3. මහානාග සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “එකවිහාරෙ” යනු එක්තරා ගැබකය. එකල්හි බොහෝ ආගන්තුක භික්‍ෂූහු රැස්වූහ. එහි පිරිවෙන් අග හෝ විහාර අග හෝ සෙනසුන් නොපැමිණි කල්හි (ප්‍රමාණවත් නොවූ කල්හි) අගසවු දෙනමට එකම ගැබක්-කුටියක් පැමිණියේය. ඔවුහු දවල් කාලයේ වෙන් වෙන් වූ තැන හිඳිති. රාත්‍රියේ ඔවුන් අතර සිවුරු තිරයක් දිගහරිති. ඔවුහු තමාට පැමිණි, පැමිණි තැනම හිඳිති. එනිසා “එක් විහාරයේ වසමින්” යනුවෙන් කියන ලදී. “ඔළාරිකෙත” මෙය ඕළාරික අරමුණ සඳහා කියන ලදී. දිවැස් හා දිවකන් (දිව්‍ය චක්‍ෂු, දිව්‍ය ශ්‍රේත) සමාධිවලට සමවැදී උන්වහන්සේ වාසය කළහ. ඒවා ද රූපායතන, ශබ්දායතන නම් වූ ඕළාරික ආරම්මණයන්ය. මෙසේ දිවැසින් රූපයන් දුටුබැවින් ද දිව්‍යම ශ්‍රෝත ධාතුවෙන් (දිව කණින්) ශබ්ද ඇසූ බැවින්ද ඒ විහරණය “ඕලාරික” නම් වේ. “දිබ්බ චක්ඛුං විසුජ්ඣි” යනු භාග්‍යවතුන් වහන්සේගේ රුව දැකීම පිණිස පිරිසිදු විය යනුයි. “දිබ්බා ච සොතධාතු” යනු එම දිවකණ ද භාග්‍යවතුන් වහන්සේගේ ශබ්ද ඇසීම පිණිස පිරිසිදු විය යනුයි. භාග්‍යවතුන් වහන්සේ ද තෙරුන්ගේ රූපය දැකීමට මෙන්ම ශබ්ද ඇසීමට ද එම ඥාන දෙක පිරිසිදු කළ සේක. එකල්හි තෙරුන් වහන්සේ “ශාස්තෘෘන් වහන්සේ දැන් කොතැනක වෙසේදැ”යි ආලෝකයා වඩා දිවැසින් බැලූ සේක්, ශාස්තෘන් වහන්සේ ජේතවන විහාරයේ ගඳකිළියෙහි හුන් බව දැක, උන්වහන්සේගේ දිවකනින් ශබ්ද ද ඇසූහ. බුදුපියාණන් වහන්සේද එසේම කළ සේක. මෙලෙස දෙදෙනා වහන්සේ ඔවුනොවුන්ගේ රුව දැක්කහ. ශබ්ද ද ඇසූහ.
“ආරද්ධ විරියො” යනු පරිපූර්ණ වූ වීර්යයයි. පටන්ගන්නා ලදුව එසවූ වීර්යය. “යාවදෙව උපතික්ඛෙපණමත්තාය” යොදුන් තුන්දහසක් පැතිරුණු හිමාල පර්වතය ඉදිරියේ තැබූ අබ ඇටයක් පමණ වූ ගල්කැටයක් “හිමාලය ද වඩා විශාල වනුයේ නැතිනම් මේ ගල්කැටයද?”යි මෙසේ සැසඳීමට, ළඟින් තැබීමට පමණක්ම උපකාර වේයැයි කියන ලදී. දෙවැනි උපමාවේද මෙම ක්‍රමයමයි. “කප්පං” යනු ආයු කල්පයකි. “ලොණ ඝටාය” - “සක්වල මුවවිට ආධාර කරගත් මුවවිට සහිත බ්‍රහ්මලෝකය දක්වා ගැටී සිටි ලුණු සැලියේ”යැයි දක්වයි.
මේ තෙරවරු උපමා ගෙනහැර දක්වන්නාහු ගැලපෙන නිසාද විද්‍යාමාන ගුණ නිසාද ගත්හ. කෙසේද? අගසවු දෙනමගේ ඍද්ධිය නම් ඉතා උස් වූ අර්ථයෙන් මෙන්ම මහත් වූ අර්ථයෙන් ද හිමවත හා සමානය. ප්‍රඥාව සිවු භූමිවලට අයත් ධර්මයන්හි ඇතුලට පිවිස සිටි අර්ථයෙන් සියලු ආහාර-ව්‍යඤ්ජනයන්හි ඇතුලට පිවිස සිටි ලුණු වැනිය. මෙසේ සමාන වූ අර්ථයෙන්ම උපමා ගෙනහැර දැක්වූහ. මහමුගලන් තෙරුන්ගේ සමාධි ලක්‍ෂණය විභූතය. ප්‍රකටය. සැරියුත් තෙරුන්ගේ විදර්ශනා ලක්‍ෂණය විභූතය. ප්‍රකටය. සැරියුත් තෙරුන්ට අවිද්‍යමාන වූ ඍද්ධියක් නම් නැත. (ඍද්ධියෙන් අනූනය) නමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර ඍද්ධිමතුන් අතර මහමුගලන් තෙරණුවෝ අග්‍රවෙති”යි උන්වහන්සේම අගතනතුරෙහි තබන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර මහා ප්‍රඥාවන්ත භික්‍ෂූන්ගෙන් සැරියුත් මහ තෙරණුවෝ අග්‍රවෙති”යි සැරියුත් තෙරුන් අගතනතුරෙහි තබන ලද නමුත් මහමුගලන් තෙරුන්ට ද ප්‍රඥාව ඇත. එනිසා මේ දෙදෙනා වහන්සේ ඔවුනොවුන්ගේ තනතුරු නොව විද්‍යමාන වූ ගුණයන්ම මෙහිදී අදහස් කරන ලදී. මහමුගලන් තෙරණුවෝ සමාධි ලක්‍ෂණයෙහි සමෘද්ධවීමට පැමිණියහ. සැරියුත් තෙරණුවෝ විදර්ශනා ලක්‍ෂණයෙහි (විස්තර විභාග දැක්වීමට සමත් බැව්හි) සමෘද්ධියට පත්වූහ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ දෙකෙහිම විශේෂ විභාග දැක්වීමට අතිශය සමත්වන සේක.
