3. අනමතග්ග සංයුක්තය
1. තිණකට්ඨ වර්ගය
1. තිණකට්ඨ සූත්ර වර්ණනාව
අනමතග්ග සංයුත්තයේ පළමු සූත්රයෙහි - “අනමතග්ගො” යනු නොදත් අග ඇති යනුයි. (අනු අමතග්ග අනමතග්ග) වර්ෂ සීයක්, දාහක් ඤාණයෙන් ලුහුබැඳ ගියත් සසර අග දැනගත නොහැක. එහෙන්, මෙහෙන් හෝ අගක්-මුලක් දැනගත නොහැකි ‘සීමා රහිත පූර්ව හා අපර කෙළවර ඇති’ යන අර්ථයි. “සංසාරො” යනු ස්කන්ධාදියේ නොසිඳීමෙන් පවත්නා පිළිවෙලයි. “පුබ්බා කොටි න පඤ්ඤායති” යනු පූර්ව සීමාව නොපෙනේ යනුයි. යම් අගක පූර්ව කෙළවර නොපෙනේ ද පසුව ද ඒ අගම නොපෙනේ. සත්වයෝ මධ්යයෙහිම හැසිරෙති. “පරියාදානං ගච්ඡෙය්ය” මේ උපමාව කුඩා බැවින් කියන ලදී. වෙනත් සමයන්හි අර්ථය කුඩා වී උපමාව මහත් වේ. “මේ ගොනා ඇතා මෙනි” “මේ ඌරා ගොනා මෙනි” “මේ වැව සමුද්රය මෙනි” මෙම උපමා කී කල්හි ඒවා එකම ප්රමාණ නොවේ. බුදුසමයෙහි උපමාව කුඩා වේ. අර්ථය ඉතා මහත්ය. පෙළෙහි එක් ජම්බුද්වීපයක් ගන්නා ලදී. මෙබඳු ජම්බුද්වීප සීයක්, දාහක්, ලක්ෂයක් වුවත් ගෙන ඒවායේ ඇති තෘණ ආදී සියල්ල විනාශ කළත් පුරුෂයාගේ මව, මවුවරු නොවෙති. (මාතු මාතරෝ) “දුක්ඛං පච්චනුභූතං” යනු නුඹලා විසින් දුක් විඳින ලදී. “තිබ්බං” යනු තියුණු දුකටම තවත් වදනකි. “බ්යසතං” යනු ඥාති ව්යසන වශයෙන් නන්වැදෑරුම් වේ. “කටසී” යනු සොහොන්බිමයි. නැතිනම් මහපොළවමයි. එය නැවත නැවත මැරෙනවුන්ගේ ශරීර දැමීමෙන් ම වැඩෙන්නකි. “අලමෙව” යනු සුදුසුමය.
පළමු සූත්රයයි.
2. පඨවී සූත්ර වර්ණනාව
දෙවන සූත්රයේ “මහාපඨවිං” යනු සක්වළ කෙළවර වූ මහපොළවයි. “නික්ඛිපෙය්ය” යනු ඒ පොළව බිඳ, කියන ලද ප්රමාණයෙන් ගුළිකර පසෙකින් තබන්නේය.
දෙවන සූත්රයයි.
3. අස්සු සූත්ර වර්ණනාව
තෙවන සූත්රයේ - “කන්දනත්තානං” යනු හඬන්නවුන්ගේය. “පස්සන්දං” යනු ගලායමින් පවතින යනුයි. “චතුසු මහා සමුද්දෙසු” යනු මහමෙරෙහි රශ්මියෙන් සීමාකළ සිවු සයුරෙහි. එහි පෙරදිග ප්රදේශය රිදීමය වේ. දකුණු ප්රදේශය මාණික්යමය වේ. බටහිර ප්රදේශය ස්ඵටිකමය වේ. උතුරු ප්රදේශය රන්මය වේ. පෙරදිගින් හා දකුණු දිගින් නික්මුණු රිදී -මැණික් රශ්මීහු එක්වී මහමුහුද මතුපිටින් ගොස් සක්වල ගලෙහි හැපී සිටිති. දකුණු -බටහිර ප්රදේශවලින් නික්මුණු මැණික්-ස්ඵටික රශ්මීහු ද බටහිර උතුරු ප්රදේශවලින් නික්මුණු ස්ඵටික - රන් රශ්මීහු ද උතුරු - පෙරදිග ප්රදේශවලින් නික්මුණු රන්රිදී රශ්මීහු ද එකට එකතුවී මහමුහුද මතුපිටින් ගොස් සක්වල ගලෙහි හැපී සිටිති. ඒ රශ්මීන්ගේ අතරෙහි මහා සමුද්රය වේ. ඒ සඳහා “සිවුමහා සයුරුවල” යනුවෙන් කියන ලදී. “ඥාති බ්යසනං” යනාදියෙහි ව්යසනය යනු වි+අසතං විනාශය - විපත යන අර්ථයි. ඥාතීන්ගේ විනාශය “ඤාතිබ්යසනං”. භෝගයන්ගේ විනාශය “භොගබ්යසනං” නම් වේ. රෝගය වනාහී තමාම “නිරෝගී බව නැතිකරයි. විනාශ කරයි” යන අර්ථයෙන් ව්යසනයකි. රෝගයේ ම විනාශය “රොග බ්යසනං” නම් වේ.
