1. භාර සූත්ර වර්ණනාව
භාර වර්ගයේ පළමු සූත්රයේ “පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං” යනු පඤ්චුප්පාදානක්ඛන්ධා ඉති අස්ස වචනීයං යනුයි. මෙසේ කිවයුතු වන්නේය යන අර්ථයි. “අයං වුච්චති භික්ඛවෙ භාරො” යනු යමෙක් මේ පංච උපාදානස්ඛන්ධය “මේ භාරය” යැයි කියයි ද එයයි. කුමන අරුතකින්ද? ආරක්ෂාවට යෙදූ බරපතල වූ අර්ථයෙනි. (පරිහරණයේ බරපතලකම) මේවායෙහි ගමන්කිරීම -හිඳීම - නිදීම - නෑම - සැරසීම - කෑම්-බීම් ආදී පරිහරණය අතිශය බැරෑරුම්යැයි පරිහරන භාරියාර්ථයෙන් “භාර” යැයි කියන ලදී. “එවං නාමො” යනු තිස්ස, දත්ත ආදී නාමයන්ය. “එවං ගොත්තො” යනු කණ්හායන, වච්ඡායන ආදී ගෝත්රයන්ය. මෙසේ ව්යවහාර මාත්රයෙන් සිද්ධවන පුද්ගලයා “භාරහාර” යැයි දක්වයි. පුද්ගලයා වනාහී ප්රතිසන්ධික්ෂණයෙහි ම මේ ස්කන්ධ භාරය උසුලාගෙන දසවසක්, විසිවසක්, සියක් වසක් වුවද මේ ස්කන්ධ භාරය නාවමින්, කවමින්, මෘදු සැප ඇති ඇඳ පුටුවල නිදිකරමින්, හිඳුවමින් පරිහරණය කොට, චුතිවන ක්ෂණයෙහි හැරදමා නැවත ප්රතිසන්ධික්ෂණයෙහි වෙනත් ස්කන්ධ භාරයක් ගනු ලැබේ. එනිසා “භාරහාර” යැයි කියන ලදී. පහළ විය.
“පොනො භවිකා” යනු පුනර්භවය ඇතිකරවන යනුයි. “නන්දිරාග සහගතා” යනු නන්දිරාගය සමග එකතුකොට යනුයි. ඒ බව සහිත වූ යන්න මෙහිදී අදහස් විය. “තත්රතත්රාභිනන්දිනී” යනු උත්පත්ති ස්ථානයෙහි හෝ රූපාදියෙහි ද ආරම්මණයන්හි ද ඒ ඒ තැන සතුටුවන ස්වභාව ඇති යනුයි. කාම තණ්හාදියෙහි පඤ්චකාම ගුණික වූ රාගය-ඇලීම කාම තණ්හාව නම් වේ. රූ, අරූ භව රාගය-ධ්යාන තෘෂ්ණාව-ශාස්වත දෘෂ්ටි සහගත වූ රාගය යන මෙය භවතණ්හාව නම් වේ. උච්ඡේද දෘෂ්ටිය සහගත වූ (යුක්ත වූ) රාගය විභව තණ්හාව නම් වේ. “භාරාදානං” යනු භාරය ගැනීමයි. තණ්හාවෙන් මේ භාරය අල්වා ගනියි. “අසෙස විරාග නිරොධො” යනාදී සියල්ලම නිවනට යෙදුණු සමාන වදන්ය. එයට පැමිණ තණ්හාව ඉතිරි නොකර, නො ඇලෙයි. නිරුද්ධ වේ. අත්හරියි. දුරු කරයි. මිදෙයි. මෙහි කාම හෝ දෘෂ්ටි පිළිබඳ ඇලීමක් නැත. නිවනට ම මේ නම් යෙදේ. “සමූලං තණ්හං” යනු තණ්හාවේ මුල අවිද්යාව යනුයි. “අබ්බුය්හ” යනු අර්හත් මාර්ගයෙන් ඒ මුල් සහිත තණ්හාව උදුරාදමා යනුයි. “නිච්ඡාතො පරිනිබ්බුතො” යනු තණ්හාව නැත්තේ පිරිනිවියේ නමැයි කීමට සුදුසුය යනුයි.
පළමු සූත්රයයි.
2. පරිඤ්ඤා සූත්ර වර්ණනාව
දෙවන සූත්රයේ - “පරිඤ්ඤෙය්යෙ” යනු සම්පූර්ණයෙන් දතයුතු. ඉක්මවිය යුතු යන අර්ථයි. “පරිඤ්ඤං” යනු කෙළවර ඉක්මවූ පරිඥාවයි. ඉක්මවයි යන අර්ථයි. “රාගක්ඛයො” යනාදියෙහි නිවනට නම් වේ. එය “අච්චන්ත පරිඤ්ඤා” නම් වේ.
