7. අන්ධභූත සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - අන්‍ධභූතං යනු යටපත් කළ මැඩ පැවැත්වූ. උවදුරට ලක් වූ යන අදහසයි. මෙම සූත්‍රයෙහි ද දුඃඛලක්ෂණය ම කියන ලදී.
8. සාරුප්පපටිපදා සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - සබ්බ මඤ්ඤිත සමුග්ඝාත සාරූප්පං යනු තෘෂ්ණා මාන දෘෂ්ටි යන සියලු වැරදි අදහස් නැති කිරීමට සුදුසු යන අදහසයි. ඉධ යනු මේ සස්නෙහි යන්නයි. චක්‍ඛුං න මඤ්ඤති යනු ඇස නම් මම ය, හෝ මගේය හෝ වෙනත් අයෙක්ය හෝ වෙනත් අයකුගේය හෝ යනුවෙන් නොසිතයි යන අදහසයි. චක්‍ඛුස්මිං න මඤ්ඤති යනු මම ඇස්වල පිහිටියෙමි, මගේ කිසියම් දෝෂයක් වේ නම් එය පවත්නේ ඇසෙහිය, අනුන්ගේ කිසියම් දෝෂයක් වේනම් එය පවත්නේ ඇසෙහිය යනුවෙන් නොසිතයි. චක්‍ඛුතො න මඤ්ඤති යනු මම ඇසෙන් නික්මුණෙමි. මගේ යම්කිසි දෝෂයක් වේ නම් එය ඇසෙන් නික්මුණේය. අනුන්ගේ කිසියම් දෝෂයක් වේ නම් එයද ඇසෙන් නික්මුණේය යනුවෙන් මේ අයුරින් ද නොසිතයි. තෘෂ්ණා, මාන, දෘෂ්ටි යන වැරදි හැඟීම් එකක් හෝ නො උපදී යන අදහසයි. චක්‍ඛුං මෙති න මඤ්ඤති යනු මගේ ඇස් යයි නොසිතයි. මමත්වය නිසා හටගත් තෘෂ්ණාව යන වැරදි හැඟීම නො උපදී යන අරුතයි. සෙස්ස පැහැදිලි ය. මේ සූත්‍රයෙහි ස්ථාන එකසිය සතළිස් සතරකදී අර්හත් භාවයට පමුණුවන විදර්ශනාව කියන ලදී.
9. සප්පායපටිපදා සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි සමුග්ඝාත සප්පායං යනු නැති කිරීමට උපකාර වූ යන අදහසයි. තතො තං හොති අඤ්ඤථා යනු එබැවින් එය අන් අයුරකින් සිදුවේ යන අදහසයි. අඤ්ඤථා භාවී භව සත්තො ලොකො භවමෙව අභිනන්‍දති යනු සත්ත්වයා අන්‍ය ස්වභාවයකට, විපරිණාමයකට පැමිණීමෙන් වෙනත් ස්වභාවයකට පත් වී සිටියේ වුව ද භවයෙහි ඇලී ගැලී දුඃඛිත ස්වභාවයෙහි සිටියේ වුව ද එම ලෝකය යහපත් යයි එහි ඇලුම් කරයි, යන අදහසයි. යාවතා භික්‍ඛවෙ ඛන්‍ධධාතු ආයතනං යනු “මහණෙනි, යම්තාක් මෙම (රූප වේදනා ආදී) ස්කන්ධයෝ ද (පඨවී, ආපෝ) ආදි ධාතූහු ද, (චක්‍ඛුසොත ආදි) ආයතනයෝද වෙත් නම් ඒවා ඛන්‍ධධාතු ආයතන නම් වේ යන අදහසයි. තම්පි න මඤ්ඤති යනු (ඇස්, කන් ආදී) සියල්ලම (මමය, මාගේය යන ආදී වශයෙන්) නො සිතයි. යනුවෙන් ඉහත දී කියූ දෙයම එක් කොට නැවත දක්වයි යන අදහසයි. මේ සූත්‍රයෙහි ස්ථාන එකසිය සතළිස් අටකදී අර්හත් භාවයට පමුණුවන විදර්ශනාව කියන ලදී.
10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - එතං මම යන ආදියෙන් පද තුන බැගින් ගෙන තෘෂ්ණා මාන දෘෂ්ටි ගැනීම් පෙන්වා ත්‍රිවිධ පරිවෘත්තීය ක්‍රමයකින් දේශනා කරන ලදී. පිළිවෙළින් සලකන විට වනාහී මෙම සූත්‍ර තුනෙහිම විදර්ශනාව ද සමග මාර්ග සතරක්ම කියන ලදී.
