1. පලොකධම්ම සූත්‍ර වර්ණනාව
ඡන්න වග්ගයේ පළමු වැන්නෙහි පලොක ධම්මං යනු බිඳී යන ස්වභාවයයි. මෙසේ මෙහි අනිත්‍ය ලක්ෂණයම කියන ලදී.
2. සුඤ්ඤතලොක සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අත්තනීයෙන යනු තමාට අයත් පිරිකරවලින් යන්නයි. මෙසේ මෙහි අනාත්ම ලක්ෂණයම කියන ලදී.
3. සඞ්ඛිත්තධම්ම සූත්‍ර වර්ණනාව
තෙවැන්න ඛන්‍ධවග්ගයෙහි ආනන්‍දොවාද (සූත්‍ර) යෙහි කියන ලද ක්‍රමයෙන් ම දතයුතුය.
4. ඡන්න සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි ඡන්න යනු එම නම ඇති තෙර නමකි. අබිනික්මනයෙහිදී (කැටුව) නික්ම ගිය, (පසුව මහණ වූ ඡන්න) තෙරහු නො වෙති. පටිසල්ලාන යනු පල සමවතින් යන්නයි. ගිලාන පුච්ඡකා යනු ගිලන් උවටැන වනාහී බුදුන් විසින් ප්‍රශංසා කරන ලදී. බුදුන් විසින් වර්ණනා කරන ලදී. එබැවින් මෙසේ කීය යන අදහසයි. සීස වෙඨං දදෙය්‍ය යනු හිසෙහි වෙලනය හෙවත් වෙලන රෙද්ද) සීස වෙඨ (හෙවත් හිස් වෙළුම) නම් වෙයි. එය වුවද (අවශ්‍ය වූ විටෙක) දෙන්නේය යන අදහසයි. සත්‍ථං යනු දිවි නසන ආයුධ යි. නාවකඞ්ඛාමි නො කැමැත්තෙමි. පරිච්චණ්ණො පුරුදු කළ (හෙවත් පුරුදු වූ) මනාපෙන යනු සිත්හි සතුට වර්ධනය කරන කායික ක්‍රියා ආදියෙන් යන අදහසයි. මෙහි (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන මාර්ග තුන අවබෝධ කරගත් තිදෙනා ද එම ඵල තුන අවබෝධ කරගත් තිදෙනා ද, අර්හත් මාර්ගයට ප්‍රවිෂ්ට වූ තැනැත්තා ද යන) ශෛක්‍ෂ්‍යයෝ සත් දෙනා පාරිචාරිකව හැසිරෙත් යනු (ශෛක්‍ෂ්‍යයන් සත් දෙනා විසින් පාරිවාරිකව බුදුන් වහන්සේ අනුව හැසිරෙනු, ලබත් යන අදහසයි. රහතන් වහන්සේ පාරිවාරිකව හැසුරුනහ යනු රහතුන් විසින් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරනු ලැබූහ යන අදහසයි.)
එතංහි ආවුසො සාවකස්ස පටිරූපං = ඇවැත්නි, ශ්‍රාවකයාට වූ කලී මෙය සුදුසු වේ. අනුපවජ්ජං = පැවැත්මක් නැති, පිළිසිඳ ගැනීමක් නැති. පුච්ඡාවුසො සාරිපුත්ත සුත්‍වා වෙදිස්සාම = (ඇවැත් ශාරිපුත්‍රයෙනි, ප්‍රශ්න කරන්න, ශ්‍රවණයකොට දැන ගන්නෙමු” යන) මෙය ශ්‍රාවක පවාරණය නම් වේ. එතං මම යන ආදිය තෘෂ්ණා මාන, දෘෂ්ටි ගැනීම (ආදි) වශයෙන් කියන ලදී. නිරෝධංදිස්වා ක්ෂය වීම, වැය වීම දැන ගෙන නෙතං මම නෙසො හමස්මි නමෙසො අත්තාති සමනුපස්සාමි අනිත්‍යය දුඃඛය, අනාත්මය යනුවෙන් දක්නෙමි. මෙතෙක් තන්හි ඡන්න ස්ථවිර තෙමේ සැරියුත් තෙරුන් විසින් ඇසූ ඇසූ ප්‍රශ්න වලට තමා තුළ ඇතැයි හඟවන) රහත් බැව්හි ඇතුළත් කොට පිළිතුරු) කීය. (හෙවත් තමා රහත් කෙනෙකැයි හැඟවෙන සේ පිළිතුරු දුන්හ) සැරියුත් තෙරුන් වහන්සේ වනාහී ඔහුගේ පුහුදුන් බව දැනගෙන වුව ද ඔහු පුහුදුන් අයකුයයි හෝ රහත් කෙනකු යයි හෝ නො කියා නිහඬවූ සේක්මය. චුන්‍ද ස්ථවීර තෙමේ වනාහී (සැරියුත්) තෙරුන් පුහුදුන් යයි හඟවන්නෙමියි සිතා අවවාද දුන්නේය.
