1. කිලෙස වර්ගය
1-10. චක්ඛු ආදි සූත්‍ර වර්ණනා
කිලෙස සංයුත්තයේ - “චිත්තස්සෙසො උපක්කිලෙසො” යනු කවර සිතක ද? චතු (සිවු)භූමික චිත්තයාගේයි. ත්‍රෛභූමික සිත්වල හැර ලෝකෝත්තර සිතේ කෙසේනම් ක්ලේශ පහළවීමක් සිදුවේද? උපත වැළැක්වීම් වශයෙනි. එයද ඊට ඉපදීමට නොදීම් වශයෙන් කෙලෙසීමක් වේයැයි දතයුතුයි. “නෙක්ඛම්මනින්නං” යනු නව ලෝකෝත්තර දහමට නැමුණු යනුයි. “චිත්තං” යනු සමථ විදර්ශනා සිතයි. “අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසු” යනු ප්රත්යවේක්ෂණ ඥානයෙන් මනාව දැන සාක්ෂාත් කළයුතු ෂඩ් අභිඤ්ඤා ධර්මයන්හි එක ධර්මයක් හෝ ගැනීමෙන් නික්මීම යැයි ගතයුතුයි. සෙසු පදයන්ගේ සියලු අර්ථ ඉතා ප්රකටය.
කිලෙස සංයුත්තය නිමියේය.
7. සාරිපුත්ත සංයුක්තය
1. සාරිපුත්ත වර්ගය
1-9. විවෙකජ ආදි සූත්‍ර වර්ණනා
සාරිපුත්ත සංයුත්තයේ පළමු සූත්‍රයේ - “න එවං හොති” යනු මමය මාගේය යන හැඟීම් ප්‍රහීණ කළ බැවින් මෙබඳු සිතක් නොවේ යනුයි. දෙවැනි සූත්‍රාදියේ ද මේ ක්‍රමයමයි.
10. සූචිමුඛී සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “සුචිමුඛී” යනු මෙනම් ඇති තැනැත්තියයි. “උපසංකමි” යනු අභිරූප වූ දර්ශනීය වූ රන්වන් වූ දුටුවන් පහදවමින් වැඩම කරන තෙරුන් වහන්සේ දැක, “මොහු සමග කවටකමක් කරන්නෙමි”යි ළඟට ගියාය. එවිට තෙරුන්වහන්සේ විසින් ඇගේ වචනය ප්‍රතික්ෂේප කළ කල්හි, “දැන් මොහුට වාදයක් නංවන්නෙමි”යි සිතන්නී “තෙනහි සමණ උද්ධංමුඛො භුඤ්ජසි” යනාදිය ඇසුවාය. “දිසාමුඛො” යනු සිවුදිග අභිමුඛවයි. “සතර දිසාවන් බලමින්” යන අර්ථයි. “විදිසා මුඛො” යනු සතර අනුදිසා බැලීමෙන්ය.
“වත්ථුවිජ්ජා තිරච්ඡානවිජ්ජාය” යනු වාස්තුවිද්‍යා සංඛ්‍යාත වූ තිරිසන් විද්යාවන්ගෙන්ය. “වාස්තු විද්‍යාව” නම් ලාප්රවස්තු, කුම්භණ්ඩ වස්තු, මූලක වස්තු ආදී වස්තූන්ගේ විපාක සම්පත් කරුණු වශයෙන් කල් දැනගන්නා උපායයි. “මිච්ඡාජීවෙන ජීවිකං කප්පන්ති” යනු මුලින් කියූ ඒ වාස්තු විද්‍යා-තිරිසන් විද්‍යා සංඛ්‍යාත වූ මිථ්‍යා (වැරදි) ජීවයන්ගෙන් දිවි ගෙවති යනුයි. “එම වස්තු-ශිල්ප ඥානය සම්පාදනය කරදීමෙන් පැහැදුණු මිනිස්සු දෙන ලද සිවුපසය පරිභෝග කරමින් ජීවත්වෙති” යන අර්ථයයි. “අධො මුඛො” යනු බිම බලාගෙන වැළඳීම් වශයෙන් අධෝමුඛව (යටිකුරු මුව ඇතිව) වැළඳීම නම් වේ. මෙසේ සෑම පදයකම අර්ථය යෙදිය යුතුයි. තවද මෙහි “නක්ඛත්ත විජ්ජා” යනු අද මේ නැකතයි. මේ නැකතින් යායුතුයි. මේ නැකතින් මේ මේ දෙය කළ යුතුයි. මෙසේ දැනගන්නා විද්‍යාවයි. “දූතෙය්යං” යනු දූත කර්මයයි. ඒ ඒ තැනට නියමිත පණිවුඩ ගෙන ඒ ඒ තැන්වලට යෑමයි. “පහිණගමණං” යනු එකම ගමකම එක් පවුලකින් දුන් පණිවුඩය වෙනත් පවුලකට පැවසීමට යෑමයි. ඔවුන් වෙත එළඹීමයි. “අංගවිජ්ජා” යනු ස්ත්‍රී ලක්ෂණ-පුරුෂ ලක්ෂණ වශයෙන් අංගසම්පත් දැක, ඇය හෝ ඔහු මේ අංග ලක්ෂණ නිසා මෙනම් දේ ලබන්නේ යැයි මෙසේ දැනගන්නා විද්‍යාවයි. “විදිසා මුඛා” යනු අංගවිද්යාවෙන් ඒ ඒ ශරීර කොටස් අරබයා පවතින බැවින් විදිසා (අනුදිශාවන්හි) පැවතීම නම් වේ. එනිසා ඒ විද්‍යාවෙන් දිවිගෙවන්නාහු, වළඳන්නාහු, “විදිසාමුඛයෙන් වළඳයි” නම් වෙති. “එවමාරොචෙසි” යනු “ධම්මිකං සමණා” යනාදී වශයෙන් පවසමින් පණිවිඩ ගෙනයෑමේ ගුණකථනය කරයි. ඒ පර්යාය කථාව (දේශනාව) අසා පන්සියයක් පමණ කුලයේ සසුනෙහි බැසගත්හ. ධර්මාවබෝධය ලැබූහ.