4-6. බාහිරානිච්ච ආදි සූත්‍ර වර්ණනා
සිවු වැන්නෙහි - රූප, ගන්ධ, රස, ස්පර්ශයනට සිවු වැදෑරුම් උත්පත්තියක් ඇත්තේය. ධම්ම යනු ත්‍රෛභූමික ධර්මයන් අරමුණු කර ගැනීමයි. මෙය ද බාහිරවූ ෂඩායතනයන්හි ත්‍රි ලක්ෂණ දක්වා අවබෝධ කරවීමේ අදහසින් කියන ලදී.
පස්වැන්නෙහිද. සයවැන්නෙහිද කියූ කරුණු දෙවැන්නෙහි තෙවැන්නෙහි කියන ලද කරුණුවලට සමාන වේ.
7-12. දුතිය අජ්ඣත්තානිච්ච ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නේදී ඇස් ආදී ඉන්ද්‍රියන්හි අතීතයෙහි සිදු වූ ද, අනාගතයෙහි සිදු වන්නාවූ ද අනිත්‍ය ලක්ෂණාදිය සලකා වර්තමානයේදී ඒවා තදින් ග්‍රහණය කිරීමෙන් වෙහෙස වන්නන්ගේ ආකාරයෙන් යයි කියන ලදී. සෙස්ස සියළු තන්හිම යට කියන ලද පරිදිම වන්නේය.
පළමු වන අනිච්ච වර්ගය නිමියේය
2. යමක වර්ගය
1-4. සම්බොධ ආදි සූත්‍ර වර්ණනා
යමක වර්ගයේ පළමුවැන්නෙහි සහ දෙවැන්නෙහි දැක්වෙන අජ්ඣත්තිකානං (හෙවත් ආධ්‍යාත්මිකයන්ගේ) යනුවෙන් අධ්‍යාත්මයෙහි ගැඹුරුම ස්වභාවය වශයෙන් යයි අදහස් වේ. එම ආධ්‍යාත්මික ස්වභාවය වනාහී ඡන්ද රාගයාගේ (හෙවත් කැමති වන දෙයට ආශා කිරීමේ) අධික බලවත් භාවය පිණිස පවතීයයි දත යුත්තේය. ආධ්‍යාත්මික ආයතන සය මිනිසුන්ගේ නිවෙස් හි ඇතුළු කොටස් මෙනි. බාහිර ආයතන සය නිවසට යාබද අවට කොටස් මෙනි. ඔවුන්ගේ අඹු දරුවන්ගෙන් හා ධන ධාන්‍යයෙන් පිරුණු ගෘහ අභ්‍යන්තරය කෙරෙහි ආශාව අධික ලෙස බලවත් වෙයි. කිසිවකුට හෝ එහි ඇතුල් වීමට ඉඩ නො දෙත්. භාජන ගැටීමකින් හට ගන්නා ඉතා අල්ප වූ ශබ්ද මාත්‍රයකදී පවා මේ කුමක් දැයි ප්‍රශ්න කරති. මේ අයුරින්ම ආධ්‍යාත්මික ආයතන සය පිළිබඳව අතිශයින් බලවත් වූ ආශාවක් ඇති වේ. මෙසේ ආශාවෙහි බලවත් බව නිසා ඒ ආයතන අධ්‍යාත්මික යයි කියනු ලැබේ. නිවස අවට කෙරෙහි වනාහී ආශාව එතරම් බලවත් නොවේ. එහි යන එන මිනිසුන් ද, සිවු පාවුන් ද වහ වහා වැළැක්වීම නොකරත්. නො වළක්වන නමුදු ඔවුන්ගේ පැමිණීමට කැමැත්තක් ද නැත. පස් කූඩයක් හෝ ගැනීමට ද ඉඩ නො දෙත්. මෙසේ එම දේවල් කෙරෙහි අධික ආශාවක් ද ඔවුන් තුළ නැත. එබැවින් ඒවා බාහිර (ආයතන) යයි කියනු ලැබේ. ආධ්‍යාත්මික හා බාහිර ආයතන පිළිබඳව විස්තර වශයෙන් විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. සෙස්ස ඉහතින් සූත්‍ර දෙකෙහි කියන ලද ක්‍රමය අනුවම වේ. ඒ අයුරින්ම තෙවැන්නෙහි හා සිවු වැන්නෙහි කරුණු ද දත යුත්තේය.
