5. චඞ්කම සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “පස්සථ නො” යනු දකින්නහුද? යනුයි. “සබ්බෙ ඛො එතෙ” යනු භාග්යවතුන් වහන්සේ විසින් සැරියුත් තෙරුන්ව, “මහණෙනි, මගේ ශ්රාවක භික්ෂූන්ගෙන් මහා ප්රඥාවන්තයන් අතරින් මේ සැරියුත් තෙරණුවෝ අගවෙති”යි මහා ප්රාඥයන් අතර අග තනතුරට පත්කළ සේක. එනිසා උන්වහන්සේගෙන් ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන, බෝධිපාක්ෂික ධර්ම, ත්රිලක්ෂණ ආදියේ ගැඹුරු ප්රඥාව විචාරන්නෙමු”යි මහා ප්රඥාවන්තයෝම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ට පොළව දිගහරින්නාක් මෙන් ද මහමෙර පාමුලින් වැලි උදුරා ගන්නාක් මෙන්ද සක්වල පව්ව බිඳිනාක් මෙන් ද මහමෙර ඔසවා තබන්නාක් මෙන්ද අහසේ හැසිරෙන සඳහිරු දෙදෙන උදාකරන්නාක් මෙන්ද ඇසු ඇසූ ප්රශ්න විසඳන සේක. එනිසා මෙලෙස වදාළහ. “සබ්බෙ ඛො එතෙ භිකඛවෙ! භික්ඛු මහා පඤ්ඤා”
මහමුගලන් තෙරුන් ද තථාගතයන් වහන්සේ විසින් - “මහණෙනි! මගේ ශ්රාවකයන් අතර ඍද්ධිමත් භික්ෂූන්ගෙන් මහමුගලන් තෙරණුවෝ අග්රවෙති”යි සෘද්ධිමතුන් අතර අග තනතුරෙහි තබන ලදහ. එනිසා “උන්වහන්සේගෙන් “සෘද්ධි පරිකර්ම, ආනිසංස, අධිෂ්ඨාන, විඤ්ර්වණ ආදිය විමසනෙමු”යි ඍද්ධිමත් තෙරවරුම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ගේ ප්රශ්නවලට ඉහත පැවසූ අයුරින්ම පිළිතුරු දෙති. එනිසා බුදුහු මෙසේ වදාළහ. “සබ්බෙ බො එතෙ භික්ඛවෙ! භිකඛූ මහිද්ධිකා”
මහාකාශ්යප තෙරුන් ද භාග්යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මාගේ ශ්රාවක භික්ෂූන්ගෙන් ධුතාංගධාරීන් අතරින් මහාකාශ්යප තෙරණුවෝ අග්රවෙති”යි ධුතාංගධාරීන් අතර අග තනතුරෙහි පිහිටවූ සේක. එනිසා උන්වහන්සේගෙන් “ධුතාංගයන්ගේ ආරක්ෂාව, ආනිසංස, සමාදන් වීම, අධිෂ්ඨානය, බිඳීයෑම විචාරනෙමු”යි ධුතාංගධාරී භික්ෂූහූම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ගේ ප්රශ්නයන් වහා නිරාකරණය කරදෙති. මෙනිසා මෙසේ වදාළහ. “සබ්බ ඛො එතෙ භිකඛවෙ! භික්ඛු ධුතවාදා”
භාග්යවතුන් වහන්සේ විසින් අනුරුද්ධ තෙරුන් ද “මහණෙනි! මගේ ශ්රාවක වූ දිවැස් ඇති භික්ෂූන් අතරින් අනුරුද්ධ තෙරණුවෝ අග්රවෙති”යි දිවැස් ඇති භික්ෂූන් අතර අග තනතුරෙහි පිහිට වූ සේක. මෙනිසා උන්වහන්සේන්ගෙන් ද “දිවැස් ආරක්ෂා කරගැනීම, අනුසස්, එය කිලිටිවන ආකාරය අසා දැනගන්නෙමු”යි දිවැස් ඇති භික්ෂූහූම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේද ඔවුන්ගේ සෑම ප්රශ්නයක්ම නිරාකරණය කරදෙති. එනිසා මෙසේ වදාළහ. “සබ්බෙ ඛො එතෙ භික්ඛවේ! භික්ඛු දිබ්බ චක්ඛුකා”
භාග්යවතුන් වහන්සේ විසින් පුර්ණ තෙරණුවෝ ද “මහණෙනි! මාගේ ශ්රාවක භික්ෂූන් අතර ධර්ම කථිකයගෙන් පුණ්ණ මත්තානි පුත්ත තෙරහු අග්රවෙති”යි ධර්මකථික භික්ෂූන් අතර අගතනතුරෙහි තබන ලද සේක. මෙනිසා උන්වහන්සේගෙන් “ධර්මකථාවේ දී සංක්ෂිප්ත, විස්තර, ගැඹුරු, ප්රකට, විසිතුරු කථාවන් සිදුකරන ආකාරයන් විචාරනෙමු”යි ධර්මකථික තෙරවරු විසින්ම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ට “ඇවැත්නි! ධර්මකථිකයා විසින් පිරිසට පළමුව වර්ණනාවන් දෙසීම සුදුසුය. මධ්යයේ දී ශුන්යතාව ප්රකාශ කළ යුතුයි. අවසානයේ දී චතුරාර්ය සත්ය වශයෙන් ප්රධාන අරමුණ ගැනීම සුදුසුයැ”යි මෙලෙසින් ඒ දහම් කථා නය පිළිබඳව කරන සේක. එනිසා මෙසේ වදාළහ. “සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ! භික්ඛු ධම්මකථිකා”
