේ ඇස් කන් ආදී දොරටු සයෙහි පියකරු වූ අරමුණු ඉන්‍ද්‍රිය ගෝචර වී එහි උපන් රූප ආදිය ඉවත්ව නො ගොස් එහිම (එම ඉන්‍ද්‍රියයන්හිම එල්බ ගෙන, ඇලී ගෙන අසුචි පිඩෙක නිල මැස්සන් මෙන් කාම ගුණ ආශ්‍රිතව පවත්නා උපේක්ෂාව ලෞකික උපේක්ෂාව නම් වේ.
රූපයන්ගේ අනිත්‍යතාවය දැන විපරිණාමයෙහි විරාගය ද, නිරෝධය ද, පෙරවූ රූපයන් ද දැන් පවත්නා ඒ සියලු රූපයන් ද අනිත්‍යය, දුඃඛය, විපරිණාම ස්වභාවය ඇත්තේය යනුවෙන් මෙසේ මෙය තත් වූ පරිදි නිවැරදි නුවණින් දකින්නහුට යම් උපේක්ෂාවක් උපදින්නේ වේද මෙසේ වූ ඒ උපේක්ෂාව රූපය ඉක්මවා සිටියි. එබැවින් ඒ උපේක්ෂාවන් සය නෛෂ්ක්‍රම්‍යය ආශ්‍රිතයයි කියනු ලැබේ. මෙසේ (චක්ෂුරාදී) දොරටු සය වෙත ප්‍රිය වූ අරමුණු යොමු වූ කල්හි ප්‍රිය වූ (එම) අරමුණෙහි නො ඇලෙන්නාවූ ද, අප්‍රිය වූ අරමුණ කෙරෙහි ද්වේෂය නොකරන්නාවූ ද, නොසලකා හැරිය යුතු (හෙවත් උපේක්ෂාවෙන් සැලකිය යුතු) අරමුණෙහි මුලා නොවන්නාවූ ද පුද්ගලයා තුළ උපන් විදර්ශනා ඥානයෙන් යුක්ත වූ උපේක්ෂාවන් සය නෛෂ්ක්‍රම්‍යය ආශ්‍රිත උපේක්ෂාවන් නම් වේ. මේ සූත්‍රයෙහි සියල්ල එක්තැන් කරන ලද්දා වූ චාතුර්භූමික ධර්ම කොට්ඨාශය කියන ලදී. තුන් වැන්න ආදියෙහි පැහැදිලි අරුත් ඇත්තේමය.
11. නිරාමිස සූත්‍ර වර්ණනාව