4-9. මාතු ආදි සූත්‍ර වර්ණනා
සිවුවන සූත්‍රයේ සිට නවවන සූත්‍රය දක්වා - ලිංග නියමයෙන් මෙන්ම සක්වල නියමයෙන් අර්ථ දතයුතුයි. පුරුෂයන් ස්ත්‍රීන්ව ඉපදීම, ස්ත්‍රීන් පුරුෂයන්ව ඉපදීම යන මෙය ලිංග නියමයයි. සත්වයෝ මේ සක්වලින් අන්‍ය සක්වලකට ද අන්‍ය සක්වලකින් මේ සක්වලට ද පැමිණෙති. සැරිසරති. ඔවුනතුරින් මේ සක්වලෙහි ස්ත්‍රියක් ව ඉපිද මවක් වූ අවස්ථාව ම දක්වනුයේ “යො න මාතාභූත පුබ්බො” යනාදිය දේශනා කළ සේක. “යොන පිතා භූත, පුබ්බො” යනාදියේද මේ පිළිවෙල දතයුතුයි.
10. වෙපුල්ලපබ්බත සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “භූතපුබ්බං” යනු අතීතකාලයේ සිදුවූ එක් චරිත කථාවක් ගෙනහැර දක්වයි. “සාමඤ්ඤා උදපාදි” යනු පැණවීමක් විය. “චතුහෙන ආරොහන්ති” යනු මෙය වීර්යය මධ්‍යම කිරීම සඳහා කියන ලදී. “අග්ගං” යනු උතුම් වූ යනුයි. “භද්දයුගං” යනු සුන්දර යුවලකි. “තීහෙන ආරොහන්ති” යනු මෙපමණකින් මේ බුදුවරයන් වහන්සේලා දෙනම පහළ වූ කාලය අතර දී පොළව යොදුනකින් උස්විය. ඒ පවුව යොදුන් තුනක් උස්විය.
“අප්පං වා භියෙය්‍යා” යනු වර්ෂ සීයෙන් ඉහලට අල්ප වූ දසවසක් හෝ විසිවසකි. නැවත තවත් අවුරුදු සීයක් සිටින්නෙක් නම් නැත. උතුම් සත්ත්වයෝ පමණක් තව වසර හැටක් හෝ අසූවක් ජීවත් වෙති. වර්ෂ සීයට නොපැමිණ වසර පහේදී හෝ දහයේදී මියදෙන්නෝම බහුල වෙති. මෙහි දැක්වෙනුයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පහළවීම වසර හතලිස්දාහක් පරමායුෂ වූ කාලයේත්, කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ පහළවීම වසර තිස්දහසක් වූ කාලයේත් ලෙස අනුපිළිවෙලින් ආයු පිරිහීම දැක්වෙන දේශනාවකි. මෙවැනි පිරිහීමක් නොවිණි. එම කාල දෙක අතර දී ආයු පිරිහී ගොස් වර්ධනය වූ බව දතයුතුයි. ඒ කෙසේද?
කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයෙහිම මිනිසුන්ට පරමායුෂ වසර හතලිස්දහක් වූ කාලයේම උපන් සේක. උන්වහන්සේ එම ආයු ප්‍රමාණය පස් කොටසකට බෙදා, ඉන් සතර කොටසක් ගෙවූ සේක්, පස්වන කොටස ඉතිරිව තිබියදීම පිරිණිවි සේක. එසේ ක්‍රමයෙන් ආයු පිරිහී ගොස් පරමායුෂ වසර දහයක් විය. නැවත ආයු වර්ධනය වනුයේ පරමායුෂ අසංඛ්‍ය දක්වා වැඩිවිය. නැවත එය පිරිහෙමින් අවුත් පරමායුෂ වසර තිස්දාහක් වූ කාලයේදී කෝණාගම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ ද ඉහත කී ලෙසම ආයු ගෙවා පිරිනිවි කල්හි, ආයු අඩුවෙමින් ගොස් පරමායුෂ වසර දහයක් විය. නැවත ක්‍රමයෙන් ආයු වැඩි වීගෙන ගොස් පරමායුෂ වසර අසංඛ්‍යයක් විය. නැවත ආයු පිරිහෙනුයේ පරමායුෂ වසර විසිදාහක් වූ කාලයේදී කස්සප ලොවුතුරු බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේද පෙර කී ලෙසම පිරිනිවි කල්හි පරමායුෂ වසර දහය දක්වා පැමිණ නැවත වර්ධනය වී අසංඛ්‍ය දක්වා ගොස්, නැවත පිරිහෙනුයේ පරමායුෂ වසර සීයක් වූ කාලයට පැමිණියේය. එකල්හි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. මෙසේ අනුපිළිවෙලින් ආයු පිරිහීම හා වැඩීම පුන පුනා සිදුවන බව දතයුතුය. එහිදී යම් ආයු ප්‍රමාණයක් පරමායුෂ වූ මිනිස් සමාජයක ලොවුතුරු බුදුරජාණන් වහන්සේලා පහළවෙත් ද උන්වහන්සේලාට ද ඒ ආයු ප්‍රමාණය ම වේ.
දසවන සූත්‍රයයි.
දෙවන වර්ගය නිමියේය.
අනමතග්ග සංයුත්තය නිමාවට පත්විය.