එහි තස්මා “යම් හෙයකින් මරණාන්තික වේදනාවක් ඉවසීමට නොහැකිව (ඔබ) ආයුධයක් ගෙන එමියි කියන්නෙහි ද එහෙයින් පෘථග්ජනයෙක් වන ආයුෂ්මත් හු ඒ හේතුව නිසා මෙය ද සිහි කරන්නැ” යි දැක්වේ. යම් හෙයකින් වනාහී (චක්‍ඛු සොත ආදී) සළායතනයන්ගේ නිරුද්ධ වීම දැක ඇස් ආදිය (අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන) ත්‍රිවිධ ආකාරයෙන් සලකා බලන්නෙමි යයි කියන්නෙහි ද, ඒ හේතුවෙන් මේ කරුණ ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුසාසනයකැයි ආයුෂ්මතුන් විසින් සිහි කළ යුතුයයි (තමාගේ) පුහුදුන් බවම දක්වමින් (සැරියුත් තෙරුන් වහන්සේට) කියයි.
නිච්ච කප්පං = සදා කාලික නිස්සිතස්ස = තෘෂ්ණ, මාන, දෘෂ්ටීන් හා බැඳුන අයත්, චලිතං = කම්පනය වෙයි. යම් හෙයකින්, උපන්නා වූ මෙම වේදනාව ඉවසීමට නොහැකි වන්නා වූ ද, මගේ වේදනාව මම ම විඳගනිමියි යනුවෙන් (අරමුණු) ග්‍රහණය කිරීමෙහි අඩුවක් නො දක්වන්නා වූ ද ආයුෂ්මතුන් හට මෙවිට කම්පනයක් ඇති වෙති, මේ හේතුව නිසා ද ඔබ පුහුදුන් අයෙක්ම යයි ඔහුට කියයි. (සැරියුත් තෙරුන් හට කියයි)
පස්සද්ධි යනු කයෙහි ද සිතෙහි ද නිවී යාම කෙළෙස් නිවී යාමක්ම වේය යන අදහසයි. රති තෘෂ්ණාවේ ඇලීමෙහි. අසති (කාම, රූප, අරූප යන) භවයන් තුනෙහි ඇලීමේ බලවත් ආශාව මැඩ ගෙන නැගී සිටීමක් නැති කල්හි යන අදහසයි. ආගති ගති න හොති යනු (මවු කුස පිළිසිඳීම් වශයෙන් සිදුවන මෙලොවට) පැමිණිම හෝ (මෙලොවින්) චුත වීම් වශයෙන් (සිදුවන) ගමන හෝ සිදු නොවේ යන අදහසයි. චුතූපපාතො මරණයට පත් වීම වශයෙන් “චුති” යනු ද, ඉපදීම වශයෙන් උපපාත යනු ද යෙදේ නෙවිධ න හුරං න උභය මන්තරෙන යනු මෙලොවදී නොවේ, පරලොව දී නොවේ, දෙලොවෙහිදීම නොවේ යන අදහසයි. එසෙවන්තො දුක්‍ඛස්ස පැවැත්ම නිසා ඇතිවන දුකෙහිත්, කෙළෙස් නිසා ඇති වන දුකෙහිත් කෙළවර මෙය ම වන්නේය. පිරිසිඳීම මෙයම වන්නේය, මාර්ගය විවෘත