1-4. සම්බොධ ආදි සූත්‍ර වර්ණනා
යමක වර්ගයේ පළමුවැන්නෙහි සහ දෙවැන්නෙහි දැක්වෙන අජ්ඣත්තිකානං (හෙවත් ආධ්යාත්මිකයන්ගේ) යනුවෙන් අධ්‍යාත්මයෙහි ගැඹුරුම ස්වභාවය වශයෙන් යයි අදහස් වේ. එම ආධ්‍යාත්මික ස්වභාවය වනාහී ඡන්ද රාගයාගේ (හෙවත් කැමති වන දෙයට ආශා කිරීමේ) අධික බලවත් භාවය පිණිස පවතීයයි දත යුත්තේය. ආධ්‍යාත්මික ආයතන සය මිනිසුන්ගේ නිවෙස් හි ඇතුළු කොටස් මෙනි. බාහිර ආයතන සය නිවසට යාබද අවට කොටස් මෙනි. ඔවුන්ගේ අඹු දරුවන්ගෙන් හා ධන ධාන්‍යයෙන් පිරුණු ගෘහ අභ්‍යන්තරය කෙරෙහි ආශාව අධික ලෙස බලවත් වෙයි. කිසිවකුට හෝ එහි ඇතුල් වීමට ඉඩ නො දෙත්. භාජන ගැටීමකින් හට ගන්නා ඉතා අල්ප වූ ශබ්ද මාත්‍රයකදී පවා මේ කුමක් දැයි ප්‍රශ්න කරති. මේ අයුරින්ම ආධ්‍යාත්මික ආයතන සය පිළිබඳව අතිශයින් බලවත් වූ ආශාවක් ඇති වේ. මෙසේ ආශාවෙහි බලවත් බව නිසා ඒ ආයතන අධ්‍යාත්මික යයි කියනු ලැබේ. නිවස අවට කෙරෙහි වනාහී ආශාව එතරම් බලවත් නොවේ. එහි යන එන මිනිසුන් ද, සිවු පාවුන් ද වහ වහා වැළැක්වීම නොකරත්. නො වළක්වන නමුදු ඔවුන්ගේ පැමිණීමට කැමැත්තක් ද නැත. පස් කූඩයක් හෝ ගැනීමට ද ඉඩ නො දෙත්. මෙසේ එම දේවල් කෙරෙහි අධික ආශාවක් ද ඔවුන් තුළ නැත. එබැවින් ඒවා බාහිර (ආයතන) යයි කියනු ලැබේ. ආධ්‍යාත්මික හා බාහිර ආයතන පිළිබඳව විස්තර වශයෙන් විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. සෙස්ස ඉහතින් සූත්‍ර දෙකෙහි කියන ලද ක්‍රමය අනුවම වේ. ඒ අයුරින්ම තෙවැන්නෙහි හා සිවු වැන්නෙහි කරුණු ද දත යුත්තේය.
5-6. නො චෙ අස්සාද ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි - නිස්සටා යන්නෙහි අදහස නික්මුණු යන්නයි. විසඤ්ඤුත්තා යන්නෙහි අදහස සංයෝග නො වූ යන්නයි. විප්පමුත්තා යන්නෙහි අදහස නොඇලුණු, නිදහස්වූ යන්නයි. විමරියා දිකතෙන චෙතසා යන්නෙහි අදහස සීමාවලින් තොර වූ සිතුවිල්ලෙන් යන්නයි. යං යම්බඳු වූ කෙළෙස් රැසක් හෝ පැවැත්මක් හෝ ප්‍රහීන නොවී පවතී ද, එසේ පැවතීමේ හේතුවෙන් පෘථග්ජනයන්ගේ සිත සීමාවලින් වට වූයේ ද වේ. යනු “යං” යන්නෙහි අදහසයි. යම් (ක්ලේශ) තත්ත්වයක් ප්‍රහීන වූයේ ද, ඒ හේතුවෙන් චිත්ත සීමා ඉවත් වේ. මෙහි වනාහී සර්ව ප්‍රකාරයෙන්ම කෙලෙසුන්ගේ ද, පැවැත්මේ ද ප්‍රහීන වීමේ හේතුවෙන් චිත්ත සීමාවන් ඉවත් වීම නිසා කෙළෙස් පැවතුම් හි සීමාවන් ඉක්ම වූ සිතින් වාසය කළහ යන අර්ථයයි. සය වැන්නෙහි ද මේ පිළිවෙළම වේ. මේ සූත්‍ර නවයෙහිම චතුරාර්ය සත්‍යයම කියන ලද්දේයයි දත යුත්තේත්ය.
