9-10. පඤ්චකඞ්ග ආදි සූත්‍ර වර්ණනා
නව වැන්නෙහි - පඤ්චඞ්ගො ථපති = පඤ්චඞ්ග යනු ඔහුට කියනු ලබන නාමයයි. වෑය, පොරව, නියන, දඩුමුගුරු, දැලිනූල යන අංග පසෙන් යුතු වන බැවින් හෙතෙම පඤ්චඞ්ග (හෙවත් අංග පසකින් යුත් තැනැත්තා) යයි හඳුන්වනු ලැබේ. “ඵපති” යනු ප්‍රධාන වඩුවා ය. උදායි = පණ්ඩිත උදායී තෙරණුවෝය. පරියායං = කාරණාව ද්වෙවානන්‍ද = ආනන්දයෙනි (මෙහි කාරණා) දෙකක් වේ. පරියායෙන යන කරුණින් මෙහි ද කායික හා චෛතසික වශයෙන් දෙකක් යයි දත යුතුය. “සුඛ” ආදී වශයෙන් (සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ යනුවෙන්) තුනක් යයි ද, ඉන්‍ද්‍රිය වශයෙන් සුවය (හා දුක) විඳිනා ඉන්‍ද්‍රියයන් යනුවෙන් පසක් යයි ද, දොරටු වශයෙන් ඇස හා ස්පර්ශ වීමෙන් උපදින විඤ්ඤාණය ආදී සයක් යයි ද යන මේ අයුරින් අටළොසකි. (ඒ මෙසේය :- පරියාය හෙවත් කාරණා දෙකකි (2) + කායික, චෛතසික වශයෙන් දෙකකි. (2)+ සුඛ ආදී වින්දන තුනකි (3) + ඉන්‍ද්‍රියයන් පහකි (5) + දොරටු හයකි (6) = (18) සියල්ලෙහි එකතුව අටළොසකි) උපවිචාර වශයෙන් ඇසෙන් රූප දැක සොම්නසට හේතුවන රූප වෙතට යොමු වන ලෞකික සෝමනස්සයන් සය ද, නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත වින්දනයන් සය ද, ලෞකික උපේක්ෂා සහගත වින්දනයන් සය ද (යන අටළොස හා පෙර කී අටළොස) සමඟ සතිසක් වූ වින්දනයන් අතීතයෙහි උපන් සතිසක් ද, අනාගතයෙහි උපදින සතිසක් ද වත්මනෙහි උපදින සතිසක් ද වශයෙන් වින්දනයන් එකසිය අටක් (36 x 3= 108) යයි දතයුතු
පඤ්චිමෙ ආනන්‍ද කාමගුණා = මෙය එකක් ලෙසම ගළපා ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනාව භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනාව එකක්ය. දෙකක් ය ආදී වශයෙන් වෙන්ව ප්‍රකාශ කොට ඇත. පර්යාය වචනයෙන් වෙන්ව ප්‍රකාශ කොට නැත. පර්යාය වචනයෙන් ද එකම වේදනාවක් ගැනම කියන ලදි. එය දක්වමින් පඤ්චඞ්ග ථපති වාදය (හෙවත් අංග පසකින් යුත්, වඩුවා ඇසුරෙන් ගොඩ නැංවූ මතය) සනාථ කිරීමට මේ දේශනාව ඇරඹූහ. අභික්කන්ත තරං = වඩාත් සුන්දර වූ පණීත තරං = වඩා උසස් මෙහිදී චතුර්ථධ්‍යානයෙහි පටන් දුකින් ද, සුවයෙන් ද තොරවූ වින්දනය ආමිස සහිතය යන අරුතින් ද, ප්‍රණීතය යන අරුතින් ද “සැප” යයි කියන ලදී. නිරෝධය අවේදයිත සුඛධ (හෙවත් වින්දනයක් නැති බවේ සුවය) වශයෙන් “සැපය” යයි නම් ලැබීය. පඤ්චකාම ගුණ වශයෙන් වූ කලි අෂ්ට සමාපත්ති වශයෙන් ද උපන් වින්දනය “සැප” යයි නම් කෙරේ. නිරෝධය අවේදයිත සුඛය නම් වේ. මෙසේ වේදයිත සුඛ (හෙවත් වින්දනයක් ලබන සුවය) හෝ වේවා දුකක් නොවේය යන අදහසින්, සැපතක්ය යන අර්ථයෙන් ඒකාන්ත සැපයක් වන්නේයයි අදහස් කෙරේ.
