9. තිස්ස සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “දුම්මනො” යනු උපන් දොම්නස් බවයි. කුමක් නිසා මොහු මෙසේ දුක්ඛිත, දොම්නස් බවට පත්වූයේද? ඔහු ක්‍ෂත්‍රිය කුලයෙන් පැවිදි වූවෙකි. දෙපට සලුවක් හැඳගෙන, උතුම් සිවුරක් පොරවාගෙන, ඇස් අඳුන් ගා, මනෝසීල (රත් සිරියල්) තෙල් හිස ගල්වාගෙන සිටියි. ඔහු සෙසු භික්‍ෂූන් වහන්සේ දිවා වසන, රාත්‍රී වසන තැන්වලට නික්මගිය කල්හි, “භික්‍ෂූහු නම් විවේකාවසරයකින් හිඳිය යුතුය”යි නොදන්නේ, භෝජන ශාලාවට ගොස් මහ පුටුවක වාඩිවී හුන්නේය. දිශාවන්හි හැසිරෙන ආගන්තුක වූ පාංශුකූලික භික්‍ෂූහු පැමිණ, “අපට මේ ආකාර වූ දූවිලි වැකුණු සිරුරින් දසබලයන් වහන්සේ දැකීමට නොහැක. අපගේ බඩුබාහිරාදිය තබමු”යි භෝජනශාලාවට ගියහ. ඒ මහතෙරවරු වඩිනවිට තිස්ස හිමියන් එසේම නිශ්චලව සිටියේය. අනික් භික්‍ෂූහු “අත්පා මෙහෙවර කරමු.” “තල් අත්තෙන් පවන් ගසමු” ආදිය විමසති. මොහු වනාහු හුන්නේම “කොතෙක් වස්ද?” යි විමසූ විට “අපි වස් නැත්තෝය. නුඹලාගේ වස් කීයද ?”යි ඒ හිමිවරුන්ගෙන් ඇසීය. උන්වහන්සේලා වස් ගණන පැවසූවිට “මම අද පැවිදිවීමි”යි තිස්ස හිමි පැවසීය.
ඉක්බිති ඒ භික්‍ෂූහු ඔහුට “ඇවැත්නි, දැන් කැපූ හිසකෙස් ඇත්තෙහිද? අද ද නුඹගේ හිසින් උකුණුගඳ වහනය වේ. නුඹ නම් මෙපමණ වයසට ගොස් පැවිදි වී වස් විමසන විට නිශ්ශබ්දව-නිශ්චලව හුන්නෙහිය. ගෞරව දැක්වීම් පමණකුදු නුඹ ළඟ නැත. කාගේ සසුනක පැවිදිවීද?”යි ඔහු පිරිවරාගෙන වචන නැමති හුල්වලින් පහර දෙමින් “කිම නුඹ ණය ගත්තෙක්ද? භය වූවෙක්ද? ජීවත්වීමට නොහැකිව පැවිදිවීද?”යි කීහ. ඔහු එක් තෙරනමක් දෙස බැලුවේය. එහිමි “මහල්ල! කුමක් නිසා මා දෙස බලන්නෙහිද?”යි කී කල්හි තිස්ස හිමි වෙනත් අයෙකු දෙස බැලුවේය. උන්වහන්සේද එසේම ඇසූවිට “මොවුහු මා වටකරගෙන වචන නැමති සැත් (ආයුධ) වලින් විදින්නෝයැ”යි තිස්ස හිමිට ක්‍ෂත්‍රිය මානය උපන්නේය. ඇස්වලින් මැණික් පාට වූ කඳුලු වැගිරුණි. ඉක්බිති තිස්ස හිමි, සෙසු මහතෙරවරුන්ගෙන් මෙසේ ඇසුවේය. “කාගේ ළඟට ආවෙහිද?” ඔවුහු “අපි නුඹගේ ළඟට පැමිණියාහුයැයි නුඹ සිතන්නෙහිද? ගිහි බැඳුම් ඇති තැනැත්ත! එසේ නොසිතව. සදෙව්ලොවට අග්‍රපුද්ගලයා වූ ශාස්තෘෘන් වහන්සේ දැකීමට අපි පැමිණියෙමු”යි පැවසූහ. එම වදන් අසා අතිශයින් කෝපාවිෂ්ට වූ තිස්ස හිමි, “ඒ මගේ සෝයුරා ළඟට පැමිණියේ නම්, දැන් මම නුඹලා පැමිණි මාර්ගයෙන්ම ආපසු හරවා යවන්නෙමි”යි කියා බුදුරදුන් ළඟට යෑමට පිටත්වී අතරමගදී මෙසේ සිතුවේය. “මා මේ ආකාරයෙන් බුදුරදුන් ළඟට ගියහොත් මොවුහු නෙරපා හරින්නේ නැත.” එනිසා දුක් දොම්නස් විලාශයක් ගෙන කඳුළු වගුරුවමින් ගියේය. මේ කාරණයෙන් මොහු මෙබඳු ස්වරූප වීයැයි දතයුතුයි.
