2. පහාණ සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - සබ්බ ප්පහාණාය යනු සියල්ල අත් හැරීමයි. චක්‍ඛු සම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං යනු ඇසට ලැබෙන ස්පර්ශය මූල හේතුව කොට උපන් (රූපය) ග්‍රහණය කිරීම. අවබෝධ කර ගැනීම, නිශ්චය කිරීම යන ජවන (චිත්ත) වින්දනය යන අදහසයි. රූපය (හෙවත් චක්‍ඛු විඤ්ඤාණය) ග්‍රහණය කොට වින්දනය කර ගන්නහු සඳහා වනාහී කිව යුත්තක් නැත්තේමය. කණ නමැති දොරටුව ආදීවූ, වින්දනයන් ග්‍රහණය කිරීමට හේතු වන වෙනත් ඉන්‍ද්‍රියයන් පිළිබඳව ද මේ පිළිවෙළ ම වන්නේය. මෙහි මනො යනු (අරමුණු නොගත්. උපතේ දී ජනිත වූ මුල් සිත හෙවත්) භවාංග චිත්තය යි. ධම්ම යනු (සිත පිහිටීමට ස්ථාන වූ) අරමුණ යි. මනො විඤ්ඤාණ යනු ආවර්ජනය කිරීම් සහිත වූ ජවන් සිතයි. මනො සම්ඵස්ස යනු භවාංග සිත (සහිත වූ ඒ) සමග උපන්නා වූ ස්පර්ශයයි. වෙදයිතං යනු ආවර්ජන වින්දනය සමග පවත්නා ජවන චිත්ත වින්දනයයි. භවාංගය සමග එක්ව යෙදුණ චිත්තය ගැන වනාහී කිවයුත්තක් නොමැත්තේමය. ආවර්ජනය කිරීම භවාංගයෙන් මුදා නො හැර මනො යනුවෙන් ආවර්ජනය කිරීම් සහිත වූ භවාංග යයි දත යුතුය. ධම්ම යනු අරමුණ යි. මනො විඤ්ඤාණං යනු ජවන විඤ්ඤාණයයි. මනො සම්ඵස්ස යනු භවාංගය සමග උපන් ස්පර්ශයයි. වෙදයිතං ජවන සමග උපන් වින්දනය ආවර්ජනය කිරීම් සහිතව භවාංගය සමග ද පවතින්නේය. මෙහි යම් කිසි දේසනාවක් වෙනත් දේශනාවක් සමග සම්බන්ධ වේ නම් මෙය ප්‍රඥප්ති නාමය ලෙස සැලකිය යුත්තේය. (මෙම දේශනාව “සබ්බ වග්ග” යන නාමය යොදාගත හැකි බවයි)
3. දෙවැනි පහාණ සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි - සබ්බං අභිඤ්ඤා පරිඤ්ඤා පහාණය යනු සියල්ල මනා සේ දැන ගෙන, සම්පූර්ණ වශයෙන්ම දැනගෙන දුරු කිරීම පිණිසය යන අදහසයි. අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං යනු “මනා සේ දැනගෙන සම්පූර්ණ වශයෙන්ම දැන ගෙන ඉවත් කළ යුතුය. යන අදහසයි. සෙස්ස (පෙර) කියන ලද ක්‍රමයෙන්ම දත යුත්තේය.
4. අපරිජාන සූත්‍ර වර්ණනාව
සිව්වැන්නෙහි අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං යන “මනා සේ නොදන්නේද, මුලුමනින්ම නොදන්නේද, විරාගයට නො පමුණුවන්නේ ද, ක්ලේශයන් කෙරෙහි ඇලීම අත්නොහරින්නේ ද වේ” යන අදහසයි. මෙහි වූ කලී “අවිරාජෙන්තො” යනු ඇලීම්වලින් වෙන් නොවී සිටීමයි. මෙසේ මේ සූත්‍රයෙහි මුලුමනින්ම දැන ගත ගත යුතු කරුණු තුනක් කියන ලදී. “අභිජානන්ති” යන පදයෙන් දත යුත්ත සම්පූර්ණ වශයෙන් දැන ගත යුතු බව කියන ලදී. “පරිජානන්ති” යන පදයෙන් විනිශ්චය කිරීමේ සම්පූර්ණ දැනුම තිබිය යුතු බව කියන ලදී. “විරාජයං, පජහං” යන පද දෙකින්ම අත්හැරීම පිළිබඳ සම්පූර්ණ දැනුම තිබිය යුතු බව කියන ලදී.