7-10. අභිනන්ද ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්න මුල් කොට ඇති සූත්‍ර සතරෙහි පැවැත්ම ද නැවැත්ම ද යන මෙය ම කියන ලදී. මේවායේ අනු පිළිවෙළ කථාව වනාහී ඉහත කියන ලද ක්‍රමය අනුවම දත යුත්තේය.
දෙවන යමක වර්ග නිමියේය.
3. සබ්බ වර්ගය
1. සබ්බ සූත්‍ර වර්ණනාව
සබ්බ වර්ගයේ පළමු වැන්නෙහි දැක්වෙන “සබ්බං වො භික්ඛවෙ” යන්නෙහි දැක්වෙන “සබ්බං” යන්න සබ්බ සබ්බ, ආයතන සබ්බ, සක්කාය සබ්බ, පදෙස සබ්බ,” යනුවෙන් සිවු වැදෑරුම් වේ. එහි “සබ්බ සබ්බ” යන්න මෙසේ හඳුන්වා ඇත.
න තස්ස අදිට්ඨමිධත්ථි කිඤ්චි
අථො අවිඤ්ඤාතමඡානි තබ්බං,
සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං
තථාගතො තෙන සමන්ත චක්ඛු”
අථො අවිඤ්ඤාතමඡානි තබ්බං,
සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං
තථාගතො තෙන සමන්ත චක්ඛු”
බුදුන්වහන්සේ විසින් මෙලොව නොදක්නා ලද්දාවූ ද, නොදන්නා ලද්දවූ ද, නො දතයුතු වූ ද, කිසිවක් නැත්තේය, දත යුතු යමක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළ සේක. එබැවින් තථාගතයන් වහන්සේ “සමන්ත චක්ඛු” යයි හඳුන්වනු ලැබෙත්
ගාථාවෙහි අරුත හෙල පැදියෙන් මෙසේ දැක්විය හැක. (එයින් කීහ අටුවාචාරීහු)
නොදුටු නොම දත් හා - නොදත යුතු කිසිවක් නැති.
සව්නේ මඬල දත් - බුදුහු සමතැස් නමින් කියැවෙති.
සව්නේ මඬල දත් - බුදුහු සමතැස් නමින් කියැවෙති.
මෙය සබ්බ සබ්බ නම් වේ. මහණෙනි, ඔබට සියල්ල (සබ්බං) දේසනා කරමි. එය ශ්‍රවණය කරන්න.” යන මෙහි “සබ්බ “ යන්නෙන් “ආයතන සබ්බ” අදහස් වේ. “මහණෙනි, ඔබට සමස්ත ස්වභාවයේම මූලික පිළිවෙළ (සබ්බ ධම්ම මුල පරියාය) දේසනා කරමි.” යන මෙහි “සබ්බ” යන්නෙන් “සක්කාය සබ්බ” අදහස් වේ. සකල ස්වභාවයන්හීදීම (සබ්බ ධම්මෙසු) පළමුව සිත එක්තැන් කර ගැනීම් වශයෙන් සිත මනසේ ඇතිවන සිතුවිලි ඒවායින් හටගන්නා මනෝ විඤ්ඤාණ ධාතු යන මේවා උපදී. මෙහි “සබ්බ ධම්මෙසු” යන තැන සබ්බ යන්නෙන් “පදෙස සබ්බ” අදහස් වේ. මෙම පදේස සබ්බ කාණ්ඩයට ආරම්මණ සය (රූප, සද්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ ධම්ම) අයත් වේ. “සක්කාය සබ්බ “ කාණ්ඩයට (කාමාවචර, රූපාවචර, අරූපාවචර යන) ත්‍රෛභූමික තත්ත්වයන් අයත් වේ. “ආයතන සබ්බං” යනු (කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකුත්තර සිත් යන) චාතුර් භූමික තත්ත්වයන්ය. යම් කිසි දත යුතු දෙයක් වේ නම් එය “සබ්බ සබ්බ” කාණ්ඩයට අයත් වේ. “පදෙස සබ්බං” යන තත්ත්වය සක්කාය සබ්බං යන තත්ත්වයට නො පමුණුවයි. සක්කාය සබ්බ තත්ත්වය ආයතන සබ්බ තත්ත්වයට නොපමුණුවයි. ආයතන සබ්බ තත්ත්වය “සබ්බ සබ්බ” තත්ත්වයට නොපමුණුවයි. කුමක් හෙයින්ද යත් සර්වඥතාඥානයට මේ නම් ධර්මය අරමුණු නොවේයයි යන්නක් සිදු නොවන බැවිනි. මේ සූත්‍රයෙහිදී වනාහි සියලුම ආයතන (ආයතන සබ්බං) අදහස් කරන ලදි.
