8. රාහුලෝවාද සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - විමුත්ති පරිපාචනීයා ධම්මා = විමුක්තිය මෝරවන්නේ ය යන අදහසින් “විමුත්ති පරිපාචනීයා” නම් වේ. “ධම්මා” යනු පසළොසක් වූ ධර්මයන්ය. ඒවා ශ්රද්ධේන්ද්රිය ආදීන්ගේ විශෝධන කරණ වශයෙන් දත යුතුය. මෙය මෙසේ කියන ලද්දේමය -
ශ්රද්ධා රහිත පුද්ගලයන් දුරු කරන්නාවූ ද, ශ්රද්ධාවන්ත පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූද, පැහැදීම ගෙන දෙන සූත්රාන්තයන් නුවණින් සලකා බලන්නාවූ ද යන මේ ත්රිවිධාකාරයෙන් ශ්රද්ධේන්ද්රිය පිරිසිදු වේ. අලස හෙවත් වීර්යය අඩු පුද්ගලයන් දුරු කරන්නාවූ ද ආරම්භ කළ වීර්යය ඇති පුද්ගලයන් දුරු කරන්නාවූ ද, ආරම්භ කළ වීර්යය ඇති පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූ ද, යහපත් වූ වීර්යය නුවණින් සලකා බලන්නා වූ ද යන මේ ත්රිවිධාකාරයෙන් වීර්යේන්ද්රියය පිරිසිදු වේ. සිහි මුලා වූ පුද්ගලයන් දුරු කරන්නාවූ ද, එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූ ද, සතිපට්ඨාන ධර්මයන් නුවණින් සලකා බලන්නාවූ ද, යන මේ ත්රිවිධාකාරයෙන් සත්රීන්ද්රියය (හෙවත් ස්මෘතිය නමැති ඉන්ද්රියය) පිරිසිදු වේ. නො සන්සුන් පුද්ගලයන් දුරු කරන්නා වූ ද, සන්සුන් පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූ ද, ධ්යානය මුල්කොට ලබන මෝක්ෂය නුවණින් සලකා බලන්නාවූද යන මේ ත්රිවිධාකාරයෙන් සමාධීන්ද්රියය පිරිසිදු වේ. අඥාන පුද්ගලයන් දුරු කරන්නා වූ ද, ප්රඥාවන්ත පුද්ගලයන් සේවනය භජනය හා ආශ්රය කරන්නා වූ ද, ගැඹුරු නුවණින් හැසිරීම නුවණින් සලකා බලන්නාවූ ද යන මේ ත්රිවිධාකාරයෙන් ප්රඥේන්ද්රියය පිරිසිදු වේ. මෙසේ පුද්ගලයන් පස් දෙනකුත් දුරුකරන්නා වූ ද, පුද්ගලයන් පස් දෙනකුන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූ ද, සූත්රාන්ත ස්කන්ධයන් පහක් නුවණින් සලකා බලන්නාවූ ද යන මේ පසළොස් ආකාරයෙන් මෙම ඉන්ද්රියයන් පස පිරිසිදු වන්නේය.
මෙයට අමතරව එම පසළොස් වැදෑරුම් ධර්මයෝ විමුක්තිය මෝරවා ගැනීමෙහි සමර්ථයෝ ය. (මතු දැක්වෙන පරිදි) ඉන්ද්රිය පසෙක් වේ. (එනම්) අනිත්ය සංඥා ද, අනිත්යයෙහි දුඃඛ සංඥා ද, දුඃඛයෙහි අනාත්ම සංඥා ද. (දුරු කළ යුතුය යන) ප්රහාන සංඥා ද, (නො ඇලිය යුතුය යන) විරාග සංඥා ද යන මේ පස තියුණු අවබෝධයකින් යුත් සංඥාවන්ය. මේඝිය තෙරුන් හට කියන ලද කල්යාණ මිත්රතා ආදිය “පඤ්ච ධම්ම” නම් වේ. කවර නම් වේලාවෙක බුදුන් වහන්සේට මෙසේ සිත් වූයේ ද යත් අළුයම් කාලයෙහි ලෝකය බලන්නාවූ බුදුන් වහන්සේට ය.