යත්‍ථ යත්‍ථ = යම් යම් ස්ථානයන්හි සුඛං උපලබ්භති = වේදයිත සුවය හෝ අවේදයිත සුවය ලැබෙයි. තංතං තථාගතො සුඛස්මිං පඤ්ඤාපෙති = තථාගතයන් වහන්සේ ඒ සියලු නිදුක් බවක්ම සුවයෙහිම ඇතුළත් කොට ප්‍රකාශ කරති. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තිය මුල් කොට අවබෝධ කරවිය යුතු පුද්ගලයන් වශයෙන් ඔවුන් හට අර්හත් භාවය කුළු ගැන්වීමෙන් දේශනාව නිම කළ සේක. දසවැන්න පැහැදිලි අරුත්වලින් යුතු වේමය.
දෙවන රහොගත වර්ගය නිමියේය.
3. අට්ඨසතපරියාය වර්ගය
1. මොළියසීවක සූත්‍ර වර්ණනාව
තුන්වන වර්ගයේ පළමුවැන්නෙහි මොළිය සීවකො යනු ඔහුගේ නාමයයි. ඔහුගේ හිස මුදුනෙහි ශිඛාවක් ඇත. ඒ නිසා මොළිය සීවක යයි කියනු ලැබේ. පරිබ්‍බාජකො = ඡන්න නම් පිරිවැජියා පිත්ත සමුට්ඨානානි - පිත හේතු කොට ගෙන (උපන්) වෙදයිතානි = පිත හේතු කොට ගෙන වේදනාවන් තුනක් උපදී. කෙසේද යත් : ඇතැමෙක් “මා තුළ පිත කිපියේය, ජීවිතය වනාහී අවබෝධ කර ගැනීමට අපහසු වූවක්ය” යනුවෙන් සිතා දන් දෙති, සිල් ගනිති, පෙහෙවස් සමාදන් වෙති. මේ නිසා ඔහුට කුසල වේදනා උපදී. ඇතැමෙක් පිතට බෙහෙත් කරමියි ප්‍රාණීන් නසත්, නොදුන් දේ ගණිත්, මුසාබස් කියත්. දස දුසිල්කම් කරත්. මේ නිසා ඔහුට අකුසල වේදනා උපදී. ඇතැමෙක් “මෙ පමණ බෙහෙත් කිරීමෙනුදු මගේ පිත නොසන්සිඳෙයි. කම් නැත. යමක් සිදුවන්නේ නම් එය සිදු වේවා” යයි සිතා මධ්‍යස්ථව කායික වේදනාව ඉවසමින් වැතිර සිටිත්. මෙසේ ඔහු තුළ හෙළි නොකළ වේදනාව ද උපදී.
සාමම්පි ඛො එතං = ඒ ඒ පිත්ත විකාරයන් දැක තමා විසින් ද මෙය දැන ගත යුතුය. සච්චසම්මතං = සිදු වී ඇතැයි සම්මත වූ දෙය ලෝකයා ද ඔහුගේ ශරීරයෙහි ලප මතු වීම්, වර්ණ වෙනස්වීම් ආදී පිත්ත විකාරයන් දැක මොහුගේ පිත කිපියේයි දැන ගනිති. තස්මා = යම් හෙයකින් තමා විසින් ම දන්නා ලද්දා වූ ද, ලෝකයා අතර පවා සත්‍යයයි සම්මත වී ඇත්තාවූ ද කරුණු වේශයෙන් පැතිරේද ඒ හේතුවෙන් මෙසේ කියන ලදී. සෙම හේතුවෙන් උපන් රෝග ආදියෙහි දී ද මේ පිළිවෙළම වේ. මෙහිදී වානහී සන්තිපාතිකානි යනු පිත් ආදී ත්‍රි දෝෂයන්හිම කෝපයෙන් හටගත් රෝගයන්ය. උතුපරිණාමජානි = ඍතු විරුද්ධතාවයෙන් උපන්. ඈත පෙදෙස්හි වෙසෙන වනවාසීන් හට වනාහී ඍතුව විෂම ලෙස ඇති වෙයි. “අනුප්පවා සීනං” යනු (හෙවත් ඈත පෙදෙස්හි වසන) වනාන්තර ප්‍රදේශයෙහි වසන යන අදහසයි. මෙසේ මාණික්‍ය සමුද්‍ර තීර ආදී වශයෙන් වුව ද ඍතු විෂමතාවය උපදනේමය. එයින් හටගත් යන අරුතින් “සෘතු පරිණාමජ” (හෙවත් ඍතු වෙනසින් හටගත්) යනුවෙන් යෙදේ.