“පච්චක්ඛාය” යනු ප්‍රතික්ෂේප කොට යන්නයි. “වාචාවත්ථුරෙවස්ස” යනු වචනයෙන් කිවයුතු දෙය පමණක්ම වන්නේ ය යන අදහසයි. (චක්ඛු, සොත ආදී ආධ්‍යාත්මික ආයතන සය වන ඒවාට අරමුණු වන රූප, සද්ද ආදී බාහිර ආයතන සය යන) දොළොස් ආයතන හැර මෙනම් වෙනත් ස්වභාව ධර්මයක් ඇතැයි දක්වන්නට නො හැක්කේය. “ප්රට්ඨො න සම්පායෙය්ය” යනු “සබ්බං යන නම ඇති අන් කුමක් හෝ ඇත්දැයි විමසනු ලබන තැනැත්තෙක් මෙවන් වචනයකින් දැක්වෙන වෙනත් යමක් ඇතැයි ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේය යන අදහසයි. විඝාතං ආපජ්ජෙය්ය යනු දුකට පැමිණෙන්නේය යන්නයි. යථා තං භික්ඛවෙ අවිසයස්මිං යන මෙහි තං යනු නිපාත මාත්‍රයකි. යථා යනු “හේතුව” යන අරුත සඳහා යොදා ඇත. යම් කරුණක් නිසා හේතු රහිතවම ප්‍රශ්න කරන ලද්දේය යන අර්ථයයි. විෂය නො වන කාර්යන්හි යෙදීමෙන් සත්ත්වයන් හට විනාසයක්ම සිදු වේ. වහලයක මුදුන ප්‍රමාණයේ ගලක් හිසෙන් ඔසවා ගෙන ගැඹුරු දියෙහි තරණය කිරීම විෂය නොවන්නේ ය. එසේම සඳහිරු ඇද පහත හෙලීමට තැත් කරයි නම් (එහිදී කෙරෙනුයේ) විෂය නොවන කාර්යයෙක වෑයම් කිරීමයි. එයින් විනාසයටම පැමිණෙයි. එසේම මෙම විෂය නොවන කරුණෙහිදී ද විනාසයටම පැමිණෙන්නේයයි මෙහිදී අදහස් වේ.
2. පහාණ සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - සබ්බ ප්පහාණාය යනු සියල්ල අත් හැරීමයි. චක්ඛු සම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං යනු ඇසට ලැබෙන ස්පර්ශය මූල හේතුව කොට උපන් (රූපය) ග්‍රහණය කිරීම. අවබෝධ කර ගැනීම, නිශ්චය කිරීම යන ජවන (චිත්ත) වින්දනය යන අදහසයි. රූපය (හෙවත් චක්ඛු විඤ්ඤාණය) ග්‍රහණය කොට වින්දනය කර ගන්නහු සඳහා වනාහී කිව යුත්තක් නැත්තේමය. කණ නමැති දොරටුව ආදීවූ, වින්දනයන් ග්‍රහණය කිරීමට හේතු වන වෙනත් ඉන්ද්රියයන් පිළිබඳව ද මේ පිළිවෙළ ම වන්නේය. මෙහි මනො යනු (අරමුණු නොගත්. උපතේ දී ජනිත වූ මුල් සිත හෙවත්) භවාංග චිත්තය යි. ධම්ම යනු (සිත පිහිටීමට ස්ථාන වූ) අරමුණ යි. මනො විඤ්ඤාණ යනු ආවර්ජනය කිරීම් සහිත වූ ජවන් සිතයි. මනො සම්ඵස්ස යනු භවාංග සිත (සහිත වූ ඒ) සමග උපන්නා වූ ස්පර්ශයයි. වෙදයිතං යනු ආවර්ජන වින්දනය සමග පවත්නා ජවන චිත්ත වින්දනයයි. භවාංගය සමග එක්ව යෙදුණ චිත්තය ගැන වනාහී කිවයුත්තක් නොමැත්තේමය. ආවර්ජනය කිරීම භවාංගයෙන් මුදා නො හැර මනො යනුවෙන් ආවර්ජනය කිරීම් සහිත වූ භවාංග යයි දත යුතුය. ධම්ම යනු අරමුණ යි. මනො විඤ්ඤාණං යනු ජවන විඤ්ඤාණයයි. මනො සම්ඵස්ස යනු භවාංගය සමග උපන් ස්පර්ශයයි. වෙදයිතං ජවන සමග උපන් වින්දනය ආවර්ජනය කිරීම් සහිතව භවාංගය සමග ද පවතින්නේය. මෙහි යම් කිසි දේසනාවක් වෙනත් දේශනාවක් සමග සම්බන්ධ වේ නම් මෙය ප්රඥප්ති නාමය ලෙස සැලකිය යුත්තේය. (මෙම දේශනාව “සබ්බ වග්ග” යන නාමය යොදාගත හැකි බවයි)