10. සීල සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ “අනිච්චතො” ආදියෙහි පැවතී නොපවතින ස්වභාවය “අනිච්චතො” නම් වේ. පෙළීම්-පීඩාවීම් අර්ථයෙන් “දුක්ඛතො” නම් වේ. ආබාධ ඇතිවීම් අර්ථයෙන් “රෝගතො” නම් වේ. ඇතුලත දොස් කිපීම් අර්ථයෙන් “ගණ්ඩතො” නම් වේ. ඒ ඒ ගඬුවල ප්‍රත්‍යභාවයෙන් හෝ කැණීම් අර්ථයෙන් හෝ “සල්ලතො” නම් වේ. දුක යන අර්ථයෙන් “අඝතො” නම් වේ. විෂම වූ මහා භූතයන්ගේ නැගීසිටීම්-ආබාධ ප්‍රත්‍ය වශයෙන් “ආබාධතො” නම් වේ. අනුන්ගේ අර්ථයෙන් “පරතො” නමි. පලුදුවීම්-කැඩීම් අර්ථයෙන් “පලොකතො” නමි. සත්වැදෑරුම් ශුන්‍ය අර්ථයෙන් “සුඤ්ඤතො” නමි. ආත්මයක් නොවීම් අර්ථයෙන් “අනත්තතො” නමි. මෙසේ මෙතැනදී අනිත්‍ය වශයෙන්, පලුදුවීම් වශයෙන් යැයි දෙපදයකින් අනිත්‍යය මෙනෙහි කරයි. ශුන්‍යයය, අනාත්මයැයි දෙපදයෙන් අනාත්මය මෙනෙහි කරයි. සෙසු පදයන්ගෙන් දුක මෙනෙහි කිරීම පවසන ලදැයි දතයුතුයි. සෙසු පදයන්හි විස්තර ප්‍රකටමය.
11. සුතවන්ත සූත්‍ර වර්ණනාව
එකොළොස්වන සූත්‍රයේද එසේමය. දසවන සූත්‍රයේ “සීලවතා” යනුවෙන් චතුපාරිශුද්ධි ශීලය කියන ලදී. මෙම එකොළොස්වන සූත්‍රයේ “සුතවතා” යනු කමටහන් අසන ලද යනුයි. මෙම සූත්‍ර දෙකෙහි ඇති වෙනස මෙපමණි.
12-13. පඨම කප්ප ආදි සූත්‍ර වර්ණනා
දොළොස්වන හා දහතුන්වන සූත්‍ර දෙක රාහුලෝවාද සූත්‍රය හා සමානම වේ.
දෙවැනි ධර්මකථික වර්ගයයි.
3. අවිජ්ජා වර්ගය
1-10. පඨම සමුදය ධම්ම ආදි සූත්‍ර වර්ණනා
අවිද්‍යා වර්ගයේ අර්ථ ඉතා ප්‍රකටම ය. මේ වර්ගයේ සියලුම සූත්‍රයන්හි චතුරාර්ය සත්‍යයම දේශනා කරන ලදී.
තෙවැනි අවිද්‍යා වර්ගයයි.
4. කුක්කුළ වර්ගය
1-10. කුක්කුළ ආදි සූත්‍ර වර්ණනා
කුක්කුළ වර්ගයේ පළමු සූත්‍රයේ - “කුක්කුළං” යනු ඉතා රත්වූ යනුයි. ඇවිලගත් අළු රැසක් මෙන් මහත් වූ පිරිතැවීමක්. මෙම සූත්‍රයෙහි දුක්ඛ ලක්‍ෂණයම පැවසේ. සෙසු සූත්‍රයන්හි අනිත්‍ය ලක්‍ෂණය කියැවේ. මේ සූත්‍ර සියල්ලම වෙන් වෙන් වූ පුද්ගලයන්ගේ අදහස් අනුව දේශනා කරන ලදී.
සිවුවන කුක්කුළ වර්ගයයි.
5. දිට්ඨි වර්ගය
1-9. අජ්ඣත්ත ආදි සූත්‍ර වර්ණනා
දිට්ඨි වර්ගයේ පළමු සූත්‍රයේ - “කිං උපාදාය” යනු කුමක් නිසා යනුයි හේතුකරගෙන. දෙවැනි සූත්‍රයේ “කිං අභිනිවිස්ස” යනු කුමක් ආශ්‍රය කොට, කුමක් ප්‍රත්‍යකොට යන අර්ථයි. තෙවැනි ආදී සූත්‍රවල “දිට්ඨි” යනාදිය පුද්ගල අදහස් අනුව දේශනා කරන ලදී.
10. ආනන්ද සූත්‍ර වර්ණනාව
ආනන්ද සූත්‍රයේ - “උපසංකමී” යනු අනිකුත් භික්‍ෂූහු පංචස්කන්‍ධය පිළිබඳ කමටහන් ලබාගෙන් ගොස්, එහි යෙදී, ඒහා ගැටී රහත්බවට පත්වී ශාස්තෲන් වහන්සේ ඉදිරියේ ‘රහත්බව’ ප්‍රකාශ කරනු දැක “මම ද පංචස්කන්‍ධ කමටහනක් දේශනා කරවාගෙන, එහි යෙදී-ගැටී රහත් බවට පත්වී රහත් බව ප්‍රකාශ කරන්නෙමි”යි සිතා බුදුපියාණන් වහන්සේ වෙත එළඹියේය. ශාස්තෲන් වහන්සේ තමන්වහන්සේ ජීවත්ව සිටියදී ආනන්‍ද තෙරුන්ගේ මතු මාර්ගත්‍රය අවබෝධවීමක් හෝ කෙලෙස් ප්‍රහාණයක් නොදක්නා සේක්, එනමුදු “මොහුගේ සිත සතුටු කරන්නෙමි”යි මේ සූත්‍රය දේශනා කළ සේක. ආනන්‍ද හිමියෝද මේ කමටහන එක්වරක් දෙවරක් සිහිපත් කොට, දැන් බුද්ධ උපස්ථාන වේලාව යැයි යායුතු වේ. මෙසේ උන්වහන්සේගේ සිත සතුටු කරවමින් විමුක්තිය මුහුකුරා යන ධර්මයක්ම උන්වහන්සේට කමටහන් ලෙස ලැබුණේයැයි දතයුතුයි.
පස්වන දිටඨි වර්ගයයි.
චූළපණ්ණාසකය සමාප්ත විය.
ඛන්‍ධ සංයුත්තය නිමියේය.