5. සමාධිභාවනා සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ - “සමාධිං” යනු මෙය භාග්‍යවතුන් වහන්සේ, එම භික්‍ෂූන් චිත්ත ඒකාග්‍රතාවයෙන් පිරිහී යනු දැක, චිත්ත ඒකාග්‍රතාව ලබන්නන්ට මේ කමටහන උපකාර වන්නේ යැයි දැන මෙසේ වදාළහ. “අභිනන්‍දතී” යනු ප්‍රාර්ථනා කරයි. “අභිවදතී” ඒ ප්‍රාර්ථනාවෙන් අනේ ප්‍රියයි! මනෝඥයි! සිත් පිනවයි! ප්‍රියමනාපයි! යනුවෙන් පවසයි. වචනයෙන් සතුටුවනුයේ ප්‍රාර්ථනා කරනුයේ, ඒ අරමුණ සඳහා මෙසේ ලෝභ උපදවනුයේ “අභිවදති” නම් වේ. “අජ්ඣොසාය තිට්ඨති” යනු ගිල-නිමාවට පමුණුවා ගනියි. “යා රූපෙ නන්‍දී” යම් ඒ රූපයක බලවත් ප්‍රාර්ථනා කිරීම් සංඛ්‍යාත වූ තෘෂ්ණාවයි. “තදාපදානං” යනු එය ගැනීම් අර්ථයෙන් උපාදාන (දැඩිව ගන්නා) වූ යනුයි. “නාභිනන්‍දතී” ප්‍රාර්ථනා නොකරයි. “නාභිවදතී” ප්‍රාර්ථනා වශයෙන් අමනෝඥය! අප්‍රියයැයි කියයි. විදර්ශනා සිතින් යුක්තව අනිත්‍යය, දුකය ආදී ලෙස සිතින් ද වචනයෙන් ද සිහිපත් කරනුයේ “නාභිවදති” ප්‍රකාශ නොකරත්මය.
පස්වන සූත්‍රයයි.
6. පටිසල්ලාන සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ “පටිසල්ලාතො” යනු මෙය භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලා කාය විවේකයෙන් පිරිහී යනු දැක කාය විවේකය ලැබීම සඳහා මේ කමටහන උපකාර වේයැයි, අභිවෘද්ධිදායක වේයැයි දැන මෙසේ වදාළහ.
සයවන සූත්‍රයයි.
7. පළමුවැනි උපාදාපරිතස්සනා සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “උපාදාපරිතස්සනං” යනු දැඩිව ගැනීමෙන් උපන් ආශාවෙන් පීඩිතවීමයි. (පරිතස්සතාව) “අනුපාදා අපරිතස්සනං” යනු දැඩිව නොගැනීමෙන් උපන් ආශාදියෙන් පීඩා නොවීමයි. (අපරිතස්සනාව). “රූපවිපරිණාමානු පරිවත්ති විඤ්ඤාණං හොති” “මගේ රූපය වෙනසකට පත්වූවකි”යි හෝ “අහෝ, මට දැන් ඒ රූපය නැත ආදී වශයෙන් කර්ම විඥානය රූපයේ බෙදීම-පෙරලීම අනුව පෙරලෙයි. “විපරිණාමානු පරිවත්තිජා” යනු විපරිණාමයේ අනුව පෙරලීමෙන් විපරිණාමය අරමුණු වූ සිතින් උපන් යනුයි. “පරිතස්සනා ධම්මසමුප්පාදා” යනු තණ්හාවෙන් පීඩිත වීම ද අකුශල ධර්මයෙන් ඉපිදවීම ද යනු දෙකයි. “චිත්තං” යනු කුසල් සිතයි. “පරියාදාය තිට්ඨන්ති” යනු හාත්පසින් ගෙන සිටී. “උත්තාසවා” යනු තැතිගැනීම් සහිතවයි. “විඝාතවා” යනු පීඩා සහිත දුක් සහිත යනුයි. “අපෙක්ඛාවා” යනු ආලය සහිතවයි. “උපාදාය ච පරිතස්සති” දැඩිව ගෙන පෙළෙන්නේ වේ. “නරූප විපරිණාමානුපරිවත්ති” රහතන්වහන්සේට කර්ම විඥානයම නැත. එනිසා රූප පෙරලීම අනුව පෙරලීම සිදුනොවේ යැයි පැවසීම සුදුසුය.
සත්වන සූත්‍රයයි.
8. දෙවැනි උපාදාපරිතස්සනා සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - තණ්හාව, මානය, දෘෂ්ටිය වශයෙන් දේශනාව කරන ලදී. මෙසේ පිළිවෙලින් සිවු සූත්‍රයන්හි සසර පැවැත්ම හා සසර නැවැත්ම පිළිබඳවම පවසන ලදී.
අටවන සූත්‍රයයි.
9. පළවැනි අතීතානාගත සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “කොපන වාදො පච්චුප්පන්නස්ස” යනු ප්‍රත්‍යුත්පන්නයෙහි කවර කථාවක්ද? යනුයි. මෙය අනිත්‍යමය. ඒ භික්‍ෂුව අතීත-අනාගත දෙක අනිත්‍යයැයි සලකා වර්තමානයෙහි වෙහෙසුනහ. ඉක්බිති “ඔවුන්ට මෙයින් අතීතයත් අනාගතයත්, වර්තමානයත් (ප්‍රත්‍යුත්පන්න) අනිත්‍යයැයි දෙසූවිට එකරුණ අවබෝධ කරගන්නෝය” යනුවෙන් ඔවුන්ගේ අදහස දැන-බුදුපියාණෝ පුද්ගල අදහස් වශයෙන් මේ දේශනාව දෙසන ලදහ.
නවවන සූත්‍රයයි.
10-11. දෙවැනි අතීතානාගත ආදි සූත්‍ර වර්ණනා
දසවන - එකොළොස්වන සූත්‍රවල - “දුක්ඛං අනත්තා” යන පදයන්ගෙන් විශේෂණය කර, එබඳුම පුද්ගල අදහසින් පැවසූ සේක.
පළමුවන නකුලපිතු වර්ගයයි.
2. අනිච්ච වර්ගය
1-10. අනිත්‍ය ආදි සූත්‍ර වර්ණනා
අනිත්‍ය වර්ගයේ - අවසාන සූත්‍රය පුච්ඡාවසිකයකි. (ප්‍රශ්නයකට දුන් පිළිතුරකි) සෙසු සූත්‍ර අවබෝධ කරගන්නවුන්ගේ වශයෙන් දෙසන ලදහ.