අනෙකානි දේවතා සහස්සානි - ආයුෂ්මත් රාහුල තෙරුන් විසින් පාලිත නම් නාග රාජ ව පියුමතුරා බුදුන්ගේ පාද මූලයෙහි දී ප්රාර්ථනාව කරනු සමගම එක්වර ප්රාර්ථනා කළ දෙවියන් අතරෙහි කිසිවෙක් භූම්යස්ථව ද, කිසිවෙක් ආකාශස්ථව ද, කිසිවෙක් චාතුර්මහාරාජිකව ද, කිසිවෙක් දෙව්ලොවෙහි ද, කිසිවෙක් චාතුර්මහාරාජිකව ද, කිසිවෙක් දෙව්ලොවෙහි ද. කිසිවෙක් බඹලොවෙහි ද උපන්හ. මේ දවසෙහි වනාහී සියල්ලෝම අන්ධ වනයෙහි ම එකතැන රැස් වූහ. ඒ පිරිස සඳහා “නොයෙක් දහස් ගණන් වූ දේවතාවෝ (හෙවත් අනෙකානි දේවතා සහස්සානි)” යයි කියන ලදී.
ධම්ම චක්ඛු = මේ සූත්රයෙහි සතර මඟ ද, සතර ඵලද දහම් ඇස (හෙවත් ධම්ම චක්ඛු) යයි දත යුතුය. එහිදී වූ කලී ඇතැම් දේවතාවෝ සෝවාන් වූහ. ඇතැමෙක් සකෘදාගාමී ද, ඇතැමෙක් අනාගාමී ද, ඇතැමෙක් අර්හත් ද වූහ. ඒ දෙව්වරුන්ද මෙ පමණ කැයි සංඛ්යා වශයෙන් පිරිසිඳ දැක්විය නො හැක. සෙසු කරුණු හැම අයුරින්ම පහසු වේ.
9-10. සංයොජන ආදි සූත්ර වර්ණනා
නව වැන්න හා දසවැන්න අනිටු අරමුණු වශයෙන් අවබෝධ කරවීම සඳහා කියන ලදී.
දෙවන ලෝක කාම ගුණ වර්ගය නිමියේය.
13. ගහපති වර්ගය
1-3. වෙසාලි ආදි සූත්ර වර්ණනා
ගහපති වර්ගයේ පළමු වැන්නෙහි - උග්ගො = ප්රණීත දෙය දෙන්නාවූ යම් උග්ග නම් අයෙක් වේද හේ තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් “මාගේ ශ්රාවකයන්හට ප්රණීත දෙය දෙන්නවුන් අතුරෙහි මේ උග්ග නම් ගෘහපතියා අග්ර වන්නේය යනුවෙන් මෙසේ ඒතදග්ර භාවයෙහි පිහිටුවන ලද්දේය. මෙහි ද, දෙවැන්නෙහි හා තෙවැන්නෙහි ද ඉතිරි කොටස් (පෙර) කියන ලද පරිදිම වේ.