තෙවන සබ්බ වර්ග නිමියේය.
4. ජාතිධම්ම වර්ගය
1-10. ජාතිධම්ම ආදි සූත්‍ර වර්ණනා
ජාති ධම්ම වර්ගයෙහි ජාති ධම්මං යනු උපදින බවයි, හටගන්නා ස්වභාවයයි. ජරා ධම්මං යනු දිරා පත්වන ස්වභාවයයි. ව්‍යාධි ධම්මං යනු රෝගයන්ගේ උත්පත්තියට හේතු වන බැවින් ව්‍යාධි භාවය ඇත යන අදහසයි. මරණ ධම්මං යනු මරණය ස්වභාවය කොට ඇත යන්නයි. සොක ධම්මං යනු ශෝකයේ උත්පත්තියට හේතු වන බැවින් ශෝක ස්වභාවය යන අදහසයි. සංකිලෙසික ධම්මං යනු කිලිටිවන භාවයයි. ඛයධම්මං යනු ක්ෂය වන ස්වභාවයයි. වයධම්ම ආදියෙහි ද මෙම ක්‍රමයම වේ.
සිව්වන ජාති ධම්ම වග්ගය නිමියේය.
5. සබ්බනිච්ච වර්ගය
1-10. අනිච්ච ආදි සූත්‍ර වර්ණනා
අනිච්ව වර්ගයෙහි - අභිඤ්ඤෙය්‍යං යනු වෙසෙසින් දතයුතු දෙය යයි ගනු ලැබේ. ඉතිරි කරුණු දෙක වනාහී (විස්තර කථනය සඳහා) ගන්නා ලද්දේමයයි දත යුතුය. (පරිඤ්ඤෙය්‍ය හෙවත්) වෙසෙසින් දත යුතු. සහ (පහාතබ්බ හෙවත්) ඉවත් කළ යුතු පදයන්හි ද නිශ්චය කර ගැනීම, ඉවත් කිරීම, වෙසෙස් දැනුම යන කරුණු ද අන්තර්ගත වේ. ඉතිරි (කරුණු) දෙක ද ගන්නා ලද්දේම යයි දත යුතු වේ. සච්ඡිකාතබ්බං යනු ප්‍රත්‍යක්ෂ කළ යුතුය යන්නයි. අභිථෙඤ්ඤෙය්‍ය පරිඤ්ඤෙය්‍යං යන මෙහි ද ප්‍රහාණය කළ යුතුය (හෙවත් පහාණා පරිඤ්ඤා) යන්න නොකියන ලද්දේ වුවද එය ඇතුළත් කරන ලද්දේම යයි දත යුතුයි. උපද්දුතං යනු නොයෙක් උවදුරුවලට පැමිණීමෙන් යන අදහසයි. උපස්සට්ඨං යනු නැසූ හෙවත් උවදුරුවලට පත් කළ යන්නයි. සෙස්ස පහසුවෙන් අවබෝධ වේ.
පස්වන අනිච්ච වග්ගය නිමියේය.
පළමුවන පණ්ණාසකය සමාප්තයි.
6. අවිජ්ජා වර්ගය
1-10. අවිජ්ජාපහාන ආදි සූත්‍ර වර්ණනා
අවිජ්ජා වර්ගයෙහි - අවිජ්ජා යනු චතුරාර්ය සත්‍යය නොදැනීමයි. විජ්ජා යනු අර්හත් මාර්ගය පිළිබඳ දැනුමයි. අනිච්චතො ජානතො පස්සතො යනු දුඃඛ සහ අනාත්ම වශයෙන් දැනගන්නාවූත්, දකින්නාවූත්, තැනැත්තාගේ (කෙළෙස්) ප්‍රහීන වේමය යන අදහසයි. මෙය අනිත්‍ය වශයෙන් කියන ලද කලින් අවබෝධ කර ගන්නා පුද්ගලයාගේ අදහසින් කියන ලදී. සියලු තන්හිම මේ ක්‍රමය වේ. තව ද මෙහි සඤ්ඤොපනා යනු දස සංයෝජනයන්ය. ආසවා යනු (කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන) ආශ්‍රවයන් සතරයි. අනුසය යනු (කාමරාග, පටිඝ ආදී) අනුසය සතයි. සබ්බූපාදාන පරිඤ්ඤාය යනු සියලු සිවු වැදෑරුම් උපාදාන තුන් ආකාර වූ පූර්ණ දැනුමෙන් අවබෝධ කර ගැනීම පිණිස යන අදහසයි. පරියාදානාය යනු ක්ෂය කිරීම සඳහා යන අදහසයි. සෙස්ස පහසුවෙන් අවබෝධ වේවය.
