4. අපරිජාන සූත්ර වර්ණනාව
සිව්වැන්නෙහි අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං යන “මනා සේ නොදන්නේද, මුලුමනින්ම නොදන්නේද, විරාගයට නො පමුණුවන්නේ ද, ක්ලේශයන් කෙරෙහි ඇලීම අත්නොහරින්නේ ද වේ” යන අදහසයි. මෙහි වූ කලී “අවිරාජෙන්තො” යනු ඇලීම්වලින් වෙන් නොවී සිටීමයි. මෙසේ මේ සූත්රයෙහි මුලුමනින්ම දැන ගත ගත යුතු කරුණු තුනක් කියන ලදී. “අභිජානන්ති” යන පදයෙන් දත යුත්ත සම්පූර්ණ වශයෙන් දැන ගත යුතු බව කියන ලදී. “පරිජානන්ති” යන පදයෙන් විනිශ්චය කිරීමේ සම්පූර්ණ දැනුම තිබිය යුතු බව කියන ලදී. “විරාජයං, පජහං” යන පද දෙකින්ම අත්හැරීම පිළිබඳ සම්පූර්ණ දැනුම තිබිය යුතු බව කියන ලදී.
5. ද්විතීය අපරිජාන සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි - “චක්ඛු විඤ්ඤාණ විඤ්ඤා තබ්බා ධම්මා” යන්න සඳහා ඉහතදී ගන්නා ලද කරුණුම ගෙන හැර දැක්වේ. යට දැක්වූ කරුණුවලින් ඉදිරියට ගත යුතු කරුණු ගන්නා ලද්දේ වෙයි. මෙහිදී ඉහතින් නොගත් මෙම කරුණු වනාහී අවසන් හෝ නිශ්චිත කරුණු යයි කිව යුතු වේ. ඉහතින් ගෙන ඉදිරිපත් කළාවූ ද, ඉහතින් නොගෙන ඉදිරිපත් කළාවූ ද කරුණු ගන්නා ලද්දේ ම වෙයි. මෙහිදී වනාහී චක්ඛු විඤ්ඤාණය සමග එක්ව යෙදුණු ස්කන්ධ තුනක් වේ. ඒවා ද චක්ඛු විඤ්ඤාණයෙන්ම දැන ගත යුතු බැවින් (ඒ අර්ථයෙන් යුත්) චක්ඛු විඤ්ඤාණ විඤ්ඤා තබ්බා යනුවෙන් කියන ලදී. සෙසු පදයන්හි දී ද මෙම පිළිවෙළම වේ.
6. ආදිත්තපරියාය සූත්ර වර්ණනාව
සය වැන්නෙහි - ගයා සීසෙ = ගයා නම් වූ ගමට නුදුරෙහි ගයා යන නම ඇති එක් පොකුණක් ද, නදියක් ද ඇත. ඇත් කුඹකට සමාන වූ ගල්තලාවක් ද ඇත්තේය. එහි භික්ෂුන් දහසකට සෑහෙන ඉඩකඩ තිබේ. (මෙයට සම්බන්ධ කාලයෙහි) භාග්යවතුන් වහන්සේ එහි වාසය කරති. යථොක්ත හේතූන් නිසා “ගයා සීස” යයි කියන ලදී. භික්ඛු ආමන්තෙසි ඒ භික්ෂුන් හට යෝග්ය වූ ධර්ම දේශනයක් තෝරා ගෙන එය දේශනා කරන්නෙමියි (සලකා) ආමන්ත්රණය කළ සේක.
මේ එහි අනුපිළිවෙළ කථාවයි. මෙයින් දෙඅනු කපකට පෙර මහින්ද නම් රජෙක් විසීය. ඔහුගේ ජ්යෙෂ්ඨ පුත්රයා “ඵුස්ස” නම් විය. පුරන ලද පාරමිතා ඇති පශ්චිම භවයෙහි උපන්නාවූ හේ තෙමේ නුවණ මුහුකුරා ගිය කල්හි බෝධිමණ්ඩලාරූඪ වී සර්වඥතා ඥානය අවබෝධ කළේය. රජුගේ කණිෂ්ඨ පුත්රයා ඒ සර්වඥයන් වහන්සේ අග්රශ්රාවක විය. පුරෝහිතයාගේ පුත්රයා දෙවන ශ්රාවක විය. රජතුමා මෙසේ කල්පනා කළේය. මාගේ ජ්යෙෂ්ඨ පුත්රයා නික්ම ගොස් බුද්ධත්වයට පත් විය. කණිෂ්ට පුත්රයා අග්ර ශ්රාවක විය. පුරෝහිතගේ පුත්රයා ද්විතීය ශ්රාවක විය.