භාග්යවතුන් වහන්සේ විසින් උපාලි මහතෙරුන් ද “මහණෙනි! මගේ ශ්රාවක භික්ෂූන් අතර විනයධාරීන් අතුරින් උපාලි තෙරණුවෝ අග්ර වෙති”යි විනයධාරීන් අතර අගතනතුරට පත් කළ සේක. මෙනිසා උපාලි තෙරණුවගෙන් “ගරුක, ලහුක, කර්මාදිය, පිළියම් කළහැකි හා කළ නොහැකි වැරදි, ආපත්ති-අනාපත්ති ආදිය විචාරනෙමු”යි විනයධරයෝම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුහු අසන අසන ප්රශ්න ඒ ඒ ලෙසම මනාව විසඳා දෙති. මෙනිසා මෙසේ වදාළහ. “සබ්බ ඛො එතෙ භික්ඛවෙ! භික්ඛු විනයධරා”
භාග්යවතුන් වහන්සේ විසින් අනඳ තෙරණුවෝ ද “මහණෙනි! මගේ ශ්රාවක භික්ෂූන්ගෙන් බහුශ්රැතයන් අතුරින් අග්රවෙති”යි බහුශ්රැතයන් අතර අගතනතුරෙහි තැබූ සේක. මෙනිසා ආනන්ද හිමිගෙන් “දශවිධ ව්යඤ්ජන, විචාරා, අර්ථෝත්පත්ති, අනුසන්ධි, පූර්ව-අපර වශයෙන් විචාරන්නෙමු”යි බහුශ්රැත භික්ෂූහු ම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේද ඔවුන්ට “මෙය මෙසේ විය යුතුයි. මෙය මෙසේ වටහාගත යුතුයි.” යනාදීන් ලෙස සියල්ල පවසති. මෙනිසා මෙසේ වදාළහ. “සබ්බ ඛො එතෙ භික්ඛවෙ! භික්ඛූ බහුස්සුතා”
දෙව්දත් තෙර වනාහී පවිටුය. ආශාවගෙන් මඩනා ලද්දේය. එනිසා උන්වහන්සේගෙන් “කුල සංග්රහ ලබාගැනීම්, නානාප්රකාර වූ කුහක ක්රියාවන් විචාරනෙමු”යි පවිටු භික්ෂුහු ම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ට ඒ ඒ න්යාය-ක්රමයන් කියාදෙති. මෙනිසා වදාළ සේක. “සබ්බෙ ඛො එතෙ භිකඛවේ! භික්ඛූ පාපිච්ඡා”.
කුමක් නිසා මේ මහතෙරවරු භාග්යවතුන් වහන්සේට නුදුරෙහි හිඳිමින් සක්මන් කළාහුද? “දෙව්දත් තෙර, ශාස්තෘන් වහන්සේ කෙරෙහි දූෂිත වූ සිතැතිව අනර්ථ කිරීමට ම උපක්රම කරන්නේයැ” යි බුදුපියාණන් වහන්සේ කෙරෙහි දූෂිත වූ සිතැතිව අනර්ථ කිරිමට ම උපක්රම කරන්නැ”යි බුදුපියාණන් වහන්සේ ආරක්ෂා කරගැනීම පිණිසයි. දෙව්දත් තෙර කුමක් හෙයින් සක්මන් කළේ ද? “මෙතෙම ගුණදහම් නොවඩන අක්රියයෙකි. ඉදින් ක්රියාකාරියෙක් වන්නේ නම් මෙහි පැමිණිය යුතු වන්නේයැ”යි තමා පිළිබඳ ඇතිවන දොස් වැනසීම, වැලක්වීම සඳහාම පැමිණියේය. කිම භාග්යවතුන් වහන්සේට අනර්ථ කිරීමට දෙව්දත් තෙර සමත් වේද? භාග්යවතුන් වහන්සේට මෙබඳු ආරක්ෂා සංවිධානයන්ගෙන් ප්රතිඵලයක් තිබේද? නැත්තේමය. මෙනිසා බුදුහු මෙසේ වදාරා ඇත. “ආනන්දයෙනි! මෙය විය නොහැක. කුමක්ද? තථාගතයන් වහන්සේ අන්යයකුගේ උපක්රමයකින් පිරිනිවේ යන මෙය සිදුවීමට ඉඩ නැත.” මහතෙරවරු බුදුරජාණන් වහන්සේ කෙරෙහිම හටගත් ගෞරවයෙන් මෙහි පැමිණියහ. එනිසාම බුදුපියාණෝ, “ආනන්දයෙණි! භික්ෂු සංඝයා විසුරුවන්න”යි වදාරා ඔවුහු පිටත්කර හැරි සේක.