විසම පරිහාරජානි = මහ බරක් ගෙන යන්නවුන් වෙත ලී, උල් ආදිය ගැනීමෙන් ද, නො කල්හි ඇවිදින්නවුන් සර්ප දෂ්ට කිරීම්, වළවල්හි වැටීම් ආදියට ලක් වීමෙන් ද අහිතකර (ආහාර වැනි) දේ භාවිතයෙන් ද සිදු වූ (හානි) ඔපක්කමිකානි “මේ තෙමේ සොරෙක්ය” කියා හෝ, “පර අඟනන් සොයා යන්නෙක්ය” කියා හෝ අල්වා ගෙන දණහිස්, වැලමිටි, මුගුරු ආදියෙන් පහර දීම වැනි ක්‍රියාවන්ගේ හේතුවෙන් උපන් (රෝග) මේ බාහිර උපක්‍රම (වලින් හානි) ලබා යම් කිසිවෙක් පෙර කියූ පිළිවෙළින් ම කුසල් කරත්, කිසිවෙක් අකුසල් කරත්, කිසිවෙක් ඒවා ඉවසමින් නිහඬව කල් ගෙවත් කම්ම විපාකජානි = හුදෙක් කර්ම විපාක වශයෙන් උපන් (රෝග) එම රෝග උපන් කල්හි ද පෙර කියූ පිළිවෙළින් ම කිසිවෙක් කුසල් කරත්. කිසිවෙක් අකුසල් කරත්, කිසිවෙක් ඉවසමින් නිහඬව කල් ගෙවත් මෙසේ හැම විටම වේදනාව ත්‍රිවිධ වේ.
එහි මුල් කරුණු සතෙන් උපන් ශාරීරික වේදනාවන් වැළැක්විය හැකි වේ. කර්ම විපාක වශයෙන් හටගත් රෝගයක් වැළැක්වීමට සියලුම ඖෂධ ද, සියලුම පිරිත් ද වුවත් ප්‍රමාණවත් නො වේ. මේ සූත්‍රයෙහි ලෝකව්‍යවහාරයම කියන ලදී.
2-10. අට්ඨසතපරියාය ආදි සූත්‍ර වර්ණනා
දෙවැන්නෙහි - අට්ඨ සත පරියායං = කරුණු එක සිට අටක් වූ ධම්ම පරියායං = ධර්ම කරුණ. කායිකාච චෙතසිකාච = මෙහි කායික වින්දන ආදිය කාමාවචර භූමියෙහි ම ලබත් චෛතසික වින්දන ආදිය (කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලොකොත්තර යන) භූමීන් සතරෙහිදීම ලබත්. සුඛා යන ආදියෙහි සුවදායී වින්දන අරූපාවචර භූමියෙහි නැත. සෙසු භූමි තුනෙහිදී ලැබේ. දුක කාමාවචර වේ. ඉතිරි වින්දන චාතුර්භූමික වේ. පඤ්චකයෙහි සුඛ, දුක්ඛ, දෝමනස්ස යන ඉන්‍ද්‍රියයන් කාමාවචර ම වේ. සෝමනස්ස ඉන්‍ද්‍රිය ත්‍රෛභූමික වේ. උපේක්ෂා ඉන්‍ද්‍රියය චාතුර්භූමික වේ. ෂට්කයෙහි (හයේ සමූහයෙහි) (චක්‍ඛු සොතාදී) දොරටු පසෙහි වේදනාවන් කාමාවචර ම වේ. මනස නමැති දොරටුවෙහි වින්දන චාතුර්භූමික වේ. අටළොසක් වූ ඉෂ්ටාරම්මණ සයෙහි සෝමනස්සය සමග හැසිරේය යන අදහසින් “සෝමනස්සුප විචාර” නම් වේ. සෙසු දෙකෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ මේ දේශනාව විචාර වශයෙන් පැමිණ ඇත. එකට යෙදුණ සෝමනස්ස ආදීන්ගේ වශයෙන් මෙහි අටළොස් වැදෑරුම් වූ වේදනාවන් දත යුතුය.
ඡ ගෙහසිතානි සොමනස්සානි = මේ ආදියෙහි සිතට ප්‍රියවන්නා වූ. සිත් ඇද ගන්නා වූ මනාප වූ, මනරම් වූ, ලෞකික ආමිසයට සම්බන්ධ වූ, ඇසින් දැකිය යුතු වූ රූපයන් ලැබීම හෝ ලැබීමෙන් පෙර හෝ කලින් ලබා ඇති. අතීතයට අයත් වූ. නිරුද්ධ වූ, විපර්යාසයට පත් වූ බව හෝ යන මේ ස්වභාවයන් සිහි කරන තැනැත්තා හට මෙවැනි යම් සොම්නසක් උපදීද එය ලෞකික වූ සෝමනස්සය යයි කියනු ලැබේ. මෙසේ (චක්‍ඛු සෝතාදී) දොරටු සයෙහි ගැටෙන පෙර කී කාම ගුණයන් ආශ්‍රිත වූ සෝමනස්සයන් සය ලෞකික වූ සෝමනස්සයන් නම් වේ.