“වාචාසන්නිතොදකෙන” යනු වචන නැමති කෙවිටෙනි. “සඤ්ජම්හරිං අකංසු” හාත්පසින් නිතර ස්පර්ශ කළහ යනුයි. මතු මතුයෙහි විද්දහ”යි කියන ලදී. “වත්තා” යනු අනුන් යමක් කැමති නම් කියන්නේමය යනුයි. “නොච වචනක්ඛමො” යනු අනුන්ගේ වචන ඉවසීමට නොහැකි වේ. මෙසේ නුඹ මේ කෝපයෙන් මේ ආත්මයේදී කියූ වචන නැමති හුල්වලින් විදින ලදී. අතීතයේදී රටින් ද පිටුවහල් කරන ලදී. මෙසේ වදාළ විට “භාග්‍යවතුන් වහන්ස! ඒ කවර කාලයකද?”යි භික්‍ෂූහු ඇසූහ. ශාස්තෘෘන් වහන්සේ මෙසේ වදාළහ.
අතීතයේ බරණැස් නුවර බරණැස් රජු රජකම් කරයි. ඉක්බිති “ජාතිමා” සහ “මාතංග” නම් සෘෂිවරු දෙදෙනෙක් බරණැසට ගියහ. ඔවුන්ගෙන් ජාතිම පළමුව ගොස් කුඹල්හලෙහි හුන්නේය. මාතංග තාපසයා පසුව අවුත් අවසර ඉල්ලීය. “මෙහි පළමුව හා පැවිද්දෙක් ඇත. ඔහුගෙන් අවසර ගන්න”යි කුඹල්කරු කීවේය. ඔහු තමාගේ පිරිකර ගෙන ශාලාවේ දොර මුල තබා, එහි සිට “ආචාර්යයෙනි! අපටද එක රැයක් විසීමට අවසර දෙන්නෙහිද?”යි ඇසීය. ජාතිම සෘෂි එවිට “පිවිසෙන්න”යි කියා පිවිස හුන් කල්හි “කවර ගෝත්‍රයේ ද?”යි ඇසීය. මාතංග ඍෂි “චණ්ඩාල ගෝත්‍රයේය”යි කීය. නුඹ සමග එක තැන නිදීමට නොහැක කියා පැත්තකට ගියේය. මාතංග තාපසයෝ එහි ම තණ ඇතිරිය අතුරා හොත්තේය. ජාතිම තාපසයා දොරළඟ නිදාගත්තේය. මාතංග තාපසයා මහ රෑ මුත්‍රා කිරීමට නික්මෙනුයේ ඔහුගේ උරය පෑගුණි. “මේ කවුද?”යි ඇසූවිට “ආචාර්යනි! මම වෙමි”යි මාතංග කීය. “බොල චණ්ඩාලය! කිම වෙනත් මාර්ගයක් නොදන්නෙහිද? මෙහි අවුත් මා පෑගුවෙහිය”යි ජාතිම චෝදනා කළේය. “ආචාර්යනි! නොදැක මා හට පෑගුණි. මට සමාවන්න”යි මාතංග තාපස කීවේය. මෙතෙම ආපසු එනවිටදී ද මෙතැනින් ම අවුත් පාගන්නේ යැයි සිතූ ජාතිම අනිත් පැත්ත හැරී නිදාගත්තේය.
මාතංග තාපසයා ද “ආචාර්යවරයා මා පැමිණි පැත්තේ හිස තබා නිදියයි. ආපසු යනවිට පා ඇති පැත්තෙන් යා යුතුයැ”යි සිතා අනෙක් පසින් යන්නේ නැවත උරයම පෑගුවේය. “මේ කවුද?” යි ඇසූවිට “ආචාර්යතුමනි! මම වෙමි” යි මාතංග කීවේය. එවිට ජාතිම නැගිට, “පළමුව නුඹ නොදැන පෑගුවෙහිය. දැන් මා සමග ගැටීමට ම පෑගුවෙහිය. ඉර උදාවනවිටම නුඹගේ හිස සත්කඩකට පැලේවා!”යි සාප කළේය. මාතංග තාපසයා කිසිවක් නොකියා නගරයට අරුණ උදාවූ කල්හිම සූර්යයා අල්ලාගෙන නැගීමට ඉඩ නුදුන්හ. මිනිස්සුද ඇත්-අස් ආදීන්ද නින්දෙන් පිබිදුනහ.