වන්නේය යන මෙයම මෙහි අර්ථයයි. යමකු වනාහී “උභයත්‍ථමන්තරො” යන වචන ගෙන අන්තරා භවයක් (පිළිගැනීමට) රිසි වෙත් නම් (=කියත් නම්) ඔවුන්ගේ වචන නිරර්ථක වේ. අන්තරාභවය පිළිබඳ අදහස අභිධර්මයෙහි දී ප්‍රතික්‍ෂේප කරන ලද්දේමය. “අන්තරෙන” යන වචනය වූ කලී අමතර වූ අතරතුරක් (යන අදහස) ගෙන දෙයි. එහෙයින් මෙහි අරුත මෙසේ වන්නේය. (කෙසේදයත්) මෙලොවදී නො වේ, පරලොවදී නොවේ, වෙනත් විකල්පයක් (ලෙස කියත හොත්) දෙලොවදීම නොවේ.
සත්‍ථං ආහාරෙසි දිවි තොර කරන අවියක් ගෙන ආවේය. ගලනාලය සිඳ ලීය. ඉක්බිති ඔහු තුළට එකෙණෙහි මරණ බිය ඇතුල් විය. ගති නිමිත්ත (හෙවත් මතු භවය පිළිබඳව නිමිත්ත) පහළ විය. හෙතෙම තමාගේ පුහුදුන් බව දැක සංවේගයට පත් සිත් ඇත්තේ නිදසුන් පිහිටුවා සංස්කාර ධර්මයන් පිරික්සනුයේ රහත් බවට පත්ව පිරිනිවියේය. සම්මුඛායෙව අනුපවජ්ජතා බ්‍යාකතා= කෙසේ වුව ද මෙය ඒ තෙරුන්ගේ පුහුදුන් කල්හි ප්‍රකාශයක් වෙයි. මේ ප්‍රකාශයෙන් අනතුරුව උන් වහන්සේගේ පිරිනිවීම සිදු විය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ යථොක්ත ප්‍රකාශය ගෙන හැර දක්වා වදාළ සේක.
උපවජ්ජකුලානි = එළඹිය යුතුව තිබූ පවුල් “ස්වාමීනි මෙසේ උපස්ථායකයන් ද, උපස්ථායිකාවන් ද සිටි කල්හි භික්ෂුව ඔබ වහන්සේගේ සසුනෙහි පිරිනිවීමට පත්වන්නේදැයි (ඒ භික්ෂුවගේ මුල් කාලයේ හැසිරීමෙහි දී (පැවතුනේ යයි සැලකෙන ගිහිපවුල් සමග අනිසි සබඳකම් පැවැත්වීම නම්) වූ කුල සංසර්ග දෝෂය දක්වමින් මේ අයුරින් ඒ තෙරණුවෝ (බුදුන්ගෙන්) විචාරති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම තෙරුන්හට කුල සංසර්ග (දෝෂ) යක් සිදු නොවූ බව දක්වන්නෝ හොන්ති හෙතෙ සාරි පුත්තා හෙවත් මොවුන් ශාරිපුත්‍ර අනුගාමිකයන්ම වෙතියි යන ආදිය වදාළහ. තම තැන්හිදී වනාහී (එම) තෙරුන්ගේ කුල සංසර්ග (දෝෂ)යක් නො තිබූ බව ප්‍රකට විය. සෙසු සියල්ල පහසු වන්නේමය.