පළමු වන අවිජ්ජා වර්ගය නිමි.
7. මිගජාල වර්ගය
1. මිගජාල සූත්‍ර වර්ණනාව
මිගජාල වර්ගයේ පළමු වැන්නෙහි - චක්‍ඛු විඤ්ඤෙය්‍ය යනු චක්ෂුර් විඥානයෙන් දැකිය යුතු දේ යන අදහසයි. සෝත විඤ්ඤෙය්‍ය ආදියෙහිදී ද මේ ක්‍රමය ම වේ. ඉට්ඨා යනු ප්‍රියජනක වේවා හෝ නොවේවා හෝ ප්‍රිය අරමුණුවලට හේතුවන දේවල් යන අදහසයි. කන්ත යනු ප්‍රිය වූ යන අදහසයි. මනාප යනු සිත් අලවන යන අදහසයි. පියරූපි යනු මනෝඥ රූප යන අදහසයි. කාමුපසංහිතා යනු අරමුණු කොට උපදින්නාවූ කාමයෙන් යුක්ත වූ යන අදහසයි. රජනීය යනු සිත් අලවන්නාවු, රාගය ඉපදීමට හේතු වූ යන අදහසයි. නන්දී යනු තෘෂ්ණාවෙන් සතුටු වීමයි. සඤ්ඤාගො යනු එක්වීමයි. නන්‍දි සඤ්ඤොජන සම්ප යුත්තො යනු තෘෂ්ණාව නම් වූ බැම්මෙන් බඳින ලදුයේ යන අදහසයි. අරඤ්ඤෙ වන පන්‍ථානි යනු වනාන්තර හා ඈත පිහිටි වන ආශ්‍රමයන් යන අදහසයි. කෙසේ වෙතත් නගරයේ සීමාව දක්වන කණුවෙන් බැහැරට පිට වූ විට ඇති ප්‍රදේශ සියල්ලම ආරණ්‍ය යයි කියනු ලබන බව අභිධර්මයෙහි ඍජුවම සඳහන් වේ. එසේ වුව ද ඊතලයක් දුවන දුර මෙන් පන්සිය වාරයක් වූ දුරක් දක්වා ආරණ්‍ය සේනාසනය යයි කියන ලදී. මෙහි දී එයම අදහස් කරන ලද්දේයයි දත යුතුයි.
වනපත්‍ථං යනු ගම් කෙළවර ඉක්මවා ඇති මිනිස් ඇසුරෙන් තොර තැනකි. එහි සී සෑම නොකෙරේ. ධාන්‍ය වැපිරීම නොකෙරේ. වන පත්‍ථං යනු සෙනසුන්වලින් ඈත් වූ ස්ථානයකට වෙනත් වදනක් යයි ද කියන ලද්දේ වෙයි. වන පත්‍ථ යනු වන රොදටද, හිංසා කරන්නවුනට ද. ලොමුදැහැගැන්වීම් කරන්නවුනට ද. පර්යන්ත ප්‍රදේශවලට ද, අමනුෂ්‍යයන්ගෙන් ගහණ වූ සෙනසුන් වලටද වෙනත් වදනකි.
මෙහි පරියන්තානං යන මේ එකම පදය හැර සෙසු සමානාර්ථවත් පදවලින් වනයෙන්ම දත යුත්තේය. පන්නානි යනු ඉතා දුර වූ පර්යන්ත ප්‍රදේශයන්ය. අප්ප සද්දානි - වංගෙඩි මෝල් ගස් ආදියේ හඬ නැති බැවින් අප්ප සද්දානි යයි කියන ලදී. අප්ප නිග්ඝොසානි - ඒ ඒ ලිහිල් හඬ හා මහත් වූ හඬ නැති වීමේ හේතුවෙන් අප්ප නිග්ඝොස යයි කියන ලදී. විජනවාතානි යනු සැරිසරන ජනයාගේ සිරුරු පහස ලැබු වාතය නැති යන අදහසයි. මනුස්ස රාහසෙය්‍යකානි යනු මිනිසුන්ගේ රහස් කටයුතුවලට යෝග්‍ය වූ යන අදහසයි. පටිසල්ලාන සාරුප්පානි යනු සැඟවී සිටීමට සුදුසු යන අදහසයි.
2. දුතිය මිගජාල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - නන්‍දිනිරොධා දුක්ඛ නිරොධො යනු තෘෂ්ණාවගේ නිරුද්ධ වීම (නැතිවීම) හේතුකොට ගෙන දුඃඛචක්‍රයේ (හෙවත් පවත්නා දුකෙහි) නිරෝධය සිදු වේ යන අදහසයි.