2. රහොගත වර්ගය
1. රහෝගත සූත්‍ර වර්ණනාව
රහොගත වග්ගයේ පළමු වැන්නෙහි - යං කිඤ්චි වෙදයිතං තං දුක්‍ඛස්මිං = යම් කිසි වින්දනයක් ඇත්නම් ඒ සියල්ල දුක් සහිතය යන අර්ථයයි. සඞ්ඛාරානං යෙව අනිච්චතං = මේ ආදී ප්‍රකාශනයන්හිදී මෙසේ සංස්කාරයන්ගේ යම් අනිත්‍යතාවයක්, ක්ෂය වන ස්වභාවයක්, ව්‍යයවන ස්වභාවයක්. වෙනසකට පත් වීමේ ස්වභාවයක් වන්නේ නම්, ඒ සඳහා යම් කිසි වින්දනයක් වේ නම් එය දුක් සහිත බව මා විසින් කියන ලද්දේ යයි දැක්වේ. සංස්කාරයන්ගේ යම් අනිත්‍යතාවයක් වේද, වේදනාවන්ගේ ද ඒ අනිත්‍යතාවය ම පවතී. මේ මරණය යනු ද අනිත්‍ය තාවයයි. මරණයට වැඩි දුකක් නම් නැතැයි යන මේ අදහසින් සියලු වින්දනයන් දුක් සහිතම යයි අර්ථ දැක්වේ. අථඛො පන භික්‍ඛුමයා = මම හුදෙක් වේදනාවන්ගේම මෙම නිරෝධය පමණක් ප්‍රකාශ නො කරමි, මේ ධර්මයන්ගේ ද නිරෝධය ප්‍රකාශ කරමියි දැක්වීම පිණිස දේශනය අරඹන ලදී. මෙම දේශනාවෙහි දී අවබෝධ කරන්නවුන්ගේ අදහස් වශයෙන් සන්සිඳීම ද, සන්සුන් වීම ද පිළිබඳව කියන ලදී. සඤ්ඤං වෙදයිත නිරෝධය ග්‍රහණය කිරීමෙන් මෙහි අරූප ධ්‍යාන සතර ගන්නා ලද්දේම යයි දත යුතුය.
2-3. ආකාස ආදි සූත්‍ර වර්ණනා
දෙවැන්නෙහි - පුථු වායති මාලුතා = බොහෝ වූ වාතය හමයි. සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය. තුන් වැන්න ගාථාවලින් තොරව, අවබෝධ කර ගන්නවුන්ගේ අදහසින් යුතුව කියන ලදී.
4. අගාර සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - පුරත්‍ථිමා = පෙරදිග දිසාවෙහි සියළු තැන්හිම මෙසේය. සාමිසාපි සුඛා වෙදනා = මේ ආදියෙහි දී කාමාශක්ත ආමිසයන් හා සම්බන්ධ වූ වින්දනයන් “සාමිස සුඛ” (හෙවත් ආමිස සහිත වූ සුවයන්) ලෙස දැක්වේ. ප්‍රථම ධ්‍යානාදී වශයෙන් ද, විදර්ශනා වශයෙන් ද උපන් වින්දනයන් නිරාමිස සුඛ (හෙවත් ආමිස රහිත සුව) නම් වේ. කාමාශක්ත ආමිසයන් ගෙන් ලැබෙන ආමිස සහිත වින්දනයන් සාමිස දුක්‍ඛ (හෙවත් ආමිස සහිත දුක්) නම් වේ. උත්තම වූ මෝක්ෂයන් කෙරෙහි ප්‍රියතාවයෙන් යුතුව ක්‍රියා කරන්නහුගේ ප්‍රියතාව හේතුවෙන් උපන් දොම්නස් සහිත වේදනා නිරාමිස දුක් නම් වේ. කාමාශක්ත ආමිසයන්ගෙන් ලැබෙන ආමිස සහිත වින්දනයන් “ආමිස සහිත වූ සුවදුක් රහිත බව” (හෙවත් සාමිස අදුක්‍ඛ මසුඛ) නම් වේ. චතුර්ථ ධ්‍යාන වශයෙන් උපන් සුවදුක් රහිත වින්දනයන් (හෙවත් අදුක්‍ඛමසුඛ වේදනාවන්) නිරාමිස වූ සුවදුක් රහිත බව (හෙවත් නිරාමිස අදුක්‍ඛම සුඛ) නම් වේ.
5-8. සන්තක ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්න ආදී කොට ඇති සතර යට කියන ලද අයුරින් ම දත යුතුය. මෙහි මුල් සූත්‍ර දෙක සම්පූර්ණ නිවී යාම සඳහා ද, පසු සූත්‍ර දෙක අර්ථ වශයෙන් නිවී යාම සඳහා ද දේසනාවෙන් අවබෝධ කරවීම පිණිස කියන ලදී.
