1. මාර සූත්‍ර වර්ණනාව
රාධ සංයුත්තයේ පළමු සූත්‍රයේ - “මාරො වා අස්ස” යනු මරණයක් හෝ වන්නේය යනුයි. “මාරෙතා වා” යනු මැරිය යුත්තෙක් හෝ වන්නේය යනුයි. “යො වා පන මීයති” යනු යමෙක් මරයි ද යනුයි. “නිබ්බිදත්‍ථං” යනු නිබ්බිදා ඥානය සඳහාය. “නිබ්බාණත්‍ථා” යනු ඵල විමුක්තිය නම්වන මෙය උපාදාන රහිත නිර්වාණයයැයි දතයුතුයි. “අච්චසරා” යනු ඉක්මවූයෙහි යනුයි. “නිබ්බාණොගධං” යනු නිවනෙහි පිහිටි යනුයි. මෙය මාර්ග බ්‍රහ්මචරිය නම් වේ. නිවනට බැසගෙන වෙසේ. නිවන නොඉක්මවා යන අර්ථයි. “නිබ්බාණපරියොසානං” යනු මොහුගේ අවසානය නිවනයි. සසර ගමන අවසන් වූ නිෂ්පත්තිය නිවනයි. පරම නිෂ්ඨාවයි යන අර්ථයි.
පළමු සූත්‍රයයි.
2. සත්ත සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ - “සත්තො සත්තො” යනු ඇලුණු ප්‍රශ්නයයි. “තත්‍රසත්තො තත්‍ර විසත්තො” යනු එහි ඇලුණු යනුයි. එහි දැඩිව ඇලුණේය යනුයි. “පංස්වාගාරතො” යනු පස් වැලි ගෙවල්වල යනුයි. “කෙළායන්ති” යනු ක්‍රීඩා කරති. “ධනායන්ති” යනු ධනය මෙන් සිතත් යනුයි. “මමායන්ති” යනු “මෙය මගේ”, “මෙය මගේ” යනුවෙන් මමත්‍වය කරති. අනිකකුට ස්පර්ශ කිරීමට ද නොදෙති යනුයි. “විකීළනිකං කරොන්ති” යනු “ක්‍රීඩාව නිමාවීයැ’යි ඔවුහු එම වැලිගෙවල් බිඳ දමමින් ක්‍රීඩාව අවසන් කරති යනුයි.
දෙවැනි සූත්‍රයයි.
3. භවනෙත්ති සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “භවනෙත්ති” යනු භවයට බැඳතබන රැහැනයි.
තෙවැනි සූත්‍රයයි.
4-10. පරිඤ්ඤෙය්‍ය ආදි සූත්‍ර වර්ණනා
සිවුවන සූත්‍රයේ අර්ථ ප්‍රකටය. පස්වන සූත්‍රයේ සිට ඇති සිවු සූත්‍රයේ චතුරාර්ය සත්‍යය ප්‍රකාශ වේ. අවසන් සූත්‍ර දෙකෙහි ක්ලේශ ප්‍රහාණය කියැවේ.
පළමු වර්ගයයි.
2. දුතිය වර්ගය
1. මාර සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයේ, පළමු සූත්‍රයේ - “මාරො මාරො” යනුවෙන් මරණය පිළිබඳව විමසයි. යම් හෙයකින් රූපාදියෙන් මිදුණු මරණයක් නම් නැත. එනිසා උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ “රූපං ඛො රාධ මාරො” යනාදිය දෙසූහ.
පළමු සූත්‍රයයි.
2-10. මාරධම්ම ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි සූත්‍රයේ - “මාර ධම්මො” යනු මරණ ධර්මයයි. මේ ක්‍රමයෙන් සෑම සූත්‍රයක්ම අර්ථ දතයුතුයි.
දෙවැනි වර්ගයයි.
3-4. ආයාචන වර්ගය
1-11. මාර ආදි සූත්‍ර වර්ණනා
ඉන් අනතුරුව එන සූත්‍රයන්හි අර්ථ පහසුය. මැනවින් වැටහේ. මේ රාධ තෙරුන් වහන්සේ ප්‍රතිභාණී නම් තෙරනමකි. තථාගතයන් වහන්සේට මේ තෙරුන් දැක සූක්‍ෂම වූ කරුණු වැටහේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේ නානාවිධ ක්‍රමවලින් ධර්මය දේශනා කරන සේක. මෙසේ මේ රාධ සංයුත්තයේ මුල පටන් ඇති වර්ග දෙකෙහිම ප්‍රශ්නෝත්තර වශයෙන් ධර්මය දේශනා කර ඇත. තෙවැනි වර්ගය ආයාචනා-ඉල්ලීම් අනුව දේශිතය. සිවුවන වර්ගය සමීපයේ හිඳගැනීම් වශයෙන් කරන ලද සුහද කථා වශයෙන් දේශිත සූත්‍රයන්ගෙන් යුක්තය. මේ රාධ සංයුත්තයේ එන සෑම සූත්‍රයකින්ම තෙරුන්ගේ විමුක්තිය මුහුකුරා යන ධර්ම වශයෙන්ම දේශනා කරන ලදැයි දතයුතුයි.
රාධ සංයුත්තය නිමියේය.