“පුරතො ධාවන්ති” යනු අගින් දුවයි යනුයි. සැම කල්හි මුලින්ම සිටින්නේ නොවෙයි. කිසිවිටෙක මුලින් ද පසුපසින් ද සිටී. ආකාශස්ත විමානයන්හි උයන්ද පොකුණුද ඇත. ඒ දේවතාවෝ එහි නා ජලක්රීඩා කර පස්සට යයි. නැවත වේගයෙන් ගොස් පෙරටම දුවයි. “ආයුසංඛාරං” යනු රූප ජීවිතින්ද්රිය සඳහා කියන ලදී. එය ඊට වඩා ශීඝ්රයෙන් ගෙවී යයි. අරූප ධර්මයන්ගේ භේදය වනාහි පැනවීමට - දැක්වීමට පවා නොහැක.
සයවන සූත්රයයි.
7. ආණි සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ - “දසාරහානං” යනු මෙනම් ඇති ක්ෂත්රියයන්ගේය. ඔවුහු අස්වැන්නෙන් දහයෙන් කොටසක් ගත්හ. එනිසා “දසාරහා” (දහරහයෝ) යැයි ප්රසිද්ධ වූහ. “ආණකො” මෙසේ ලබන ලද නම් ඇති මිහිඟු බෙරයකි.
හිමාලයේ පෙර මහා කුළීර නම් විලක් විය. එහි එක් මහා කකුළුවෙක් විලට බසින, බසින ඇතුන් කයි. එවිට ඇත්තේ තමාට වන විපත නිසා “මැගේ පුතා නිසා අප සැපයට පැමිණෙන්නේයැ”යි එක් ඇතින්නකට මහත්සේ සත්කාර කළහ. ඇය ද මහේශාක්ය පුතෙකු වැදුවාය. ඊට පසු සෙසු ඇත්තු ඔහුට ද සත්කාර කළහ. ඔහු වැඩිවියට පත්ව “කුමක් නිසා මොවුහු මට සත්කාර කරයි ද?” මවගෙන් ඇසුවේය. ඇත් ගණයාට ඇති විපත ගැන දැනුම් දුන්නාය. ඔහු ද “කිම මට කකුළුවා සෑහේද? එවු. යවු.”යි මහා ඇත් පිරිවරක් සහිතව එහි ගොස්, තමා පළමුව විලට බැස්සේය. කකුළුවා දියේ කැලඹුණු හඬින් එහි විත් ඔහු අල්ලා ගත්තේය. කකුළුවාගේ අඬුව සහිත අත ඉතා මහත් එකකි. ඇත්රජු එම අඬුව එහෙ-මෙහෙ සෙලවීමටවත් නොහැකි වූයේ මුවෙහි සොඬ දමා හඬින් කෑගැසුවේය. ඇත්තු “යමෙකු නිසා අපි සැපයට පැමිණෙන්නාහ”යි සිතුවේද ඔහු පළමුව ම අල්ලා ගන්නා ලදැ” යි කියා ඒ ඒ තැන පලාගියහ.
ඇත්රජුගේ මව නුදුරෙහි හිඳ, “අපි ගොඩ නාගයෝ (ඇත්තු) වෙමු. නුඹ දිය නාගයෝ වෙහු. නාගයන් විසින් නාගයන් නොවෙහෙසිය යුතුයි” යනුවෙන් කකුළුවාට ප්රිය වචනයෙන් මෙසේ කීවාය.
යෙ කුළීරා සමුද්දස්මිං ගංගාය යමුනාය ච
තෙසං ත්වං වාරිජො සෙට්ඨො මුඤ්ච රොදන්තියා පජන්ති
තෙසං ත්වං වාරිජො සෙට්ඨො මුඤ්ච රොදන්තියා පජන්ති
“ගංගා-යමුනා දී මහා ගංගාවන්හිද මුහුදෙහි ද යම් කකුළුවෝ වෙසෙත් නම්, ඒ සියලු ජලජ ජීවීන් අතරින් නුඹ ම ශ්රේෂ්ඨයා-ප්රධානියා වේ. එනිසා තම ප්රජාව හඬවන (ඇත්රජු) අත්හරින්න.”
ස්ත්රියගේ ශබ්දය පුරුෂයන් කැළඹවීමට සමත්ය. එනිසා කකුළුවා තම ග්රහණය ලිහිල් කළේය. ඇත්රජු වේගයෙන් සිය දෙපා ඔසවා කකුළුවාගේ පිට පෑගුවේය. පෑගීමත් සමග ම පිට මැටි බඳුනක් මෙන් බිඳුනේය. ඉක්බිති දළයෙන් විද කකුළුවා උඩට ගෙන, ගොඩබිමට විසිකර සතුටු නාදයක් නිකුත් කළේය. එය ඇසූ පලාගිය ඇත්තු එහෙන්-මෙහෙන් පැමිණ කකුළුවා මැඬ-පාගා දැමූහ. උගේ එක් අඬුවක් සිරුරින් ඉවත්වී වැටුනේය. සක්දෙව් රජු එය රැගෙන ගියේය.
