1-10. අනිත්ය ආදි සූත්ර වර්ණනා
අනිත්ය වර්ගයේ - අවසාන සූත්රය පුච්ඡාවසිකයකි. (ප්රශ්නයකට දුන් පිළිතුරකි) සෙසු සූත්ර අවබෝධ කරගන්නවුන්ගේ වශයෙන් දෙසන ලදහ.
දෙවැනි අනිත්ය වර්ගයයි.
3. භාර වර්ගය
1. භාර සූත්ර වර්ණනාව
භාර වර්ගයේ පළමු සූත්රයේ “පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං” යනු පඤ්චුප්පාදානක්ඛන්ධා ඉති අස්ස වචනීයං යනුයි. මෙසේ කිවයුතු වන්නේය යන අර්ථයි. “අයං වුච්චති භික්ඛවෙ භාරො” යනු යමෙක් මේ පංච උපාදානස්ඛන්ධය “මේ භාරය” යැයි කියයි ද එයයි. කුමන අරුතකින්ද? ආරක්ෂාවට යෙදූ බරපතල වූ අර්ථයෙනි. (පරිහරණයේ බරපතලකම) මේවායෙහි ගමන්කිරීම -හිඳීම - නිදීම - නෑම - සැරසීම - කෑම්-බීම් ආදී පරිහරණය අතිශය බැරෑරුම්යැයි පරිහරන භාරියාර්ථයෙන් “භාර” යැයි කියන ලදී. “එවං නාමො” යනු තිස්ස, දත්ත ආදී නාමයන්ය. “එවං ගොත්තො” යනු කණ්හායන, වච්ඡායන ආදී ගෝත්රයන්ය. මෙසේ ව්යවහාර මාත්රයෙන් සිද්ධවන පුද්ගලයා “භාරහාර” යැයි දක්වයි. පුද්ගලයා වනාහී ප්රතිසන්ධික්ෂණයෙහි ම මේ ස්කන්ධ භාරය උසුලාගෙන දසවසක්, විසිවසක්, සියක් වසක් වුවද මේ ස්කන්ධ භාරය නාවමින්, කවමින්, මෘදු සැප ඇති ඇඳ පුටුවල නිදිකරමින්, හිඳුවමින් පරිහරණය කොට, චුතිවන ක්ෂණයෙහි හැරදමා නැවත ප්රතිසන්ධික්ෂණයෙහි වෙනත් ස්කන්ධ භාරයක් ගනු ලැබේ. එනිසා “භාරහාර” යැයි කියන ලදී. පහළ විය.
“පොනො භවිකා” යනු පුනර්භවය ඇතිකරවන යනුයි. “නන්දිරාග සහගතා” යනු නන්දිරාගය සමග එකතුකොට යනුයි. ඒ බව සහිත වූ යන්න මෙහිදී අදහස් විය. “තත්රතත්රාභිනන්දිනී” යනු උත්පත්ති ස්ථානයෙහි හෝ රූපාදියෙහි ද ආරම්මණයන්හි ද ඒ ඒ තැන සතුටුවන ස්වභාව ඇති යනුයි. කාම තණ්හාදියෙහි පඤ්චකාම ගුණික වූ රාගය-ඇලීම කාම තණ්හාව නම් වේ. රූ, අරූ භව රාගය-ධ්යාන තෘෂ්ණාව-ශාස්වත දෘෂ්ටි සහගත වූ රාගය යන මෙය භවතණ්හාව නම් වේ. උච්ඡේද දෘෂ්ටිය සහගත වූ (යුක්ත වූ) රාගය විභව තණ්හාව නම් වේ. “භාරාදානං” යනු භාරය ගැනීමයි. තණ්හාවෙන් මේ භාරය අල්වා ගනියි. “අසෙස විරාග නිරොධො” යනාදී සියල්ලම නිවනට යෙදුණු සමාන වදන්ය. එයට පැමිණ තණ්හාව ඉතිරි නොකර, නො ඇලෙයි. නිරුද්ධ වේ. අත්හරියි. දුරු කරයි. මිදෙයි. මෙහි කාම හෝ දෘෂ්ටි පිළිබඳ ඇලීමක් නැත. නිවනට ම මේ නම් යෙදේ. “සමූලං තණ්හං” යනු තණ්හාවේ මුල අවිද්යාව යනුයි. “අබ්බුය්හ” යනු අර්හත් මාර්ගයෙන් ඒ මුල් සහිත තණ්හාව උදුරාදමා යනුයි. “නිච්ඡාතො පරිනිබ්බුතො” යනු තණ්හාව නැත්තේ පිරිනිවියේ නමැයි කීමට සුදුසුය යනුයි.