7. පළමුවැනි උපාදාපරිතස්සනා සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “උපාදාපරිතස්සනං” යනු දැඩිව ගැනීමෙන් උපන් ආශාවෙන් පීඩිතවීමයි. (පරිතස්සතාව) “අනුපාදා අපරිතස්සනං” යනු දැඩිව නොගැනීමෙන් උපන් ආශාදියෙන් පීඩා නොවීමයි. (අපරිතස්සනාව). “රූපවිපරිණාමානු පරිවත්ති විඤ්ඤාණං හොති” “මගේ රූපය වෙනසකට පත්වූවකි”යි හෝ “අහෝ, මට දැන් ඒ රූපය නැත ආදී වශයෙන් කර්ම විඥානය රූපයේ බෙදීම-පෙරලීම අනුව පෙරලෙයි. “විපරිණාමානු පරිවත්තිජා” යනු විපරිණාමයේ අනුව පෙරලීමෙන් විපරිණාමය අරමුණු වූ සිතින් උපන් යනුයි. “පරිතස්සනා ධම්මසමුප්පාදා” යනු තණ්හාවෙන් පීඩිත වීම ද අකුශල ධර්මයෙන් ඉපිදවීම ද යනු දෙකයි. “චිත්තං” යනු කුසල් සිතයි. “පරියාදාය තිට්ඨන්ති” යනු හාත්පසින් ගෙන සිටී. “උත්තාසවා” යනු තැතිගැනීම් සහිතවයි. “විඝාතවා” යනු පීඩා සහිත දුක් සහිත යනුයි. “අපෙක්ඛාවා” යනු ආලය සහිතවයි. “උපාදාය ච පරිතස්සති” දැඩිව ගෙන පෙළෙන්නේ වේ. “නරූප විපරිණාමානුපරිවත්ති” රහතන්වහන්සේට කර්ම විඥානයම නැත. එනිසා රූප පෙරලීම අනුව පෙරලීම සිදුනොවේ යැයි පැවසීම සුදුසුය.
සත්වන සූත්‍රයයි.
8. දෙවැනි උපාදාපරිතස්සනා සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - තණ්හාව, මානය, දෘෂ්ටිය වශයෙන් දේශනාව කරන ලදී. මෙසේ පිළිවෙලින් සිවු සූත්‍රයන්හි සසර පැවැත්ම හා සසර නැවැත්ම පිළිබඳවම පවසන ලදී.
අටවන සූත්‍රයයි.
9. පළවැනි අතීතානාගත සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “කොපන වාදො පච්චුප්පන්නස්ස” යනු ප්‍රත්‍යුත්පන්නයෙහි කවර කථාවක්ද? යනුයි. මෙය අනිත්‍යමය. ඒ භික්‍ෂුව අතීත-අනාගත දෙක අනිත්‍යයැයි සලකා වර්තමානයෙහි වෙහෙසුනහ. ඉක්බිති “ඔවුන්ට මෙයින් අතීතයත් අනාගතයත්, වර්තමානයත් (ප්‍රත්‍යුත්පන්න) අනිත්‍යයැයි දෙසූවිට එකරුණ අවබෝධ කරගන්නෝය” යනුවෙන් ඔවුන්ගේ අදහස දැන-බුදුපියාණෝ පුද්ගල අදහස් වශයෙන් මේ දේශනාව දෙසන ලදහ.
නවවන සූත්‍රයයි.
10-11. දෙවැනි අතීතානාගත ආදි සූත්‍ර වර්ණනා
දසවන - එකොළොස්වන සූත්‍රවල - “දුක්ඛං අනත්තා” යන පදයන්ගෙන් විශේෂණය කර, එබඳුම පුද්ගල අදහසින් පැවසූ සේක.
පළමුවන නකුලපිතු වර්ගයයි.
2. අනිච්ච වර්ගය
1-10. අනිත්‍ය ආදි සූත්‍ර වර්ණනා
අනිත්‍ය වර්ගයේ - අවසාන සූත්‍රය පුච්ඡාවසිකයකි. (ප්‍රශ්නයකට දුන් පිළිතුරකි) සෙසු සූත්‍ර අවබෝධ කරගන්නවුන්ගේ වශයෙන් දෙසන ලදහ.
දෙවැනි අනිත්‍ය වර්ගයයි.