5-6. නො චෙ අස්සාද ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි - නිස්සටා යන්නෙහි අදහස නික්මුණු යන්නයි. විසඤ්ඤුත්තා යන්නෙහි අදහස සංයෝග නො වූ යන්නයි. විප්පමුත්තා යන්නෙහි අදහස නොඇලුණු, නිදහස්වූ යන්නයි. විමරියා දිකතෙන චෙතසා යන්නෙහි අදහස සීමාවලින් තොර වූ සිතුවිල්ලෙන් යන්නයි. යං යම්බඳු වූ කෙළෙස් රැසක් හෝ පැවැත්මක් හෝ ප්‍රහීන නොවී පවතී ද, එසේ පැවතීමේ හේතුවෙන් පෘථග්ජනයන්ගේ සිත සීමාවලින් වට වූයේ ද වේ. යනු “යං” යන්නෙහි අදහසයි. යම් (ක්ලේශ) තත්ත්වයක් ප්‍රහීන වූයේ ද, ඒ හේතුවෙන් චිත්ත සීමා ඉවත් වේ. මෙහි වනාහී සර්ව ප්‍රකාරයෙන්ම කෙලෙසුන්ගේ ද, පැවැත්මේ ද ප්‍රහීන වීමේ හේතුවෙන් චිත්ත සීමාවන් ඉවත් වීම නිසා කෙළෙස් පැවතුම් හි සීමාවන් ඉක්ම වූ සිතින් වාසය කළහ යන අර්ථයයි. සය වැන්නෙහි ද මේ පිළිවෙළම වේ. මේ සූත්‍ර නවයෙහිම චතුරාර්ය සත්‍යයම කියන ලද්දේයයි දත යුත්තේත්ය.
7-10. අභිනන්ද ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්න මුල් කොට ඇති සූත්‍ර සතරෙහි පැවැත්ම ද නැවැත්ම ද යන මෙය ම කියන ලදී. මේවායේ අනු පිළිවෙළ කථාව වනාහී ඉහත කියන ලද ක්‍රමය අනුවම දත යුත්තේය.
දෙවන යමක වර්ග නිමියේය.
3. සබ්බ වර්ගය
1. සබ්බ සූත්‍ර වර්ණනාව
සබ්බ වර්ගයේ පළමු වැන්නෙහි දැක්වෙන “සබ්බං වො භික්ඛවෙ” යන්නෙහි දැක්වෙන “සබ්බං” යන්න සබ්බ සබ්බ, ආයතන සබ්බ, සක්කාය සබ්බ, පදෙස සබ්බ,” යනුවෙන් සිවු වැදෑරුම් වේ. එහි “සබ්බ සබ්බ” යන්න මෙසේ හඳුන්වා ඇත.
න තස්ස අදිට්ඨමිධත්‍ථි කිඤ්චි
අථො අවිඤ්ඤාතමඡානි තබ්බං,
සබ්බං අභිඤ්ඤාසි යදත්‍ථි නෙය්‍යං
තථාගතො තෙන සමන්ත චක්‍ඛු”
බුදුන්වහන්සේ විසින් මෙලොව නොදක්නා ලද්දාවූ ද, නොදන්නා ලද්දවූ ද, නො දතයුතු වූ ද, කිසිවක් නැත්තේය, දත යුතු යමක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළ සේක. එබැවින් තථාගතයන් වහන්සේ “සමන්ත චක්‍ඛු” යයි හඳුන්වනු ලැබෙත්
ගාථාවෙහි අරුත හෙල පැදියෙන් මෙසේ දැක්විය හැක. (එයින් කීහ අටුවාචාරීහු)
නොදුටු නොම දත් හා - නොදත යුතු කිසිවක් නැති.
සව්නේ මඬල දත් - බුදුහු සමතැස් නමින් කියැවෙති.