4-12. ගය්හ ආදි සූත්‍ර වර්ණනා
සිවු වැන්න - පිරිසිදු කොට දේශනා කරන කල්හි අවබෝධ කරවන්නවුන්ගේ අදහසින් කියන ලදී. පස්වැන්න ආදියද ඒ ඒ අයුරින් අවබෝධ කරන්නවුන්ගේ අදහසින්ම කියන ලදී. ඒවායේ අර්ථය ද ප්‍රසිද්ධය.
සිවුවන දෙවදහ වර්ගය නිමියේය.
15. නවපුරාණ වර්ගය
1. කම්ම සූත්‍ර වර්ණනාව
නව පුරාණ වර්ගයේ පළමුවැන්නෙහි නවපුරාණාති නවීන වූ ද, පැරණි වූ ද. චක්‍ඛුං භික්‍ඛවෙ පුරාණ කම්මං - ඇස පුරාණ නොවේ. කර්මයම පුරාණ වේ. කර්මයෙන්ම නිපන් බැවින් හේතුවේ නාමයෙන් මෙසේ කියන ලදී. අභිසඞ්ඛතං = හේතූන් විසින් උසස් ලෙසින් කරන ලද අභිසඤ්චෙතයිතං = චේතනාව විසින් පිළියෙළ කරන ලද වෙදනීයං දට්ඨබ්බං = වේදනාව සඳහා හේතුවන වස්තුවක් යයි දැකිය යුතුය. නිරොධා විමුත්තිං ඵුසති = මේ තුන් ආකාරවු කර්මයන්ගේ නිරුද්ධ වීමෙන් විමුක්තිය අවබෝධ වේ. අයංවුච්චති = එම විමුක්තියෙහි අරමුණ වු මෙම නිරෝධය කර්ම නිරෝධය යයි කියනු ලැබේ. මෙසේ මේ සූත්‍රයෙහි මුල් කොටසෙහි විස්තර කියන ලදී.
2-5. සප්පාය ආදි සූත්‍ර වර්ණනා
දෙවැන්නෙහි - නිබ්බාණ සප්පායං = නිවනට හේතු වන්නා වූ, උපකාරී වන පිළිවෙත තුන්වැන්න ආදියෙහි ද මේ පිළිවෙළමය. අනු පිළිවෙළින් මේ සූත්‍ර සතරෙහි ම විදර්ශනාව සමග මාර්ග සතර ගැන කියන ලදී.
6-7. අන්තෙවාසික ආදි සූත්‍ර වර්ණනා
සය වැන්නෙහි - අනන්තෙ වාසිකං = අභ්‍යන්තරයෙහි කෙලෙස් රහිත අනාචරියකං = එක්ව හැසිරෙන කෙළෙස් රහිත. අන්තස්ස වසන්ති = මොහුගේ අභ්‍යන්තරයෙහි වසති තෙ නං සමුදා චරන්ති = ඔව්හු එය මැඩ පවත්වති, වසා ගෙන සිටිති, හෝ හික්මවති. මෙසේ වෙදකම කරව, මෙසේ දුත කර්ම කරව යන ආදී ලෙසින් හික්මවීම් වශයෙන් නිතර හැසිරෙන නිසා ඔව්හු ආචාර්යවරු නම් වෙති. ඒ ආචාර්යවරුන් නිසා “සාචරියක” (හෙවත් ආචාර්යවරුන් සහිත) යනුවෙන් කියනු ලැබේ. සෙස්ස මෙහි කියන ලද පිළිවෙලින්ම දත යුත්තේය. සත්වැන්න යට කියන ලද පරිදිම වේ.
8. අත්ථිනුඛොපරියාය සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - යං පරියායං අගම්මා = යම් කරුණකට පැමිණ අඤ්ඤත්‍රෙව සද්ධාය = විශ්වාසයෙන් තොරව, විශ්වාසය ඉවත් කොට මෙහිදී “සද්ධා” යනු ප්‍රත්‍යක්ෂ විශ්වාසය නොවේ. යමකු “මෙසේ වන්නේ” යනුවෙන් තවත් අයකු හට කියූ දෙයක් අසා එය විශ්වාසයට ගැනීම පිළිබඳව මෙය කියන ලදී. රුචි ආදියෙහි දී රුචි කරවා කමා කරවා යන අර්ථ ග්‍රහණය වූ ආකාරය රුචි නම් වේ. මෙසේ “සිදු වන්නේ ල” යනුවෙන් අසන්නට ලැබීම අනුස්සව වේ. හිඳගෙන එක් කරුණක් සිතන්නහුට කරුණ වැටහේ. මෙසේ වැටහීම ලැබුවහුට මෙය අර්ථය යයි ග්‍රහණය වීම ආකාර පරිවිතක්කො නම් වේ. කරුණු පිළිබඳව කල්පනා කිරීම යන අර්ථයයි. හිඳගෙන කල්පනා කරන්නාහුට පාපී සිතුවිලි උපදී. එහි අර්ථය මෙසේ යයි ග්‍රහණය කරගන්නා ආකාරය දිට්ඨිනිජ්ඣා නක්‍ඛන්ති (හෙවත් විවිධ දෘෂ්ටීන් ඉවසා සිටීම) නම් වේ. අඤ්ඤං බ්‍යාකරෙය්‍ය = මේ පස්වැදෑරුම් කරුණු ඉවත් කොට රහත්බව ප්‍රකාශ කරන්නේය. මේ සූත්‍රයෙහි පුහුදුන් අයගේ හා රහතුන්ගේ ප්‍රත්‍යවේක්ෂණය (හෙවත් නුවණින් සලකා බලන ආකාරය කියන ලදී.
9-10. ඉන්ද්‍රියසම්පන්න ආදි සූත්‍ර වර්ණනා
නව වැන්නෙහි - ඉන්‍ද්‍රිය සම්පන්නො = පිරිපුන් ඉඳුරන් ඇත්තේ. එහි - යමකු විසින් ඉන්‍ද්‍රියයන් සය විමසා බලා රහත් බවට පත් වූයේ ද, හෙතෙම තමාට සුවය නො සොයන ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්ත බැවින් ද, ඇස් ආදී වූ ඉඳුරන් සය විමසා බලන ඔහු (ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යනුවෙන් හැඳින්වෙන) උපන් ශ්‍රද්ධා ආදී ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්ත බැවින් ද “පරිපුණ්ණින්‍ද්‍රිය (පිරිපුන් ඉඳුරන් ඇත්තේ) නම් වෙයි. ඒ සඳහා ඔහුට භාග්‍යවතුන් වහන්සේ චක්‍ඛුන්‍ද්‍රියෙව යන ආදී පිළිවෙළින් දේසනාව විස්තර කොට එත්තාවතා ඛො භික්‍ඛු ඉන්‍ද්‍රිය සම්පන්නො හොති හෙවත් භික්ෂු තෙමේ මේ පමණකින් ඉන්‍ද්‍රිය සම්පන්න වේයයි වදාළහ. දසවැන්න යට කියන ලද පිළිවෙළ අනුවම වන්නේය.