ඒ රජ තෙමේ “බුදුහු අපගේමය. ධර්මය අපගේ මය. සංඝයාද අපගේමය”යි විහාරයක් කරවා එම විහාර දොරටු කොටුවෙහි සිට තමාගේ නිවාස දොරටුව දක්වා උභය පාර්ශ්වයෙහි උණ ලීවලින් වට කරවා උඩට තරුවලින් සැරසූ සුවඳ දුමින් හා මල් දමින් යුත් වියනක් බඳවා, යටට රිදීවන් වැලි අතුරවා, මල් විසුරුවා ඒ මගින් භාග්යවතුන් වහන්සේ වැඩම වීය.
බුදුහු විහාරයෙහි ම වැඩසිටි සේක් සිවුර පොරවා දෙපස වූ ආවරණ අතරින්ම භික්ෂු සංඝයා සමඟ රජ ගෙදරට වැඩම කරති. කරන ලද බත්කිස ඇති සේක් ආවරණ අතරින්ම (ආපසු) වඩිති. අන් කිසිවෙක් හෝ බත් සැන්දක් පමණවත් පිදීමට (ඉඩක්) නො ලබති. එහෙයින් නගර වැසියෝ (මෙසේ) උද්ඝෝෂණය කළහ. “බුදු කෙනෙක් ලොව පහළ විය. (එහෙත්) අපි පින් කිරීමට (ඉඩක්) නො ලබම්හ. යම් සේ සඳහිරු (දෙදෙන) සියලු දෙනාහටම ආලෝකය ලබා දෙත් ද, එසේම බුදුවරු වනාහී හැම දෙනාගේම යහපත පිණිස උපදිත්. මේ රජතෙමේ සියල්ලන්ගේම පින් කෙත තමාගේ ම (සීමාව) තුළට ප්රවිෂ්ට කරවා ගනියි.”
ඒ රජුට වනාහී තවත් පුත්තු තිදෙනෙක් වෙති නාගරිකයෝ ඔවුන් සමඟ එක් වී “රජ පවුල් සමග ඇතුළත් බවක් (හෙවත් විශ්වාසයක්) නම් තැබිය නොහැක්කේය. එක්තරා උපායක් යොදමු” යයි සම්මන්ත්රණය කළහ. ඔව්හු පසල් දනවුවෙහි සොරුන් ගම් කිහිපයකට පහර දී ඇතැ”යි (සඳහන්) හසුන් පතක් ගෙන්වා රජුට දැනුම් දුන්හ. රජතුමා පුතුන් කැඳවා “දරුවනි, මම මහළු වෙමි. යන්න, සොරුන් සන්සිඳුවන්නැ” යි කියා ඔවුන් යැවීය. (ඔවුන් විසින් ම) මෙහෙයවනු ලැබු සොරු ඒ මේ තන්හි විසිරී සිට ඔවුන් වෙතටම පැමිණියහ. ඒ කුමරහු තමනට නුහුරු ඒ ගමෙහි වැස, ආපසු පැමිණ රජ තුමාට වැඳ “සොරුන් සන්සිඳුනහ” යි කියා සිටියහ.