3. භාර වර්ගය
1. භාර සූත්‍ර වර්ණනාව
භාර වර්ගයේ පළමු සූත්‍රයේ “පඤ්චුපාදානක්ඛන්‍ධාතිස්ස වචනීයං” යනු පඤ්චුප්පාදානක්ඛන්‍ධා ඉති අස්ස වචනීයං යනුයි. මෙසේ කිවයුතු වන්නේය යන අර්ථයි. “අයං වුච්චති භික්ඛවෙ භාරො” යනු යමෙක් මේ පංච උපාදානස්ඛන්‍ධය “මේ භාරය” යැයි කියයි ද එයයි. කුමන අරුතකින්ද? ආරක්‍ෂාවට යෙදූ බරපතල වූ අර්ථයෙනි. (පරිහරණයේ බරපතලකම) මේවායෙහි ගමන්කිරීම -හිඳීම - නිදීම - නෑම - සැරසීම - කෑම්-බීම් ආදී පරිහරණය අතිශය බැරෑරුම්යැයි පරිහරන භාරියාර්ථයෙන් “භාර” යැයි කියන ලදී. “එවං නාමො” යනු තිස්ස, දත්ත ආදී නාමයන්ය. “එවං ගොත්තො” යනු කණ්හායන, වච්ඡායන ආදී ගෝත්‍රයන්ය. මෙසේ ව්‍යවහාර මාත්‍රයෙන් සිද්ධවන පුද්ගලයා “භාරහාර” යැයි දක්වයි. පුද්ගලයා වනාහී ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ම මේ ස්කන්‍ධ භාරය උසුලාගෙන දසවසක්, විසිවසක්, සියක් වසක් වුවද මේ ස්කන්‍ධ භාරය නාවමින්, කවමින්, මෘදු සැප ඇති ඇඳ පුටුවල නිදිකරමින්, හිඳුවමින් පරිහරණය කොට, චුතිවන ක්‍ෂණයෙහි හැරදමා නැවත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි වෙනත් ස්කන්‍ධ භාරයක් ගනු ලැබේ. එනිසා “භාරහාර” යැයි කියන ලදී. පහළ විය.
“පොනො භවිකා” යනු පුනර්භවය ඇතිකරවන යනුයි. “නන්‍දිරාග සහගතා” යනු නන්දිරාගය සමග එකතුකොට යනුයි. ඒ බව සහිත වූ යන්න මෙහිදී අදහස් විය. “තත්‍රතත්‍රාභිනන්‍දිනී” යනු උත්පත්ති ස්ථානයෙහි හෝ රූපාදියෙහි ද ආරම්මණයන්හි ද ඒ ඒ තැන සතුටුවන ස්වභාව ඇති යනුයි. කාම තණ්හාදියෙහි පඤ්චකාම ගුණික වූ රාගය-ඇලීම කාම තණ්හාව නම් වේ. රූ, අරූ භව රාගය-ධ්‍යාන තෘෂ්ණාව-ශාස්වත දෘෂ්ටි සහගත වූ රාගය යන මෙය භවතණ්හාව නම් වේ. උච්ඡේද දෘෂ්ටිය සහගත වූ (යුක්ත වූ) රාගය විභව තණ්හාව නම් වේ. “භාරාදානං” යනු භාරය ගැනීමයි. තණ්හාවෙන් මේ භාරය අල්වා ගනියි. “අසෙස විරාග නිරොධො” යනාදී සියල්ලම නිවනට යෙදුණු සමාන වදන්ය. එයට පැමිණ තණ්හාව ඉතිරි නොකර, නො ඇලෙයි. නිරුද්ධ වේ. අත්හරියි. දුරු කරයි. මිදෙයි. මෙහි කාම හෝ දෘෂ්ටි පිළිබඳ ඇලීමක් නැත. නිවනට ම මේ නම් යෙදේ. “සමූලං තණ්හං” යනු තණ්හාවේ මුල අවිද්‍යාව යනුයි. “අබ්බුය්හ” යනු අර්හත් මාර්ගයෙන් ඒ මුල් සහිත තණ්හාව උදුරාදමා යනුයි. “නිච්ඡාතො පරිනිබ්බුතො” යනු තණ්හාව නැත්තේ පිරිනිවියේ නමැයි කීමට සුදුසුය යනුයි.