4-5. භාරද්වාජ ආදි සූත්ර වර්ණනා
සිවු වැන්නෙහි - පිඬු යදිමින් සොයමින් පැවිදි වූයේය යන අදහසින් පිණ්ඩොළ නම් වේ. හේ වනාහී නටුවා වු සම්පත් ඇති බ්රාහ්මණයෙක් විය, භික්ෂු සංඝයාගේ ලාභ සත්කාර දැක ආහාර පිණිස නික්ම ගොස් පැවිදි විය. තෙමේ මහත් වූ කබල පාත්රයක් රැගෙන හැසිරෙයි. එයින් කබලක් පුරා කැඳ බොයි, කබලක් පුරා පිටි කැවිලි කයි. කබලක් පුරා බත්කයි. ඉක්බිති භික්ෂූහු ඔහුගේ අධික ව ආහාර ගැනීමේ ස්වභාවය ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ගාස්තෘෘහු ඔහුගේ පාත්ර පසුම්බිය අනුමත නො කළහ. හේ පාත්රය ඇඳයට යටිකුරු කොට තබයි. තබන්නේද (හඬ නැගෙන සේ) ......... වසා තබයි. ආපසු ගන්නේ ද හප්පා ඇද ගනියි. කල්පසු වන විට අහර ගැනීමේ ප්රමාණය පිරිහී ගියේ උණ පතුරක දැමිය හැකි බත් ප්රමාණය පමණක් ගන්නකු බවට පත් විය. එවිට (භික්ෂූහු ඒ බව) ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ඉක්බිති ශාස්තෲහු ඔහුට පාත්ර පසුම්බිය අනුමත කළහ. ඒ ස්ථවිර තෙමේ ද පසු කාලයෙහි ඉන්ද්රිය භාවනාව වඩා අග්ර වූ අර්හත් ඵලයෙහි පිහිටියේය. මෙසේ හේ තෙමේ පිඬු පිණිස පැවිදි වූයෙන් “පිණ්ඩො ලො” ද, ගෝත්ර වශයෙන් “භාරද්වාජ” ද යන (නම්) දෙකම එකතු කොට පිණ්ඩොළ භාරද්වාජ යයි හඳුන්වනු ලැබේ.
උපසඞ්කමි - උසස්. උසස් වු මහාමාත්යවරුන් විසින් පිරිවරන ලදුව පැමිණියේය යනුයි. තෙරුන් වහන්සේ වනාහී එක් දිනයෙක සැවැත් නුවර පිඬුසිඟා හැසිර, කරන ලද අහර කිස ඇත්තේ. “උෂ්ණ කාලයෙහි සිහිල් තැනෙක දිවා විහරණය සඳහා හිඳින්නෙමි යි අහසින් ගොස් ගං තෙරෙහි උදේන රජුගේ උදකපාන නමින් යුත් උයනෙහි හැසිර. එක්තරා රුක් මුලෙක සිසිල් ජලය (ආශ්රිත) වාතයෙන් පවන් සැලෙනු ලබන්නේ දිවා විහරණය සඳහා හිඳ ගත්හ.
උදේන රජ තෙමේ ද සත් දිනක් මහා පානය බී සත් වන දිනයෙහි උයන පිලිදැගුම් කරවා මහ ජන පිරිවර සහිතව උයනට ගොස් රාජකීය ගල්තලාවෙහි ඇතිරු ඇතිරිල්ල මතුයෙහි හොත්තේය. එක් පරිචාරිකා ස්ත්රියක් ඔහුගේ පාද සම්බාහනා කරමින් හුන්නාය. රජතෙමේ කෙමෙන් නින්දට පිවිසියේය. ඔහු නින්දට බැසගත් කල්හි නාට්යංගනාවෝ “යමකු සඳහා අපි ගීත ආදිය යොදවන්නෙමු ද (හෙවත් ගයන්නෙමු ද) හේ තෙමේ නින්දට පිවිසියේය. නිදන කල්හි මහත් සේ හඬ නංවන්නට නො වටනේය”යි තම තමාගේ තූර්ය භාණ්ඩයන් තබා එතැනින් ඉවත්ව උයනට ගියාහු ඒ ඒ තන්හි පලාපල කමින් මල් පළඳිමින් හැසිරෙන්නියෝ තෙරුන් දැක හඬ නො නඟනු යයි ඔවුනොවුන් වළක්වමින් තෙරණුවන් වැඳ හිඳ ගත්හ. ස්ථවිර තෙමේ ඊර්ෂ්යාව බැහැර කළ යුතුය. මසුරු බව ඉවත් කළයුතුය.” යන ආදී පිළිවෙළින් ඒ නාටිකාවනට ධර්ම කථා කීය.