1. ගන්ධබ්බ වර්ගය
1-22. සුද්ධික ආදි සූත්ර වර්ණනා
ගන්ධබ්බ සංයුත්තයේ - “මූලගන්ධො අධිවත්ථා” යනු යම් ගසක මුල ගන්ධයක් ඇත් ද ඒ ඇසුරුකොට උපදින බැවින්, ඒ මුලු ගසම ඔවුන්ට යෝග්ය වේ. - මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝය. සෙසු පදයන්හිද මේ ක්රමයෙන් අර්ථ දතයුතුයි. “ගන්ධගන්ධො” යනු මුල් ආදියේ සුවඳින් සුවඳවත් වූ යනුයි. යම් ගසක සියලුම මුල්වල ගන්ධයක් තිබේනම් මෙහිදී ඒ සියල්ලම “ගන්ධ” නම් වේ. ඒ ගන්ධයෙන් යුක්ත වූ “ගන්ධෙ” නම් වේ. එහි අධිගෘහිත වූයේ - මෙහි සියලු මුල් ආදිය ඒවායේම සමීපයට එති. “සො දාතා හොති මූලගන්ධානං” යනු ඔහු කළුවැල් ආදී සුවඳ මල් පූජාකරන ලද්දේ වේ යනුයි. මෙසේ සෑම පදයකම අර්ථ දතයුතුයි. මෙසේ සමාන වූ දේ දීත් අසමාන වූ දේ දීත් ප්රාර්ථනා කරති. එය දැක්වීමට “සො අන්නං දෙති” ආදී දශවිධ දාන වස්තූහු දේශනා කරන ලදහ. මෙහි සෙසු පද විස්තර ඉතා ප්රකටය.
ගන්ධබ්බ සංයුත්තය නිමියේ ය.
11. වලාහක සංයුක්තය
1. වලාහක වර්ගය
1-57. සුද්ධික ආදි සූත්ර වර්ණනා
වලාහක සංයුත්තයේ - “වලාහකකායිකා” යනු වලාහක නම් දේව කොට්ඨාසයේ උපන් ආකාශචාරි දෙවියෝය. “සීතවලාහකා” යනු ශීතල ඇතිකරන වලාහකයෝය. සෙසු පදයන්හි ද මෙම ක්රමයම යෙදේ. “චෙතො පණිධිමත්වාය” යනු සිත එක අරමුණක තැබීමට සමාධිගත කිරීමට පැමිණ යනුයි. “සීතං හොති” යනු යමක් වස්සානයේ හෝ හේමන්තයේ හෝ ශීතල ඇතිවේද ඒ සෘතුව එළඹ සිටියේය. යම් ශීත කාලයක අධික ශීතලත්, ග්රීෂ්මයක උපදින ශීතලත් දෙවියන්ගේ ආනුභාවයෙන් මැවූ “සීතල” නම් වේ. “උණ්හං හොති” යනු ගිම්හාන ඍතුවේ හටගන්නා ස්වභාවික උණුසුමයි. යම්විටෙක උෂ්ණ කාලයේ ඇතිවන අධික උණුසුමද සීත කාලයේ උපදින උණුසුමද දෙවියන් විසින් ඉපිද වූ උණුසුමක් ලෙස හැඳින්වේ. “අබ්භං හොති” යනු වළාකුළු මණ්ඩලයක් වේ. මෙයද වස්සානයේ හා සිසිර ඍතුවල යම් වලාකුලක් උපදී ද ඒ සෘතුවලින් හටගත් වළාකුළු ප්රකෘතියෙන්ම ඇතිවූයේය. යම් වලාකුළු ඇතිවීමකදී දැඩි වළාවන් හටගනියිද සත්දිනක්ම සඳහිරු පවා වසාගෙන දැඩි අඳුර පවතීයිද යම් ඒ බක්-වෙසක් මාසයන්හි වලාකුළු ඇතිවේද මේ සියල්ල දෙවියන්ගේ ආනුභාවයෙන් උපන් වලාකුළු නම් වේ. “වාතො හොති” යනු ඒ ඒ ඍතුවෙහි උතුරු-දකුණු ප්රදේශවල යම් ස්වාභාවික සුළඟක් ඇතිවේනම් එය ඍතුවෙන් හටගත්තකි. යම් ඒ සුළඟක් රුක් කඳ ආදිය පලාදමන දැඩි සුළඟක් වේද නොකල්හි හටගත් සුළඟක් වේද ඒ සියල්ල දේවතානුභාවයෙන් නිපදවුණු සුළං නම් වේ. “දෙවො වස්සති” යු යම් වැසි සාරමාසෙහි වසින වැස්ස ස්වාභාවික වූවකි. ස්වභාවිකව හටගත්තකි. යම් වැස්සක්, වර්ෂා සමයේ අධිකව පවතීයිද බක්-වෙසක් මාසයන්හි පවතින වැස්ස දෙවියන් විසින් ඉපිදවූවක් නම් වේ.
මෙහිදී මේ කථාවස්තුවයි. - එක් වැස්ස වලාහක දිව්ය පුත්රයෙක් හිමාල පර්වත වැසි එක් රහතන් වහන්සේ නමකගේ සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියේය. තෙරුන් වහන්සේ “නුඹ කවරෙක්ද?”යි විමසූහ. “ස්වාමීනි! මම වැස්ස වලාහක දිව්ය පුත්රයෙක්මි.” “නුඹගේ සිතින් මෙහෙයවීමෙන් වැසි වසින්නෙහිද?” “ස්වාමීනි! එසේය.” “අපි එය දකිනු කැමැත්තෙමු.”යි තෙරුන් වහන්සේ වදාළවිට “ස්වාමීනි! ඔබවහන්සේ තෙමෙන්නේයැ”යි දෙව්පුතු කීය. එවිට තෙරණුවෝ “වැහි වළාකුලක් හෝ මේඝ ගර්ජනාවක් හෝ නොපෙනේ. කෙසේ තෙමෙන්නේද?”යි ඇසූහ. “ස්වාමීනි! මගේ සිතින් වැස්ස වසී. ඔබවහන්සේ පන්සලට වඩින්න”යි දෙව්පුතු කීය. “යහපති, දෙව්පුතුනි”යි පැවසු තෙරණුවෝ පා සෝදාගෙන පන්සලට වැඩියහ. දෙව්පුතු උන්වහන්සේ පන්සලට වැඩි මොහොතේම එක් ගීයක් ගයා අත එසවීය. හාත්පස යොදුන් තුනක් පමණ ප්රදේශයේ එකම මේඝයක් (වැස්සක්) විය. තෙරුන් වහන්සේ අඩක් තෙත්වුණු පන්සලට පිවිසියහ.