5. ද්විතීය අපරිජාන සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි - “චක්‍ඛු විඤ්ඤාණ විඤ්ඤා තබ්බා ධම්මා” යන්න සඳහා ඉහතදී ගන්නා ලද කරුණුම ගෙන හැර දැක්වේ. යට දැක්වූ කරුණුවලින් ඉදිරියට ගත යුතු කරුණු ගන්නා ලද්දේ වෙයි. මෙහිදී ඉහතින් නොගත් මෙම කරුණු වනාහී අවසන් හෝ නිශ්චිත කරුණු යයි කිව යුතු වේ. ඉහතින් ගෙන ඉදිරිපත් කළාවූ ද, ඉහතින් නොගෙන ඉදිරිපත් කළාවූ ද කරුණු ගන්නා ලද්දේ ම වෙයි. මෙහිදී වනාහී චක්‍ඛු විඤ්ඤාණය සමග එක්ව යෙදුණු ස්කන්ධ තුනක් වේ. ඒවා ද චක්‍ඛු විඤ්ඤාණයෙන්ම දැන ගත යුතු බැවින් (ඒ අර්ථයෙන් යුත්) චක්‍ඛු විඤ්ඤාණ විඤ්ඤා තබ්බා යනුවෙන් කියන ලදී. සෙසු පදයන්හි දී ද මෙම පිළිවෙළම වේ.
6. ආදිත්තපරියාය සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - ගයා සීසෙ = ගයා නම් වූ ගමට නුදුරෙහි ගයා යන නම ඇති එක් පොකුණක් ද, නදියක් ද ඇත. ඇත් කුඹකට සමාන වූ ගල්තලාවක් ද ඇත්තේය. එහි භික්ෂුන් දහසකට සෑහෙන ඉඩකඩ තිබේ. (මෙයට සම්බන්ධ කාලයෙහි) භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරති. යථොක්ත හේතූන් නිසා “ගයා සීස” යයි කියන ලදී. භික්‍ඛු ආමන්තෙසි ඒ භික්ෂුන් හට යෝග්‍ය වූ ධර්ම දේශනයක් තෝරා ගෙන එය දේශනා කරන්නෙමියි (සලකා) ආමන්ත්‍රණය කළ සේක.
මේ එහි අනුපිළිවෙළ කථාවයි. මෙයින් දෙඅනු කපකට පෙර මහින්ද නම් රජෙක් විසීය. ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා “ඵුස්ස” නම් විය. පුරන ලද පාරමිතා ඇති පශ්චිම භවයෙහි උපන්නාවූ හේ තෙමේ නුවණ මුහුකුරා ගිය කල්හි බෝධිමණ්ඩලාරූඪ වී සර්වඥතා ඥානය අවබෝධ කළේය. රජුගේ කණිෂ්ඨ පුත්‍රයා ඒ සර්වඥයන් වහන්සේ අග්‍රශ්‍රාවක විය. පුරෝහිතයාගේ පුත්‍රයා දෙවන ශ්‍රාවක විය. රජතුමා මෙසේ කල්පනා කළේය. මාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා නික්ම ගොස් බුද්ධත්වයට පත් විය. කණිෂ්ට පුත්‍රයා අග්‍ර ශ්‍රාවක විය. පුරෝහිතගේ පුත්‍රයා ද්විතීය ශ්‍රාවක විය.
ඒ රජ තෙමේ “බුදුහු අපගේමය. ධර්මය අපගේ මය. සංඝයාද අපගේමය”යි විහාරයක් කරවා එම විහාර දොරටු කොටුවෙහි සිට තමාගේ නිවාස දොරටුව දක්වා උභය පාර්ශ්වයෙහි උණ ලීවලින් වට කරවා උඩට තරුවලින් සැරසූ සුවඳ දුමින් හා මල් දමින් යුත් වියනක් බඳවා, යටට රිදීවන් වැලි අතුරවා, මල් විසුරුවා ඒ මගින් භාග්‍යවතුන් වහන්සේ වැඩම වීය.
බුදුහු විහාරයෙහි ම වැඩසිටි සේක් සිවුර පොරවා දෙපස වූ ආවරණ අතරින්ම භික්ෂු සංඝයා සමඟ රජ ගෙදරට වැඩම කරති. කරන ලද බත්කිස ඇති සේක් ආවරණ අතරින්ම (ආපසු) වඩිති. අන් කිසිවෙක් හෝ බත් සැන්දක් පමණවත් පිදීමට (ඉඩක්) නො ලබති. එහෙයින් නගර වැසියෝ (මෙසේ) උද්ඝෝෂණය කළහ. “බුදු කෙනෙක් ලොව පහළ විය. (එහෙත්) අපි පින් කිරීමට (ඉඩක්) නො ලබම්හ. යම් සේ සඳහිරු (දෙදෙන) සියලු දෙනාහටම ආලෝකය ලබා දෙත් ද, එසේම බුදුවරු වනාහී හැම දෙනාගේම යහපත පිණිස උපදිත්. මේ රජතෙමේ සියල්ලන්ගේම පින් කෙත තමාගේ ම (සීමාව) තුළට ප්‍රවිෂ්ට කරවා ගනියි.”