තෙවැනි සූත්‍රයයි.
4. නවභික්ඛු සූත්‍ර වර්ණනාව
සිවුවැනි සූත්‍රයේ - “අප්පොස්සුක්කො” යනු උත්සාහයක් නොමැතිවයි. “සංකසායතී” යනු වාසය කරයි යනුයි. “වෙය්‍යාවච්චං” යනු සිවුරෙහි කළයුතු කාර්යයන්ය. “ආභිචෙතසිකානං” යනු විශේෂ සිත, උතුම් සිත ආශ්‍රිත වූ යනුයි. “නිකාමලාභී” යනු කැමති, කැමති ක්‍ෂණයෙහි සමවැදීමට සමත් වූ බැවින් - “පහසුවෙන් ලබන්නා” යන අර්ථයි. “අකිච්ඡාලාහී” ධ්‍යානයන්ට විරුද්ධ වූ සැපයන් මැඩපවත්වා (යටපත් කර) සමවැදීමට සමත් බැවින් නිදුකින් ලබන්නාය. “අකසිරලාභී” යනු වෙන්කිරීම් ඇති පරිදි නැගිටීමට (ධ්‍යානයෙන්) සමත් වූ බැවින් මහත් සේ ලබන්නායි. “ධ්‍යානය ඉතා ප්‍රගුණය” යන අර්ථයි. “සිථිලමාරබ්භ” යනු ලිහිල් වීර්යය පවත්වා යනුයි.
සිවුවන සූත්‍රයයි.
5. සුජාත සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ “අභිරූපො” යනු වෙනත් රූපයන් ඉක්මවූ - රූප ඇත්තේ යනුයි. “දස්සනීයො” යනු දැකිය යුතු යනුයි. “පාසාදිකො” යනු දැකීමෙන්ම සිත් පැහැදවීමට සමත් වූ යනුයි. “වණ්ණපොක්ඛරතාය” යනු උතුම් වර්ණ සුන්දරත්වයෙන් යුතු වූයේ යනුයි.
පස්වන සූත්‍රයයි.
6. ලකුණ්ටකභද්දිය සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ - “දුබ්බණ්ණං” යනු විරූප වූ ශරීර වර්ණ ඇති යනුයි. “ඔකොටිමකං” යනු මිටි වූ යනුයි. “පරිභූත රූපං” යනු ප්‍රමාණ වශයෙන් නින්දා ලබන යනුයි. ඔහු වනාහී ඡබ්බග්ගිය (බුදුවදනට පටහැනිව යන අකීකරු පැවිද්දන් හයදෙනෙකි.) භික්‍ෂූන් විසින් “ඇවැත්නි, භද්දිය” “ඇවැත්නි, භද්දිය” යනුවෙන් ඒ ඒ තැන අතගාමින් විවිධාකාර වශයෙන් ක්‍රීඩා කරති. එහාට අදිති. මෙහාට අදිති. එනිසා “නින්දා ලබන ස්වභාව ඇති” යනුවෙන් කියන ලදී.
කුමක් නිසා මොහු මෙබඳු ස්වරූප ඇතිව උපන්නේද? මොහු අතීත අත්බවකදී මහරජෙක් විය. ඔහුට මහලු අය ද කළු කුෂ්ට ඇත්තෝ ද අතිශයින් පිළිකුල් විය. ඔහු ඉදින් මහලු වූවන් දකියි ද ඔවුන්ගේ හිස් මුදුනින් එල්ලා තබා කැසපට ගස්වා, කැමති පරිදි ක්‍රීඩා කරයි. මහලු ස්ත්‍රීහුද දැක ඔවුන්ටද කැමති-කැමති විප්‍රකාර කරමින් කැමති සේ ක්‍රීඩා කරයි. ඔවුන්ගේ දූදරුවන් ඉදිරියේ මෙසේ කරනවිට මහත් වූ ලැජ්ජාවක් උපදියි. ඒ පාප ක්‍රියාවෙන් පොළවේ සිට සදෙව්ලොව එක ම කෝලාහලයක් ඇතිවිය.
ඉක්බිති ශක්‍රයා මෙසේ සිතීය. “මේ බාලයා (මෝඩයා) මහජනයා වෙහෙසට පත්කරයි. ඔහුට නිග්‍රහයක් කරන්නෙමි”. ඔහු මහලු ගැමියකුගේ ස්වරූපයක් ගෙන එක් කිරිමෝරු සැළියක් ද රථයෙහි තබාගෙන, එය දක්කාගෙන නගරයට පිවිසියේය. රජු ද ඇතුපිට නැගී නගරයෙන් නික්ම ඉදිරියට එනුයේ ඔහු දැක “මේ මහල්ලා, මෝරු රථයක් ගෙන මා ඉදිරියට එයි. වලකවු. වලකවු”යි මිනිස්සු ඔබිනොව ඉවත්ව ගියත් ඔහු නොදක්නේය. ශක්‍රයා “රජු පමණක් මා දකීවා. අන්‍යයන් මා නොදකීවා!”යි අධිෂ්ඨාන කළේය.