2-4. එතං මම ආදි සූත්‍ර වර්ණනා
දෘෂ්ටි යනාදියෙහි “දිට්ඨං” යනු රූපායතනයයි. “සුතං” යනු ශබ්දයතනයයි. “මුතං” යනු ගන්‍ධායතනය ද රසායතනය ද ස්පර්ශායතනය ද වේ. මේවාට පැමිණීම අරමුණ ගතයුතු බැවින් “මුතං” (දැනගත්) යනුවෙන් කියන ලදී. අවශේෂ වූ සප්ත ආයතන “විඤ්ඤාතං” නම් වේ. “පත්තං” යනු සොයා හෝ නොසොයා පැමිණි යනුයි. “පරියෙසිතං” යනු පැමිණි හෝ නොපැමිණි සෙවීමයි. “අනුවිචරිතං මනසා” සිතින් අනුව හැසිරෙන ලද්දේ යනුයි. ලෝකයෙහි සොයා බලා පැමිණීමකුත් ඇත. සොයාබලා නොපැමිණීමකුත් ඇත. සොයා නොබලා පැමිණීමකු, සොයා නොබලා නොපැමිණීමකුත් ඇත. එහි සොයා බලා පැමිණීම “පත්තං” නම් වේ. සොයාබලා නොපැමිණිම “පරියෙසිතං” නම් වේ. සොයා නොබලා පැමිණීමත් සොයා නොබලා නොපැමිණීමත් “මනසානුවිචරිතං” නම් වේ. නැතහොත් සොයාබලා පැමිණීමත්, සොයා නොබලා පැමිණීමත්, පැමිණීම් අර්ථයෙන් “පත්තං” (පැමිණීම) නම් වේ. සොයා බලා නොපැමිණීම “පරියෙසිතං” (සෙවීම) නම් වේ. සොයා නොබලා නොපැමිණීම “මනසානුවිචරිතං” (සිතින් හැසිරීම) නම් වේ. මේ සියල්ලෙහිම සිතින් හැසිරුණේමය.
5. නත්ථි දින්න සූත්‍ර වර්ණනාව
“නත්‍ථි දින්තං” යනාදියේ “නත්‍ථි දින්නං” යනු දුන් දෙයෙහි විපාකයක් නැත යන්න සඳහා කියත්. “යිට්ඨං” යනු මහායාන යයි. “හුතං” යනු යැවිය යුතු ත්‍යාගමය සත්කාරය අදහස් වේ. මේ දෙකෙහිම ප්‍රතිඵලයක්-විපාකයක් නැතැයි ප්‍රතික්‍ෂේප කරන ලදී. “සුකටදුක්කටානං” යනු හොඳ-නරක ක්‍රියාවන්ය. කුශලාකුශල යන අර්ථයයි. “ඵලං විපාකො” යනු යමක් ඵලයක් හෝ විපාකයක් හෝ වේ යැයි කියත්ද එය නැතැයි කියති යනුයි. “නත්‍ථි අයං ලොකො” යනු පරලොව සිටියවුන්ට පරලොවක් නැත. සියල්ලෝම ඒ ඒ ලෝකයෙහිදීම විනාශ වෙති-නැසී යති.” යන්න දක්වති. “නත්‍ථි මාතා නත්‍ථි පිතා” යනු මාපියන් කෙරෙහි යහපත් හැසිරීම් වැරදි හැසිරීම්වල ප්‍රතිඵලයක් විපාකයක් නැති බව කියති. “නත්‍ථි සත්තා ඔපපාතිකා” යනු චුතවී උපදින සත්ත්‍වයෝ නම් නැතැයි කියති. “නත්‍ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා” යනු ලෝකයේ යහපත් පිළිවෙත් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නම් නැතැයි කියති.
