1-3. වෙසාලි ආදි සූත්‍ර වර්ණනා
ගහපති වර්ගයේ පළමු වැන්නෙහි - උග්ගො = ප්‍රණීත දෙය දෙන්නාවූ යම් උග්ග නම් අයෙක් වේද හේ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් “මාගේ ශ්‍රාවකයන්හට ප්‍රණීත දෙය දෙන්නවුන් අතුරෙහි මේ උග්ග නම් ගෘහපතියා අග්‍ර වන්නේය යනුවෙන් මෙසේ ඒතදග්‍ර භාවයෙහි පිහිටුවන ලද්දේය. මෙහි ද, දෙවැන්නෙහි හා තෙවැන්නෙහි ද ඉතිරි කොටස් (පෙර) කියන ලද පරිදිම වේ.
4-5. භාරද්වාජ ආදි සූත්‍ර වර්ණනා
සිවු වැන්නෙහි - පිඬු යදිමින් සොයමින් පැවිදි වූයේය යන අදහසින් පිණ්ඩොළ නම් වේ. හේ වනාහී නටුවා වු සම්පත් ඇති බ්‍රාහ්මණයෙක් විය, භික්ෂු සංඝයාගේ ලාභ සත්කාර දැක ආහාර පිණිස නික්ම ගොස් පැවිදි විය. තෙමේ මහත් වූ කබල පාත්‍රයක් රැගෙන හැසිරෙයි. එයින් කබලක් පුරා කැඳ බොයි, කබලක් පුරා පිටි කැවිලි කයි. කබලක් පුරා බත්කයි. ඉක්බිති භික්ෂූහු ඔහුගේ අධික ව ආහාර ගැනීමේ ස්වභාවය ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ගාස්තෘෘහු ඔහුගේ පාත්‍ර පසුම්බිය අනුමත නො කළහ. හේ පාත්‍රය ඇඳයට යටිකුරු කොට තබයි. තබන්නේද (හඬ නැගෙන සේ) ......... වසා තබයි. ආපසු ගන්නේ ද හප්පා ඇද ගනියි. කල්පසු වන විට අහර ගැනීමේ ප්‍රමාණය පිරිහී ගියේ උණ පතුරක දැමිය හැකි බත් ප්‍රමාණය පමණක් ගන්නකු බවට පත් විය. එවිට (භික්ෂූහු ඒ බව) ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ඉක්බිති ශාස්තෲහු ඔහුට පාත්‍ර පසුම්බිය අනුමත කළහ. ඒ ස්ථවිර තෙමේ ද පසු කාලයෙහි ඉන්‍ද්‍රිය භාවනාව වඩා අග්‍ර වූ අර්හත් ඵලයෙහි පිහිටියේය. මෙසේ හේ තෙමේ පිඬු පිණිස පැවිදි වූයෙන් “පිණ්ඩො ලො” ද, ගෝත්‍ර වශයෙන් “භාරද්වාජ” ද යන (නම්) දෙකම එකතු කොට පිණ්ඩොළ භාරද්වාජ යයි හඳුන්වනු ලැබේ.
උපසඞ්කමි - උසස්. උසස් වු මහාමාත්‍යවරුන් විසින් පිරිවරන ලදුව පැමිණියේය යනුයි. තෙරුන් වහන්සේ වනාහී එක් දිනයෙක සැවැත් නුවර පිඬුසිඟා හැසිර, කරන ලද අහර කිස ඇත්තේ. “උෂ්ණ කාලයෙහි සිහිල් තැනෙක දිවා විහරණය සඳහා හිඳින්නෙමි යි අහසින් ගොස් ගං තෙරෙහි උදේන රජුගේ උදකපාන නමින් යුත් උයනෙහි හැසිර. එක්තරා රුක් මුලෙක සිසිල් ජලය (ආශ්‍රිත) වාතයෙන් පවන් සැලෙනු ලබන්නේ දිවා විහරණය සඳහා හිඳ ගත්හ.
