10. එකපුග්ගල සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “අට්ඨිකංකළො” යනාදියෙහි තුන් පදයම “රාශි” යන්නට යෙදුණු සමාන වදන්ය. මේ සත්ත්වයන්ගේ ඇට සහිතව උපදින කාලයට වඩා ඇට නැතිව උපදින කාලයම ඉතා වැඩි වේ. ගැඩිවිල් ආදී ප්‍රාණීන් ලෙස උපන්විට ඔවුන්ට ඇට නැත. මත්ස්‍ය, කැසබු ආදී වූ සත්ත්වයන්ගේ ඇට බොහෝය. එනිසා මෙකී ඇට නැති ආත්මභාවත් ඇට බොහෝ ඇති ආත්මභාවත් අත්හැර, මධ්‍යම ප්‍රමාණ වූ අල්ප ඇට ඇති කාලය ම මෙම සූත්‍රයේ දී අදහස් කළ යුතුයි. “උත්තරො ගිජ්ඣකූටස්ස” යනු ගිජුකුළු පවුවෙහි උතුරු දෙස සිටියේ. “මගධානං පරිබ්බජෙ” යනු මගධ රටේ ගිරිබ්බජ නම් පුරාණ රාජධානියේය. පර්වත බෑවුමෙහි (පරික්‍ෂේපයෙහි) පිහිටියේය යන අර්ථයි. මෙහි ඉතිරි පද සියලෙහි අර්ථ ඉතා ප්‍රකටය.
දසවන සූත‍්‍රය යි.
පළමු වර්ගය නිමියේය.
2. දුග්ගත වර්ගය
1. දුග්ගත සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු සූත්‍රයේ “දුග්ගතං” යනු දිළිඳු බවයි. බැගෑපත් බවයි. “දුරුපෙතං” යනු නපුරු නුසුදුසු තැන්වල අත්පා පිහිටි-විරූප වූ යනුයි.
පළමු සූත්‍රයයි.
2. සුඛිත සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ “සුඛිතං” යනු සැපෙන් යුක්ත වූ යනුයි. මහත් ධනය ඇති, මහත් භෝග ඇති. “සජ්ජිතං” යනු අලංකාරව පිළියෙල කරන ලද ඇත් කඳට නැගුණු මහත් පිරිවර සහිත වූ යනුයි.
දෙවන සූත්‍රය යි.
3. තිංසමත්ත සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “පාවෙය්‍යකා” යනු පාවෙය්‍ය (පාවා) නුවරවාසීය. “සබ්බෙ ආරඤ්ඤතා” යනාදියෙහි ධුතාංග සමාදන්වීම් වශයෙන් ඔවුන්ගේ ආරණ්‍ය බව වටහාගත යුතුයි. “සබ්බෙ සසංයෝජනා” යනු සියලු බන්ධනයෝය. කිසිවෙක් සෝවාන්ය. කිසිවෙක් සකෘදාගාමී වේ. ඇතමෙක් අනාගාමීය. ඔවුන’තර රහත් තෙරනමක් හෝ පුහුදුන් තෙරනමක් නොවිණි. “ගුණ්ණං” යනාදියේ සුදුවීම, කළුවීම ආදී වර්ණ ගැනීම්හි එක් වර්ණයක් පැවති කාලයම ගතයුතුයි. “පාරිපන්ථකා” යනු උවදුරු සහිත මාර්ගයේ සිටින මංපහරණ සොරුය. “පාරිදාරිකා” යනු අනුගේ අඹුවන් ඇසුරු කිරීමට පැමිණියෝය.
තෙවන සූත්‍රය යි.
4-9. මාතු ආදි සූත්‍ර වර්ණනා
සිවුවන සූත්‍රයේ සිට නවවන සූත්‍රය දක්වා - ලිංග නියමයෙන් මෙන්ම සක්වල නියමයෙන් අර්ථ දතයුතුයි. පුරුෂයන් ස්ත්‍රීන්ව ඉපදීම, ස්ත්‍රීන් පුරුෂයන්ව ඉපදීම යන මෙය ලිංග නියමයයි. සත්වයෝ මේ සක්වලින් අන්‍ය සක්වලකට ද අන්‍ය සක්වලකින් මේ සක්වලට ද පැමිණෙති. සැරිසරති. ඔවුනතුරින් මේ සක්වලෙහි ස්ත්‍රියක් ව ඉපිද මවක් වූ අවස්ථාව ම දක්වනුයේ “යො න මාතාභූත පුබ්බො” යනාදිය දේශනා කළ සේක. “යොන පිතා භූත, පුබ්බො” යනාදියේද මේ පිළිවෙල දතයුතුයි.
10. වෙපුල්ලපබ්බත සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “භූතපුබ්බං” යනු අතීතකාලයේ සිදුවූ එක් චරිත කථාවක් ගෙනහැර දක්වයි. “සාමඤ්ඤා උදපාදි” යනු පැණවීමක් විය. “චතුහෙන ආරොහන්ති” යනු මෙය වීර්යය මධ්‍යම කිරීම සඳහා කියන ලදී. “අග්ගං” යනු උතුම් වූ යනුයි. “භද්දයුගං” යනු සුන්දර යුවලකි. “තීහෙන ආරොහන්ති” යනු මෙපමණකින් මේ බුදුවරයන් වහන්සේලා දෙනම පහළ වූ කාලය අතර දී පොළව යොදුනකින් උස්විය. ඒ පවුව යොදුන් තුනක් උස්විය.
“අප්පං වා භියෙය්‍යා” යනු වර්ෂ සීයෙන් ඉහලට අල්ප වූ දසවසක් හෝ විසිවසකි. නැවත තවත් අවුරුදු සීයක් සිටින්නෙක් නම් නැත. උතුම් සත්ත්වයෝ පමණක් තව වසර හැටක් හෝ අසූවක් ජීවත් වෙති. වර්ෂ සීයට නොපැමිණ වසර පහේදී හෝ දහයේදී මියදෙන්නෝම බහුල වෙති. මෙහි දැක්වෙනුයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පහළවීම වසර හතලිස්දාහක් පරමායුෂ වූ කාලයේත්, කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ පහළවීම වසර තිස්දහසක් වූ කාලයේත් ලෙස අනුපිළිවෙලින් ආයු පිරිහීම දැක්වෙන දේශනාවකි. මෙවැනි පිරිහීමක් නොවිණි. එම කාල දෙක අතර දී ආයු පිරිහී ගොස් වර්ධනය වූ බව දතයුතුයි. ඒ කෙසේද?