5-6. පුණ්ණ ආදි සූත්‍ර වර්ණනා
පස් වැන්නෙහි - තඤ්චෙව යනු එය ඇසද රූපය ද වෙයි නන්‍දි සමුදයා දුක්ඛ සමුදයො : තෘෂ්ණාවගේ රැස් වීමෙන් පඤ්චස්කන්ධ දුඃඛයන්ගේ රැස්වීම සිදු වේ. මෙසේ (ඇස්, කන් ආදී) දොරටු සය කෙරෙහි තෘෂ්ණාව ඉපදීමෙන් සිදු වන සසරෙහි පැවැත්ම දුකය, දුක ඉපදීමය යන මෙම දෙවැදෑරුම් සත්‍යයන්ගේ වශයෙන් මස්තක ප්‍රාප්ත කොට දැක්වීය. දෙවන න්‍යායයෙහිදී නිරෝධයය මාර්ගයය යන දෙවැදෑරුම් සත්‍යයන්ගේ වශයෙන් (සසරෙහි) පැවැත්ම මස්තකප්‍රාප්ත කොට දැක්වීය. ඉමිනා ත්‍වං පුණ්ණ : මෙසේ. නැවතීම හා නිරුද්ධ වීම වශයෙන් දේශනය අර්හත් භාවය තුළට යොමු කොට පුණ්ණ තෙරුන් ලවා ස්ථාන සතකදී සිංහ නාද පැවැත්වීම පිණිස “ඉමිනා ත්‍වං” යන ආදිය කීහ.
චණ්ඩා = දුෂ්ටක්‍රියා කරන්නී. නපුරු ක්‍රියා කරන්නී. ඵරුසා නපුරු තැනැත්තිය. අක්කොසිස්සන්ති = දශවිධ ආක්‍රෝශ කථාවන්ගෙන් අපහාස කරති. පරිභාසිස්සන්ති: කිම ශ්‍රමණයෙක් නම් වේද? ඔබට මේ මේ දෙය කරන්නෙමුයි තර්ජනය කෙරෙති. එවමෙත්‍ථ මා හට මෙහිදී මෙසේ සිදුවන්නේය. දණ්ඩෙන සිවුරියන් දඬුවකින් හෝ කිහිරි මුගුරකින් සත්‍ථෙන = එක් තලයක් ඇති ආයුධයෙන් සත්‍ථහාරකං පරියෙසන්ති = දිවි තොර කරන අවියක් සොයති. තෙවන පාරාජිකා වස්තුවෙහි අසුභ වූ මෙම කථාව අසා ආත්මභාවයෙන් පිළිකුල් වූ භික්ෂූන්ගේ ආයුධ ගෙනයාම පිරික්සීම සඳහා තෙරණුවෝ (මෙය) කීහ. දමුපසමෙන මෙහි “දම” යන මේ නාමය ඉන්‍ද්‍රිය සංවර ආදිය සඳහා යෙදේ
“සච්චෙන දන්තො දමසා උපෙතො - වෙදන්තගූ වුසිත බ්‍රහ්ම චරියො” (සත්‍යයෙන් දමනය වූයේ සංවරයෙන් යුතුවූයේ දතයුතු දෙයෙහි අන්තයට පැමිණියේ, වැස නිම කළ බ්‍රහ්ම චර්‍ය්‍යය ඇත්තේ) යන
මෙහි දී ඉන්‍ද්‍රිය සංවරය “දම” යයි කියන ලදී. “යදි සච්චා දමා චාගා ඛන්න්‍යා භීයො න විජ්ජති” (යම් සේ සත්‍යය ප්‍රඥාව. ත්‍යාගය, ඉවසීම යන මේවා බහුලව නො පවතී ද) යන මෙහි ප්‍රඥාව “දම” යයි කියන ලදී. “දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවාචෙන” (දානයෙන්, සීලයෙන් සංයමයෙන් සත්‍ය වචනයෙන්) යන මෙහි උපොෂථ කර්මය හෙවත් සීල සමාදානය “දම” යයි කියන ලදී. මේ සූත්‍රයෙහි දී ක්ෂාන්තිය “දම” යන්නෙන් දත යුත්තේය උපසම යනු එයටම පර්යාය පදයකි.