උදේන රජ තෙමේ ද සත් දිනක් මහා පානය බී සත් වන දිනයෙහි උයන පිලිදැගුම් කරවා මහ ජන පිරිවර සහිතව උයනට ගොස් රාජකීය ගල්තලාවෙහි ඇතිරු ඇතිරිල්ල මතුයෙහි හොත්තේය. එක් පරිචාරිකා ස්ත්‍රියක් ඔහුගේ පාද සම්බාහනා කරමින් හුන්නාය. රජතෙමේ කෙමෙන් නින්දට පිවිසියේය. ඔහු නින්දට බැසගත් කල්හි නාට්‍යංගනාවෝ “යමකු සඳහා අපි ගීත ආදිය යොදවන්නෙමු ද (හෙවත් ගයන්නෙමු ද) හේ තෙමේ නින්දට පිවිසියේය. නිදන කල්හි මහත් සේ හඬ නංවන්නට නො වටනේය”යි තම තමාගේ තූර්ය භාණ්ඩයන් තබා එතැනින් ඉවත්ව උයනට ගියාහු ඒ ඒ තන්හි පලාපල කමින් මල් පළඳිමින් හැසිරෙන්නියෝ තෙරුන් දැක හඬ නො නඟනු යයි ඔවුනොවුන් වළක්වමින් තෙරණුවන් වැඳ හිඳ ගත්හ. ස්ථවිර තෙමේ ඊර්ෂ්‍යාව බැහැර කළ යුතුය. මසුරු බව ඉවත් කළයුතුය.” යන ආදී පිළිවෙළින් ඒ නාටිකාවනට ධර්ම කථා කීය.
රජුගේ පාද සම්බාහනය කරමින් හුන් ඒ ස්ත්‍රිය ද පා සොලවා රජු පිබිද වූවාය. “ඒ ස්ත්‍රීන් කොහි ගියෝදැයි හෙතෙම විචාළේය. “ඒ ස්ත්‍රීන් හට ඔබගෙන් කුමන ඵලයක් ද? එක් ශ්‍රමණයකු පිරිවරා ගෙන හිඳින්නාහ”යි (ඇය කීවාය) රජ තෙමේ උදුනෙහි දැමූ ලුණු තට තට හඬින් පුපුරන්නාක් මෙන් කුපිත වූයේ නැගිට දිමියන් ලවා ඔවුන් කවන්නෙමි යි (කියමින්) යන්නේ එක්තරා අශෝක රුකෙක් හි දිමි ගොටුවක් දැක අතින් ඇද ඒ අත්ත කඩා ගැනීමට (සිතු මුත්) නො හැකි විය. දිමි ගොටුව කැඩී රජුගේ හිස මත වැටුනේය. මුළු සිරුර ම ඇල් වීවල දහයියා වලින් වැසී ගියාක් මෙන් ද ගිනි හුළු අතුවලින් දවන්නාක් මෙන්ද විය. ස්ථවිර තෙමේ රජුගේ ඇති දුෂ්ට ස්වභාවය දැන ඍද්ධියෙන් අහසට පැන නැංගේය. ඒ ස්ත්‍රීහු ද නැගිට රජු වෙතට ගොස් සිරුර පිස දමන්නියන් මෙන් බිම වැටුණ වැටුණ දිමියන් ගෙන සිරුරෙහි හෙලන්නාහුය. සියළු දිමියෝ මුවතුඩුවලින් විද්දාහ. කුමක් නිසා මෙසේ වීද යත්? අන්රජවරු පැවිද්දන් දැක වදිත්. මේ මේ රජ වනාහී දිමි කූඩුව හිසෙන් බිඳිනු කැමැත්තකු මෙන් විය.
