9. ලොහිච්ච සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - මක්කරකටෙ = එම නම ඇති නුවර අරඤ්ඤකුටිකායං = ආරණ්‍යයෙහි තනවන ලද හුදෙකලා කුටියෙක්හි. වෙහෙරට බොහෝ ඇත් නොවූ කුටියෙක්හි අන්තෙවාසික මාණවකා = එහි මහළු වු යමකු වෙත් ද, ඔවුන් මහළු කල්හි ද අතවැසියන් වූ බැවින් මානවකයෝම යයි කියන ලදහ. තෙනුපසඞ්කමිංසු = උදෑසන ශිල්ප උගෙන සවස්හි ගුරුවරයාහට දර ගෙන එන්නෙමුයයි අරණට පිවිස ඇවිදිනාහු ඒ කුටිය යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පරිතොපරිතො කුටිකාය = එම කුටියට වටින් වටින්, සෙලොකස්සකානි = එකිනෙකාගේ පිට මතින් පැන තැනින් තැන කරන (අනුන්හට) පීඩාකාරී ක්‍රීඩාවක්
මුණ්ඩකා යන ආදියෙහි හිස් මුඩු කළ, මුඩු කළ අය යනුවෙන් ශ්‍රමණයෝය. ශ්‍රමණයෝය යනුවෙන් කීමට ගැළපෙන සේ යොදා ඇත. මේ ක්‍රීඩා කරන්නාවූ හිස් මුඩු කළ අය පහත් පෙළේ ශ්‍රමණයෝ” යයි කීහ. ඉබ්හා = ගෘහපතීහු. කිණ්හා = කළුවන් ලෙහෙනුන් යන අරුතයි. බන්‍ධු පාදා පච්චා = මෙහි බන්‍ධු යනුවෙන් බ්‍රහ්මයා අදහස් වේ. ඔහු පියාගේ පියා (සීයා) යයි බ්‍රාහ්මණයෝ ව්‍යවහාර කරත්. පාදයන්ගේ දරුවෝ යන අදහසින් පාදාපච්ච යන පදය සෑදී ඇත. බ්‍රහ්මයාගේ පිටි පතුලෙන් උපන්නාහු යන අදහසයි. ඔවුන්ගේ වනාහී මෙවන් විශ්වාසයක් ඇත. “බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් නික්මුණාහ. ක්ෂත්‍රියයෝ බ්‍රහ්මයාගේ උරසින් ද. වෛශ්‍යයෝ නාභියෙන් ද. ශුද්‍රයෝ දණහිසෙන්ද, ශ්‍රමණයෝ පිටි පතුලෙන් ද නික්මුනාහ” යනුයි. භරතකානං = කෙළෙඹිවරුන් යමකින් රට පෝෂණය කරත් ද ඒ හේතුවෙන් “භරත” යයි කියත්. අපහාස කොට කියන්නාවු මොව්හු “භරතකානං” යි කීහ. (මුණ්ඩක සමණක වැනි පද මෙන් භරතක යන පදයද බමුණෝ අපහාස අර්ථයකින් යෙදූහ)
විහාරා නික්‍ඛමිත්‍වා = රතු ගඩොලින් වසන ලද, රිදී පටක් මෙන් සමව විසුරුණු වැලි ඇති රමණීය විහාර භූමියෙහි කොටු මිටි බැඳ (ඒ ඒ තන්හි) දමමින් වැලි අවුස්සා අතිනත් ගෙන පන්සල් කුටි වටේ ඇවිදිනාහු “මේවා මේ නොවැදගත් වැඩකරුවන්ගේ කටයුතු ය”යි නැවත නැවත හඬ නංවමින් මේ තරුණයෝ බොහෝ සේ ක්‍රීඩා කරත්. විහාරයෙහි භික්ෂුන් ඇති බව හෝ නො දනිත්. භික්ෂූන් ඇති බව ඔවුන් හට පෙන්වන්නෙමි යි සිතා පන්සල් කුටියෙන් පිටවූයේය.
සීලුත්නමා පුබ්බතරා අහෙසුං = ගුණවතුන්ගේ ගුණය කියනු ලබන කල්හි නුගුණවතුන් ගේ නුගුණවත් බව ප්‍රකට වන්නේම යයි පැරණි බමුණන්ගේ ගුණ කියන්නේ මෙසේ කීය. එහි “සීලුත්නම” යනු සීලයෙන් ජ්‍යෙෂ්ඨයෝය. ඔවුන්ගේ උතුම් බව සීලයයි. ජාතිගෝත්‍ර නොවේ. යෙ පුරාණං සරන්ති = යමෙක් පැරණි බමුණු දහම්හි හැසිරෙත් ද, අභිභූය්‍ය කොධං = ක්‍රෝධය මැඩ පවත්වා ඔවුන්ගේ (කාය, වාක්, මනස් යන) දොරටු මනාව රැකුණේ, මනාව ආරක්ෂිත වූයේ විය. ධම්මෙ ච ඣානෙච රතා = දසවැදැරුම් කුශලකර්ම පථ ක්‍රියාවෙහිද, අෂ්ට සමාපත්ති ධ්‍යානයන්හිද ඇලුනාහු,
මෙසේ පැරණියන්ගේ ගුණ කියා, ඉක්බිති මේ බමුණන්ගේ මදය නැති කරන්නේ ඉමෙව වොකක්කිම්ම ජපා මසෙ යන ආදිය කීය. එහි වොක්කම්ම යනු මෙම (ඉහත කී) ගුණයන්ගෙන් ඉවත්ව (යන අදහසයි) ජපාමසෙ = අපි (ඉහත කී ගුණයන් අත් හරිමු. සජ්ඣායනය (හෙවත් නැවත නැවත කීම) කරමු යන අදහසයි. මෙ පමණකින් ම “බමුණෝ වන්නෙමු”යි සිතන්නාහු අපි බ්‍රාහ්මණයෝ යයි යන මේ ගෝත්‍ර මානයෙන් මත් වී. විසමං චරන්ති = නොසුදුසු වු කායික ක්‍රියාකාරකම් ආදිය කරත් යන අර්ථයයි. පුථුත්ත දණ්ඩා = මොවුන් විසින් ගන්නා ලද වෙන් වෙන් වු දඬු ඇත්තේ නොහොත් මොවුන් විසින් පවර ගන්නා ලද විවිධ දඬුවම් ඇත්තේ යන අදහසින් “පුථුත්ත දණ්ඩා” යි යෙදී ඇත. ගන්නා ලද නන්විද දඬු ඇති, නොහොත් පවරා ගන්නා ලද නන්විද දඬුවම් ඇති යන අරුතයි. තසථාවරෙසු = තෘෂ්ණා සහිත වූ ද, තෘෂ්ණා රහිත වූ ද අය අතුරෙහි අගුත්ත ද්වාරස්ස භවන්තිමොඝා = අසංවරවු (කාය, වාක්, මනස් යන) දොරටු ඇති අයට සියළුම වස් සමාදන් වීම් නිෂ්ඵල වෙතියි දැක්වේ. කෙසේදයත් - සුපිනෙව ලද්ධං පුරිසස්ස විත්තං = යම් සේ සිහිනෙන් යම් පුද්ගලයකුට ලැබුණ මුතු මැණික් ආදී විවිධ වූ වස්තුව නිෂ්ඵල වන්නේ ද, පිබිද කිසිත් නොදකීද, එසේම නිෂ්ඵල වන්නේය යන අදහසයි.