1-55. රූප අඤ්ඤාණ ආදි සූත්‍ර වර්ණනා
වච්ඡගොත්ත සංයුත්තයේ - “අඤ්ඤාණා” යනු නොදැනීමෙන්. මෙසේ සියලුම පදයන්හි කිරිම් වශයෙන්ම අර්ථය දතයුතුයි. මේ සෑම පදයක්ම අන්‍යොන්‍ය වශයෙන් සමාන වදන් වේ. මේ සංයුත්තයෙහි සූත්‍ර එකොළොසකි. ව්‍යාකරණ හෙවත් පැන විසඳුම් පනස්පහක් බව දතයුතුයි.
වච්ඡගොත්ත සංයුත්තය නිමියේය.
13. ඣාන සංයුක්තය
1. ඣාන වර්ගය
1. සමාපත්ති කුසල සූත්‍ර වර්ණනාව
ඣාන සංයුත්තයේ - පළමු සූත්‍රයෙහි - “සමාධිකුසලො” යනු පළමු ධ්‍යානයේ අංග පහකි. දෙවන ධ්‍යානයේ අංග තුනකි. මෙසේ අංග (ධ්‍යානාංග) ව්‍යවස්ථාපනයෙහි දක්‍ෂ වූ යනුයි. “න සමාධිස්මිං සමාපත්ති කුසලො” යනු සිත සතුටුකරවා, යෝග්‍ය ලෙස ධ්‍යානයට සමවැදීමට නොහැකි වේ යනුයි. මේ ක්‍රමයෙන් සෙසු පදයන්ගේ අරුත් දතයුතුයි.
2-55. ඨිති කුසල ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි සූත්‍රාදියේ - “න සමාධිස්මිං ඨිතිකුසලො” යනු ධ්‍යානයෙහි සිටීමට නොහැකි යනුයි. ඇසුරු ක්‍ෂණ හත අටක් ධ්‍යානයෙහි සිත තබාගැනීමට නොහැකි වේ. “න සමාධිස්මිං වුට්ඨාන කුසලො” යනු ධ්‍යානයෙන් නැගිටීමට නොහැකි වූ යනුයි. ධ්‍යානාංගයන් වෙන් කිරීමෙහි - වෙන් කරමින් අවබෝධ කරගැනීමෙහි නොහැකි වේ. අදක්‍ෂ වේ. “න සමාධිස්මිං කල්ලිත කුසලො” යනු සිත සතුටු කරවා, සමාධියෙහි යෝග්‍ය කිරිමට අදක්‍ෂවේ යනුයි. “න සමාධිස්මිං ආරම්මණ කුසලො” යනු කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි අදක්‍ෂ වේ යනුයි. “න සමාධිස්මිං සක්කච්චකාරී” යනු ධ්‍යානයට සමවැදීමට, සකස්කොට කරන සුලු වූයේ නොවේ. “න සමාධිස්මිං සාකච්චකාරී” යනු ධ්‍යාන ප්‍රහාණයට නිතර කරනසුලු නොවේ. ඇතැම් විටෙක, කිසිදිනෙක පමණක් කරයි. “න සමාධිස්මිං සප්පායකාරී” යනු සමාධියෙහි යෝග්‍ය වූ උපකාරක ධර්ම පිරවීමට - සම්පූර්ණ කිරීමට නොහැකි වේ. ඉන් අනතුරුව සමාපත්ති ආදී පදයන්හි යොදා සූත්‍ර සතරක් කියන ලදී. ඒවායේ අර්ථ ඉහතින් පැවසූ පරිදිම දතයුතුයි. මෙහි සියලු ඣාන සංයුත්තයේ සූත්‍ර ලෞකික ධ්‍යානම අරමුණු කරගෙන දේශනා කරන ලදී.
ඣාන සංයුත්තය නිමියේය.
මෙතෙකින් සාරත්‍ථප්පකාසිනී සංයුත්ත නිකාය අටුවාවේ
ඛන්‍ධක වර්ගයේ අර්ථ වර්ණනාව නිමාවිය.