9-10. පඤ්චකඞ්ග ආදි සූත්‍ර වර්ණනා
නව වැන්නෙහි - පඤ්චඞ්ගො ථපති = පඤ්චඞ්ග යනු ඔහුට කියනු ලබන නාමයයි. වෑය, පොරව, නියන, දඩුමුගුරු, දැලිනූල යන අංග පසෙන් යුතු වන බැවින් හෙතෙම පඤ්චඞ්ග (හෙවත් අංග පසකින් යුත් තැනැත්තා) යයි හඳුන්වනු ලැබේ. “ඵපති” යනු ප්‍රධාන වඩුවා ය. උදායි = පණ්ඩිත උදායී තෙරණුවෝය. පරියායං = කාරණාව ද්වෙවානන්‍ද = ආනන්දයෙනි (මෙහි කාරණා) දෙකක් වේ. පරියායෙන යන කරුණින් මෙහි ද කායික හා චෛතසික වශයෙන් දෙකක් යයි දත යුතුය. “සුඛ” ආදී වශයෙන් (සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ යනුවෙන්) තුනක් යයි ද, ඉන්‍ද්‍රිය වශයෙන් සුවය (හා දුක) විඳිනා ඉන්‍ද්‍රියයන් යනුවෙන් පසක් යයි ද, දොරටු වශයෙන් ඇස හා ස්පර්ශ වීමෙන් උපදින විඤ්ඤාණය ආදී සයක් යයි ද යන මේ අයුරින් අටළොසකි. (ඒ මෙසේය :- පරියාය හෙවත් කාරණා දෙකකි (2) + කායික, චෛතසික වශයෙන් දෙකකි. (2)+ සුඛ ආදී වින්දන තුනකි (3) + ඉන්‍ද්‍රියයන් පහකි (5) + දොරටු හයකි (6) = (18) සියල්ලෙහි එකතුව අටළොසකි) උපවිචාර වශයෙන් ඇසෙන් රූප දැක සොම්නසට හේතුවන රූප වෙතට යොමු වන ලෞකික සෝමනස්සයන් සය ද, නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත වින්දනයන් සය ද, ලෞකික උපේක්ෂා සහගත වින්දනයන් සය ද (යන අටළොස හා පෙර කී අටළොස) සමඟ සතිසක් වූ වින්දනයන් අතීතයෙහි උපන් සතිසක් ද, අනාගතයෙහි උපදින සතිසක් ද වත්මනෙහි උපදින සතිසක් ද වශයෙන් වින්දනයන් එකසිය අටක් (36 x 3= 108) යයි දතයුතු
පඤ්චිමෙ ආනන්‍ද කාමගුණා = මෙය එකක් ලෙසම ගළපා ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනාව භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනාව එකක්ය. දෙකක් ය ආදී වශයෙන් වෙන්ව ප්‍රකාශ කොට ඇත. පර්යාය වචනයෙන් වෙන්ව ප්‍රකාශ කොට නැත. පර්යාය වචනයෙන් ද එකම වේදනාවක් ගැනම කියන ලදි. එය දක්වමින් පඤ්චඞ්ග ථපති වාදය (හෙවත් අංග පසකින් යුත්, වඩුවා ඇසුරෙන් ගොඩ නැංවූ මතය) සනාථ කිරීමට මේ දේශනාව ඇරඹූහ. අභික්කන්ත තරං = වඩාත් සුන්දර වූ පණීත තරං = වඩා උසස් මෙහිදී චතුර්ථධ්‍යානයෙහි පටන් දුකින් ද, සුවයෙන් ද තොරවූ වින්දනය ආමිස සහිතය යන අරුතින් ද, ප්‍රණීතය යන අරුතින් ද “සැප” යයි කියන ලදී. නිරෝධය අවේදයිත සුඛධ (හෙවත් වින්දනයක් නැති බවේ සුවය) වශයෙන් “සැපය” යයි නම් ලැබීය. පඤ්චකාම ගුණ වශයෙන් වූ කලි අෂ්ට සමාපත්ති වශයෙන් ද උපන් වින්දනය “සැප” යයි නම් කෙරේ. නිරෝධය අවේදයිත සුඛය නම් වේ. මෙසේ වේදයිත සුඛ (හෙවත් වින්දනයක් ලබන සුවය) හෝ වේවා දුකක් නොවේය යන අදහසින්, සැපතක්ය යන අර්ථයෙන් ඒකාන්ත සැපයක් වන්නේයයි අදහස් කෙරේ.
යත්‍ථ යත්‍ථ = යම් යම් ස්ථානයන්හි සුඛං උපලබ්භති = වේදයිත සුවය හෝ අවේදයිත සුවය ලැබෙයි. තංතං තථාගතො සුඛස්මිං පඤ්ඤාපෙති = තථාගතයන් වහන්සේ ඒ සියලු නිදුක් බවක්ම සුවයෙහිම ඇතුළත් කොට ප්‍රකාශ කරති. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තිය මුල් කොට අවබෝධ කරවිය යුතු පුද්ගලයන් වශයෙන් ඔවුන් හට අර්හත් භාවය කුළු ගැන්වීමෙන් දේශනාව නිම කළ සේක. දසවැන්න පැහැදිලි අරුත්වලින් යුතු වේමය.
දෙවන රහොගත වර්ගය නිමියේය.
3. අට්ඨසතපරියාය වර්ගය
1. මොළියසීවක සූත්‍ර වර්ණනාව