ඉතිරි අඬුව අවු-සුළඟින් වේලී පැසුණු ලාක්ෂා (රතු) ලාකඩ වර්ණ ඇත්තේ විය. එය වැසි වැටුණු කල්හි ජල පහරින් ගසාගෙන අවුත් දස සෝයුරු රජවරුන්ගේ, දියපහර මත්තෙහි බැඳි දැලෙහි රැදුණි. රජදරුවෝ ගඟෙහි ජලක්රීඩා කරමින් පැමිණ දැල සමීපයේ සිට ජලක්රීඩා අවසන්හි දැල ඔසවා බලා එය දැක “මේ කිමෙක්ද?”යි ඇසූහ. “ස්වාමීනි, මෙය කකුළු අඬුවකි.” “මෙයින් ආභරණයක් සෑදීමට නොහැකිද?” “හාත්පසින්ම වෙලා බෙරයක් සැදිය හැකියැ”යි පවසා හාත්පසින් ම වෙලා ඊට ගැසූහ. ශබ්දය දොළොස් යොදුන් නගරය පුරාම පැතිරුණි. එවිට ඔවුහු මෙසේ කීහ. “මෙය දිනපතාම ගැසිය නොහැක. උත්සව දිනයට ගසන ‘මඟුල්බෙරය’ වේවා”යි එය මංගල බෙරය බවට පත්කළහ. එය ගැසූ කල්හි මහජනයා මැනවින් නා, සැරසී ඇත් යානාදියේ නැගී වහ වහා රැස්වෙති. මෙසේ මහජනයා රැස් කරවමින්-කැඳවමින් “අණ කරන” බැවින් “ආණක” යන නාමය මේ බෙරයට තැබූහ.
“අඤ්ඤං ආණිං ඔදහිංසු” යනු අනික් රන්-රිදීමය ඇණයක් ගැසූහ යනුයි. “ආණිසංඝාටොව අවසිස්සී” යනු රන්-රිදීමය ඇණය ගැසු කල්හිම ඉතිරි විය යනුයි. එවිට එහි මුලින් පැවති දොළොස් යොදුන් ප්රමාණ වූ හඬ නැතිවී ඇතුල් ශාලාවෙහිද දුකසේ ඇතිවන ශබ්දයක් විය.
“ගම්භීරා” යනු බුද්ධවචන වශයෙන් ගැඹුරුය යනුයි. සල්ලේඛාදීසූත්ර මෙනි. “ගම්භීරත්ථා” යනු අර්ථ වශයෙන් ගැඹුරුය යනුයි. මහාවේදල්ලාදී සූත්ර මෙනි. “ලොකුත්තරා” යනු ලෝකෝත්තර අර්ථ දීපකයෝය. “සුඤ්ඤතා පටිසංයුත්තා” යනු සප්ත ශුන්යතා ධර්ම පමණක්ම ප්රකාශ කරන යනුයි. සංඛිත්ත සංයුත්තය මෙනි. “උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං” යනු ඉගෙනගත යුතුය. පිරිවහා කටපාඩම් කරගත යුතුයි යනුයි. “කවිකතා” යනු කවීහි කතා. කවියන් විසින් කරන ලද යනුයි. “කාවෙය්යා” යන පදය ද මීට සමාන වූ පදයකි. “චිත්තක්ඛරා” යනු විසිතුරු වූ අක්ෂරයන්ය. “චිත්ත බ්යඤ්ජනා” යන පදයද මීට සමාන වූවකි. “බාහිරකා” යනු සසුනින් බැහැර වූ යනුයි. “සාවකභාසිතා” යනු ඒ ඒ ශ්රාවකයන් විසින් පවසන ලද යනුයි. “සුස්සූයිස්සන්ති” යනු විසිතුරු අක්ෂර ඇති බැවින් ද ශ්රවණ මාධුර්ය ඇති බැවින්ද සතුටු සිත් ඇතිව යනුයි. සාමණේර, තරුණ භික්ෂූහු-ස්ත්රීහු මහා ධනවත් ගෘහපතීහු මේ ධර්මකථිකයෙකි’යි රැස්වී ඇසීමට කැමති වෙති. “තස්මා” යනු එනිසා තථාගතයන් විසින් දේශිත සූත්රාන්තයෝ නොදරණ-නූගන්නා බැවින් අතුරුදහන් වෙති.