රජතෙමේ තමාගේ අපරාධය දැක උයන් පල්ලා කැඳවා “මේ පැවිද්දා අන් දිනවලදීද මෙහි එන්නේදැ”යි ඇසීය. එසේය දේවයන් වහන්සැ”යි උයන්පල්ලා කීය. ඔහු නැවත පැමිණි දිනයෙහි එය මට දැනුම් දෙව”යි රජ ඔහුට කීය. ස්ථවිර තෙමේ ද කිහිප දවසකින්ම නැවත පැමිණ රුක් මුලෙක හුන්නේය. උයන්පල්ලා (ඒ බව) දැක මට මෙය මහත් පඬුරක් (පිණිස) වන්නේයයි වේගයෙන් ගොස් රජුට දැන්වීය. රජ තෙමේ නැගීට සක් සින්නම් ආදී ශබ්ද නවත්වා උසස් උසස් ඇමතිවරුන් සමඟින් උයනට ගියේය. එහෙයින්” (පැමිණියේය (හෙවත්) උපසඞ්කමී”යි කියන ලදි.
අනිකළි තාවිනො කාමෙසු = කාමයන්හි. ක්‍රීඩාවෙහි නොයෙදුණ යම් කාම ක්‍රීඩාවක් වේ නම් එය අපරිභුත්ත කාම (හෙවත් පරිභෝග නො කළ කාම ක්‍රීඩා) යන අරුත ඇත්තේ වේ. අද්ධානඤ්ච ආපාන දෙන්ති = අතීතයේ සිට පුරුදුව ආ උරුමය පිළියෙළ කර දෙති. දීර්ඝ කාලයක් පසු පසින් පැමිණෙති. මාතු මත්තීසු = මව හා සමාන කාන්තාවන් අතුරෙහි ලෝකයෙහි මව, සොයුරිය, දුව යන තිදෙන ගෞරව ලැබිය යුතු අරමුණු නම් වෙති. මෙසේ ගෞරවලාභී අරමුණක් හා සමීපව බැඳුණු සිත සෝධා ඉවත් කර හැරීමට නො ලැබේ යයි දක්වමින් මෙසේ කීහ. ඉක්බිති ඔහුගේ සිත ඒ හේතුව නිසා, ප්‍රශ්නය තුළට බැස නො ගන්නා බව දැක භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිකුල් බව මෙනෙහි කිරීම් වශයෙන්, සිත බැඳ තබා ගැනීම සඳහා කියන ලද. දෙතිස් ආකාර වූ කමටහන් ද කියන ලදී.
අභාවිත කායා = නො වැඩූ (හෙවත් පුහුණු නො කළ) දොරටු පසකින් යුත් ශරීරයෙන් තෙසං තං දුක්කරං හොති ඔවුන්හට එම අසුබ කමටහන වැඩීමට අපහසු වෙයි. මෙසේ මෙයින් ද ඔහුගේ සිත කමටහනට බැස නො ගන්නා බව දැක ඉන්‍ද්‍රිය සංවර සීලය (පිළිබඳව) කීහ. ඉන්‍ද්‍රිය සංවරයෙහි දී වනාහී ආසන්නව බැඳුණ සිත සෝදා හැරීමට නො ලැබේ. රජ තෙමේ ඒ අසා එහි බැසගත් (හෙවත් යොමු කරවු) සිත් ඇත්තේ අච්ඡරියං භො භාරද්වාජ = (පින්වත් භාරද්වාජයෙනි ආශ්චර්යවත්ය) යන ආදිය කීය.
අරක්‍ඛිතෙනෙව කායෙන = යන ආදියෙහි අත් පා ක්‍රීඩා කරවන්නේ. ගෙල කරකවන්නේ කය නො රකින්නේමය. නන් අයුරු අසැබි වදන් කියන්නේ (තම) වදන් නොරකී. කාමුක සිතුවිලි ආදිය කල්පනා කරන්නේ (තම) සිත නොරකීම ය. රක්ඛිතෙනෙව කාගෙන යන ආදියෙහි (කලින්) කී පාඨයට වීපරිත අයුරින් අරුත් දත යුත්තේය.