“චතුම්මහා භූතිකො” යනු චාතුර්මහා භූතමය වූ-සිවුමහා භූතයන්ගෙන් නිර්මිත යනුයි. “පඨවී පඨවිකායං” යනු අධ්‍යාත්මික පඨවිධාතුව හා බාහිර පඨවිධාතුවයි. “අනුපෙතී” යනු අනුව යයි. “අනුපගච්ඡති” යනු ඊටම සමාන වදනකි. කරායයි. පැමිණෙයි යන අර්ථයි. මේ දෙපදයෙන්ම සමීපයට යයි. ළඟට යයි යන්න දක්වයි. පැමිණියේය යන්නෙහිද මේ ක්‍රමයයි. “ඉන්‍ද්‍රියානි” යනු මනස සයවැනි වූ ඉන්‍ද්‍රියයෝ. “සංකමන්ති” යනු අහසේ පැන දුවයි යනුයි. “අසන්‍දි පඤ්චමා” යනු හොත්තා වූ ඇඳ පස්වැනි කොට ඇති යනුයි. ඇඳේ මැරුණු පුද්ගලයා හා ඇඳ ඔසවාගෙන යන පුරුෂයන් සිවුදෙනා යන පස්දෙන. “යාව ආළාහතා” සොහොන දක්වා යනුයි. “පදානී” යනු මොහු මෙසේ සිල්වත් විය. මෙසේ දුසිල්විය ආදී වශයෙන් පැවති ගුණාගුණ පදයන්. ශරිරයම මෙහිදී පදයැයි කියන ලදී. “කාපොතකානි” පරවිපාට වූ, පරවියන්ගේ පියාපත් පාට වූ යන අර්ථයි. “භස්සන්තා” අළු වූ “භස්මන්තා” යන්නද සුදුසුය. “ආහුතියො” යනු යම් යැවිය යුතු සත්කාර ආදී ප්‍රභේද ඇති දෙන ලද දානාදිය ඇතුළු සියල්ල අළුවීමෙන් අවසන් වේ. ඉන්පසුව විපාක දෙන්නක් වී නොයන්නේය යන අර්ථයි. “දත්තු පඤ්ඤත්තං” යනු ආඥානයන්, බාල මිනිසුන් (මෝඩයන්) පැනවූවකි. “බාල අඥානයන්ගේ පැනවීමක් වන දානය පණ්ඩිතයන් පිළිගන්නා දෙයක් නොවේ” යන්න මෙහිදී කියන ලදී. “බාලයෝ-මෝඩයෝ දෙති. පණ්ඩිතයෝ-නුවණැත්තෝ ගනිති” යන්න දක්වති.
6. කරොතො සූත්‍ර වර්ණනාව
“කරතො” යනු සියතින් කරන්නාටය. “කාරයතො” යනු අණකිරීමෙන් කරවන්නාට යනුයි. “ජින්‍දතො” යනු අනුන්ගේ අත් ආදිය සිඳින්නාටය. “ඡෙදාපයතො” යනු අනුන් ලවා සිඳවන්නාටය. “පචයතො” අනුන් දඬුමුගුරු ආදියෙන් පෙළන්නහුටය. “පචාපයතො” යනු අනුන් ලවා පෙළවන්නහුටය. “සොචතො සොචාපයතො” අනුන්ගේ බඩු පැහැරගැනීම් ආදියෙන් ශෝක ඇතිකිරීම තමාම කිරීම ද අනුන් ලවා කරවීමද යනුයි. “කිලමතො කිලමාපයතො” යනු ආහාර, සිඳීම්, බන්‍ධනාගාරගත කිරීම් ආදියෙන් අනුන් වෙහෙසන්නහුටද අනුන් ලවා එසේ අන්‍යයන් වෙහෙස කරවන්නහුටද වේ. “එන්‍දතො එන්‍දාපයතො” යනු අනුන් බන්‍ධනවලින් කම්පා කරවයි යනුයි. “පාණමතිපාතයතො” යනු ප්‍රාණය නසන්නාටද අනුන් ලවා නස්වන්නාටද වේ. මෙසේ මේ සෑමදෙය කරන කරවන වශයෙන් අර්ථය අවබෝධ කරගත යුතුයි.