දෙවන සූත්රයයි.
3. අභිජාන සූත්ර වර්ණනාව
තෙවන සූත්රයේ - “අභිජානං” යනු මනාසේ දනිමින් යනුයි. මෙයින් ඤාත පරිඥාව පවසන ලදී. දෙවැනි පදයෙන් තීරණ පරිඥාව ද තෙවන සිවුවන පදවලින් ප්රහාණ පරිඥාව දැයි මේ සූත්රයෙහි ත්රිවිධ පරිඥාවක් කියන ලදී.
තෙවන සූත්රයයි.
4-9. ඡන්දරාග ආදි සූත්ර වර්ණනා
සතරවන සූත්රයේ සිට ධාතු සංයුත්තයේ කියන ලද ක්රමයෙන් දතයුතුයි. පිළිවෙලින් මෙහිදී පස්වන-සයවන හා සත්වන සූත්රවලදී චතුරාර්ය සත්ය ප්රකාශ වේ. අට-නව සූත්රවලදී සසර පැවැත්ම හා නැවැත්ම කියැවේ.
10. අඝමූල සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ “අසං” යනු දුකයි. මෙසේ මෙහිදීද දුකෙහි ලක්ෂණම පැවසේ.
11. පභඞ්ගු සූත්ර වර්ණනාව
එකොළොස්වන සූත්රයේ - “පභංගු” යනු බිඳෙනසුලු ස්වභාවයයි. මෙසේ මෙහි අනිත්ය ලක්ෂණය ම කියන ලදී.
තෙවැනි භාරවග්ගය නිමියේය.
4. නතුම්හාක වර්ගය
1. පළවැනි නතුම්හාක සූත්ර වර්ණනාව
නතුම්හාක වර්ගයේ පළමු සූත්රයෙහි “පජහථ” යනු ඡන්දරාගය ප්රහාණය කිරිමෙන් අත්හරිවු යනුයි. තෘණාදියෙහි “තිණං” යනු ඇතුලත හරයක් නැති පිටත සාරය ඇති තල්-පොල් ආදියයි. “කට්ඨං” යනු ඇතුලත සාරය ඇති පිටත හරයක් නැති කිහිරි-සල්-කොස් ආදී දැවයි. “සාඛා” නම් ගසේ බාහුමෙන් නික්මෙන අතු ඉතිය. “පලාසං” නම් තල් පොල් ආදී ගස්වල කොළඅතුය.
පළමු සූත්රයයි.
2. දෙවැනි නතුම්හාක සූත්ර වර්ණනාව
දෙවැනි සූත්රය උපමාවකින් තොරව අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් දේශනා කරන ලදී.
දෙවැනි සූත්රයයි.
3. පළවැනි භික්ඛු සූත්ර වර්ණනාව
තෙවැනි සූත්රයෙහි “රූපං චෙ භන්තෙ අනුසෙති” යනු ඉදින් රූපය අත්නොහැර පවතියි ද එයයි. “තෙන සංඛං ගච්ඡති” යනු කාමරාගාදියේ යම් අප්රකට දෙයකින් ඒ රූපය අත්නොහරියි ද ඒ අනුසයෙන්ම පුද්ගලයා ඇලුණේය. දුෂ්ට වූයේය. මූඪ වූයේයැයි ප්රඥප්තියට (පැනවීමට) යයි ය යි. “න තෙන සංඛං ගච්ඡති” යනු ඒ අසත්ය වූ අනුශය මගින් රක්ත වූයේය. දුෂ්ට වූයේය. මූඪ (මුලා) වූයේය. යන සංඛ්යාවට නොයයි යනුයි.
තෙවන සූත්රයයි.
4. දෙවැනි භික්ඛු සූත්ර වර්ණනාව
සතරවන සූත්රයේ - “තං අහුමීයති” යනු ඒ කලක් පැවති (අනුසයිත වූ) රූපාදිය නැතිවනුයේ අනුසයත් සමග ම නැසේ යනුයි. අරමුණ බිඳී යන කල්හි, ඒ අරමුණට හේතු වූ ධර්මයෝ නොපවතින්නේ ම ය. “යං අනුමීයති” යනු යම් වූ රූපයක් යම් අනුසයකින් අනුව නැසේද එයයි. “තෙන සංඛං ගච්ඡති” යනු ඒ රාගාදී ක්ලේශධර්ම අනුව ඇලුණේය. දුෂ්ට වූයේය හා මුළා වූයේය යන සංඛ්යාවට යයි යනුයි. නැතහොත් “යං” යන කරණ විභක්ති (තතියා) වචනයකි. යම් අනුසයකින් නැසේද එයින් රක්ත වූයේය. දුෂ්ට වූයේය. මුළාවූයේය යන සංඛ්යාවට යයි යන අර්ථයි.