රජතුමා සතුටුවූයේ “දරුවනි, තොපට වරයක් දෙමියි කීය. ඔව්හු කැමති වී ගොස් “රජතුමා විසින් අපට වරයක් දෙන ලදී, කුමක් ගනිමුදයි නුවර වැසියන් සමඟ සාකච්ඡා කළහ. “ස්වාමී (වු රජතුමා) ගේ පුතණුවනි, ඔබට ඇත්, අස් ආදීහු දුර්ලභ නොවෙති. එහෙත් බුද්ධ රත්නය වනාහී දුර්ලභය, බුදුහු හැම කල්හිම නොඋපදිති. ඔබගේ දෙටු සොයුරු වූ ඵුස්ස බුදුන් වහන්සේට උපස්ථාන කිරීමේ වරය ලබා ගන්නැයි (නුවර වැසියෝ කීහ)
ඔව්හු එසේ කරන්නෙමු යයි නුවරුන්හට පොරොන්දු වී දැළි රැවුල් කප්පවා ජල ස්නානය කොට, සුවඳ ගල්වා ගෙන රජුවෙතට ගොස් “දේවයන් වහන්ස, අපට ඇතුන් ආදීන්ගෙන් ප්රයෝජනයක් නැත. අපගේ දෙටු සොයුරු ඵුස්ස බුදුන් හට උපස්ථාන කිරීමේ වරය දෙනු මැනව”යි කුමරුවෝ කීහ. “මගේ දිවි ඇති තෙක් මේ වරය දීමට නොහැක්කේය”යි කියන රජතුමා දෙසවන් ද වසාගත්තේය. “දේවයන් වහන්ස, අපගේ බල කිරීමකින් ඔබ විසින් වරය දෙන ලද්දේ නො වේ. ඔබ විසින් සිය කැමැත්තෙන් සතුටින් දෙන ලද්දකි. රජතුමනි, රජ කුලයට කථා දෙකක් කීම සුදුසු වේද? අපි සත්යවාදී භාවයෙන්ම වරය ලබා ගනිමුය” යි කුමාරවරු කීහ.
රජතුමා එය ප්රතික්ෂේප කිරීමට නො හැක්කේ දරුවනි, සත් අවුරුදු සත්මස් සත් දිනක් උපස්ථාන කොට ඔබහට දෙන්නෙමි”යි කීය. “යහපති දේවයිනි, ඇප වනු මැනව” (යි කුමරහු කීහ) “කෙබඳු ඇපයක්ද දරුවනි, “එපමණ කලකට නොමැරෙන බවට ඇපයකි දේවයන් වහන්ස,” “දරුවනි, එම ඇපය නො සුදුසුය. එවැනි ඇපයක් දිමට නොහැක්කේය. සත්ව ජීවිතය තණ අග පිනි බිඳකට සමානය”යි රජතුමා කීය. “දේවයිනි, ඇප නොවන්නෙහි නම් අතරතුරදී අප මළහොත් කිනම් කුසලයක් කරන්නෙමුදැ”යි කුමරුවෝ ඇසූහ. “එසේ නම් දරුවනි, අවුරුදු හයක් දෙන්න” නො හැක දේවයිනි” “එසේ නම් අවුරුදු පසක්?,” සතරක්, තුනක්. දෙකක්, එකක්, මාස හයක්. මාසයක්, දෙන්නැයි රජතුමා පිළිවෙලින් ඉල්ලීය. “නො හැකි දේවයිනි”යි කුමාරවරු කීහ. “එසේ නම් සත් දිනක් දෙන්න” යයි රජතුමා කීය. “යහපති දේවයිනි”යි සත් දිනක් සඳහා පොරොන්දු වූහ. රජතුමා සත් හවුරුදු සමයේ සත් දිනකදී කළ යුතු සත්කාර සත් දිනකදීම සිදු කළේය.
ඉක්බිති පුතුන් වසනා තැනට ශාස්තෲන් වහන්සේ යැවීමට අට ඉස්බක් පළල්වූ මාර්ගය අලංකාර කරවීය. මාර්ගයේ මැද සිවු ඉස්බක් පමණ වූ පෙදෙස ඇතුන් ලවා පාගවා කසිණ මණ්ඩලයක් මෙන් සිනිඳු කොට වැලි අතුරවා මල් විසිරවීය. ඒ ඒ තන්හි කෙසෙල් ගස් ද පුන්කුඹු ද තබවා ධ්වජ පතාක එසවූයේය. ඉස්බක් පාසා පොකුණු කරවීය. පසු කොටසෙහි දෙපස සුවඳ මල් දම් විකුණන අවන්හල් සකස් කරවීය. මධ්යයෙහි සිවු ඉස්බක් වූ අලංකාර කළ මාර්ගයේ දෙපස ඉස්බ දෙක බැගින් පුළුල් වූ මාර්ග තීරුවල කණු, මුල් හා කටු ඉවත් කරවා දඬුවැට පහන් කරවීය. රාජ පුත්රයෝ ද තමන්ගේ අණ පවත්නා තන්හි සොළොස් ඉස්බක් වූ මාර්ගයෙහි එසේ ම අලංකාර කටයුතු කරවූහ.