තෙවන සූත්රයයි.
4. මාතුථඤ්ඤ සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ - “මාතුථඤ්ඤං” යනු එකම නම් ඇති මිනිස් මවුන්ගේ කිරිය. ගැඩවිල්, කුහුඹු ආදීන්ගේ ද මත්ස්ය කැසුබු ආදීන්ගේ ද පක්ෂීන්ගේ ද උපදින කාලයේ ඒ මවුන්ට කිරි නැත. එළු, ගව, මී ආදීන්ගේ උපත් කාලයෙහි ම මවුට කිරි ඇත. මිනිසුන්ගේත් එසේමය. එහි එළු ආදී ආත්මවල දී ද මිනිසුන් අතර දී “දේවී”, “සුමනා”, “තිස්සා” යන මේ නොයෙක් නොයෙක් නම් ඇත්තියන්ගේ කුසෙහි උපන් කාලයන් ද අත්හැර, “තිස්සා” යන එකම නම් ඇති මෑණි කෙනෙකුගේ කුසෙහි උපන් කාලයේ බොනලද කිරි ප්රමාණය සිවුමහා සයුරේ දියටත් වඩා වැඩියයි දතයුතුයි.
සිවුවන සූත්රයයි.
5. පබ්බත සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ - “සක්කාපන භන්තෙ” යනු ඒ භික්ෂුව මෙසේ සිතුවේය යනුයි. ශාස්තෘන් වහන්සේ “පහසු නොවේ. පහසු නොවේ” යැයි දේශනා කරමින් ම කථාව නොසිඳින සේක. “මෙයට උපමාවක් කිරීමට හැකිද?”යි එනිසා අසන ලදී. “කාසිකෙන” යනු කපුපුළුන් තුනක් එකට ගෙන කඨින ලද නූලෙන් වියූ ඉතා සියුම් වස්ත්රයෙන්. ඉන් පිරිමැදි කල්හි කොපමණ ප්රමාණයක් ක්ෂය වන්නේ ද? අබ ඇටයක් පමණ.
පස්වන සූත්රයයි.
6. සාසප සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ “ආයසං නගරං” යනු යකඩින් කළ පවුරකින් වටකළ නුවරකි. එහි ඇතුලත යකඩින් කළ, එක් බිමක පිහිටි ප්රසාදවලින් ගැවසී ගත්තේ යැයි නොසැලකිය යුතුයි.
සයවන සූත්රයයි.
7. සාවක සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ “අනුස්සරෙය්යුං” යනු එක් අයෙක් කල්ප ලක්ෂ ගණනක් සිහිකළ කල්හි, වෙන අයෙක් ඔහු සිටින සිට තවත් කල්ප ලක්ෂයක් ද, එතැන් සිට තව අයෙක් කල්ප ලක්ෂයක් ද එසේම තව අයෙක් කල්ප ලක්ෂයක් ද යන ක්රමයෙන් සිවු දෙනෙක් සාර ලක්ෂයක් කල්පයන් පිළිබඳව සිහිපත් කරන්නේය යනුයි.
සත්වන සූත්රයයි.
8. ගඞ්ගා සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ “යා එතස්මිං අන්තරෙ වාලිකා” යනු යම් මේ දෙක අතර දිගින් පන්සීයක් යොදුන් අතරමග වූ වැලිය.
අටවන සූත්රයයි.
9. දණ්ඩ සූත්ර වර්ණනාව
නවවන සූත්රයේ කිවයුත්තක් නැත.
නවවන සූත්රයයි.
10. එකපුග්ගල සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ - “අට්ඨිකංකළො” යනාදියෙහි තුන් පදයම “රාශි” යන්නට යෙදුණු සමාන වදන්ය. මේ සත්ත්වයන්ගේ ඇට සහිතව උපදින කාලයට වඩා ඇට නැතිව උපදින කාලයම ඉතා වැඩි වේ. ගැඩිවිල් ආදී ප්රාණීන් ලෙස උපන්විට ඔවුන්ට ඇට නැත. මත්ස්ය, කැසබු ආදී වූ සත්ත්වයන්ගේ ඇට බොහෝය. එනිසා මෙකී ඇට නැති ආත්මභාවත් ඇට බොහෝ ඇති ආත්මභාවත් අත්හැර, මධ්යම ප්රමාණ වූ අල්ප ඇට ඇති කාලය ම මෙම සූත්රයේ දී අදහස් කළ යුතුයි. “උත්තරො ගිජ්ඣකූටස්ස” යනු ගිජුකුළු පවුවෙහි උතුරු දෙස සිටියේ. “මගධානං පරිබ්බජෙ” යනු මගධ රටේ ගිරිබ්බජ නම් පුරාණ රාජධානියේය. පර්වත බෑවුමෙහි (පරික්ෂේපයෙහි) පිහිටියේය යන අර්ථයි. මෙහි ඉතිරි පද සියලෙහි අර්ථ ඉතා ප්රකටය.