6. සගාථා සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ “ගුථො ගුථෙන සංසෙන්දති සමෙති” යනු සමුද්‍ර-ජනපද-සක්වල අතර සිටියා වූ වර්ණ, ගන්ධ, රස ආදී නානාවිධ වූ කරුණු අනුව යන්නේ එකට සැසඳෙති. එකට එක්වෙති. නිරතුරුව එක සමාන වෙති. සෙසු පදයන්හි අර්ථ ද මෙසේ දතයුතුයි. මේ අප්‍රිය උපමාවෙන් හීන අදහස් ඇත්තේ හීනයත් සමගම ගැලපෙන බව දක්වන ලදී. කිරි ආදී විශිෂ්ට උපමාවන් යහපත් අදහස් ඇත්තන්, යහපත් අදහස් ඇති අය සමගම එක්වෙන බව දැක්වීමට යොදන ලදී.
“සංසග්ගා” යනු දර්ශන, ශ්‍රවණ, සංසර්ගාදී වශයෙන් වස්තු-තණ්හා ස්නේහයෙනි. “වනථො ජාතො” යනු කෙලෙස් වනයේ හටගත් යනුයි. “අසංසග්ගෙන ජිජ්ජති” යනු එක් තැනක හිඳීම් ආදිය නොකරන්නහුගේ එක් නොවීමෙන්-නොරැඳීමෙන් එය සිඳේ-බිඳී යනුයි. “සාධුජීවී” යනු පාරිශුද්ධ වූ දිවියක් ගත කරනුයේ යනුයි. “සහාවසෙ” යනු එක්ව වාසය කරන්නා වූ යනුයි.
සයවන සූත්‍රයයි.
7. අස්සද්ධ සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “අස්සද්ධා අස්සද්ධෙහි” යනාදියෙහි ත්‍රිවිධරත්නය කෙරෙහි ශ්‍රද්ධාවක් නොමැතිව, ඕජස් නැති, රසයක් නැති, පුද්ගලයෝ මුහුදේ මෙතෙර සිටියාහු එතෙර සිටියා වූ අශ්‍රද්ධාවන්තයන් සමග, අදහස්වලින් සමාන වූ බැවින් අතරක් නොමැතිව එකතුවෙනි. එසේම “අහිරිකා” ශිෂ්ට සීමාව බිඳි, නිර්ලජ්ජි පුද්ගලයෝ. “අහිරිකෙහි” එබඳුම ලැජ්ජා නැත්තන් සමග එක්වෙති. “අනොත්තාපිතො” යනු පාප ක්‍රියාවන්හි බියක් නැති පුද්ගලයෝ, “අනොත්තාපීහි” - පවට බිය නොවූවන් හා එක්වෙති. “අප්පස්සුතා” යනු ඇසූපිරූතැන් නැත්තෝ “අප්පස්සුතෙහි” අල්පශ්‍රැතයන් සමගම එවෙති. “කුසීතා”. කම්මැලියෝ “කුසීතෙහි” කම්මැලියන් සමගම එක්වෙති. “මුට්ඨස්සතිනෝ” යනු බත් දැමූ, කපුටුමස් ආදිය දැමු සිවලුන් හා සම වූවෝ “මුට්ඨස්සතීහි” මුලාවූවන් සමග එක්වෙති. “දුප්පඤ්ඤා” යනු ස්කන්ධාදිය වෙන්කර නොදකින ප්‍රඥාව නැත්තේ “දුප්පඤ්ඤහි” එබඳුම ප්‍රඥාව නැත්තන් සමග එක්වෙති. “සද්ධා සම්පන්නා” යනු චෛත්‍ය වන්දනාදී කටයුතුවල යෙදුණෝ “සදෙධහි” ශ්‍රද්ධාවන්තයන් හා එක්වෙති. “හිරිමතා” ලජ්ජා ඇත්තේ “හිරිමනෙහි” ලජ්ජා ඇත්තවුන් හා එක්වෙති. “ඔත්නාපිනෝ” පවට බිය ඇත්තෝ “ඔත්තාපීහි” පවට බිය ඇත්තවුන් සමග ද “බහුස්සුතා” බොහෝ ඇසූ පිරූ තැන් ඇති, පෙළදරන, බුදුවදන ආරක්ෂා කරන, ආර්ය වංශය සුරකින පුද්ගලයෝ “බහුස්සුතෙහි” බහුශ්‍රැතයන් සමගද “ආරද්ධවිරියා” පිරිපුන් දැඩි පරාක්‍රමයෙන්, වීර්යයෙන් යුක්ත වූවෝ “ආරද්ධ විරියෙහි” ඇරඹු වීර්ය ඇත්තවුන් සමග ද එක්වෙති. “උපට්ඨිත සතිනො” සියලු කටයුතු කටයුතු කිරිමෙහි සමත් සිහියෙන් යුක්ත වූවෝ “උපට්ඨිත සතීහි” එළඹුණු සිහි ඇත්තවුන් සමග ද “පඤ්ඤාවන්තො” මහා ප්‍රඥාවෙන් වජ්‍ර පර්වතයක් බඳු ඤාණයෙන් යුක්ත වූවෝ “පඤ්ඤාවන්තෙහි” ප්‍රඥා ඇත්තවුන් සමගද ඉතා දුර සිටියත් ඒ ප්‍රඥා සම්පත්තියෙන් “සංසන්දනති. සමෙන්ති” සැසඳෙති. එකට එක්වෙති.
සත්වන සූත්‍රයයි.
8-12. අස්සද්ධමූලකතිකපඤ්චක ආදි සූත්‍ර වර්ණනා
අටවන සූත්‍රයේ සිට - ඒ අශ්‍රද්ධාවන්ත ධර්මයන් තුනේ කොටස් ලෙස බෙදා දක්වන ලදී. එහි අටවන සූත්‍රයේ අශ්‍රද්ධා දී මූලික වූ සිත් ඇත්තෝ කලු පක්ෂය, සුදු පක්‍ෂය වශයෙන් තුන් කොටස් පහක් (පංච ත්‍රිකයක්) දේශනා කර ඇත. නවවන සූත්‍රයේ පවට ලැජ්ජා නොවනෝ මුලින් කොටස් සතරකටත්, දසවන සූත්‍රයේ දී පවට බිය ඇත්තෝ මූලිකව තුනේ කොටස් තුනකට බෙදා දක්වන ලදී. එකළොස්වන සූත්‍රයේ අල්පශ්‍රැතයෝ තුනේ කොටස් දෙකකි. දොළොස්වන සූත්‍රයේ කුසීත කම්මැලි බව මූලික කරගත්තෝ එක් ත්‍රිකයකි. මෙසේ සූත්‍ර පසෙහි ම තුනේ කොටස් (ත්‍රික) පහළොවකි. ඇතැම්හු “පසළොස් ත්‍රික සූත්‍ර” යැයි මෙය නම් කරති. මෙය තික පෙය්‍යාල නම් වේ.
දෙවැනි වර්ගයයි.
3. කම්මපථ වර්ගය
1-2. අසමාහිත ආදි සූත්‍ර වර්ණනා
ඉන් අනතුරුව එන පළමු සූත්‍රයේ - අශ්‍රද්ධාව ආදී කරුණු පංචක වශයෙන් කියන ලදී. දෙවන සූත්‍රයේ ද එසේමය. පළමු උපචාර අර්පණාදී සමාධි රහිත වූ අසමාහිත පද සතරකි. දෙවැනි සූත්‍රයේ දුස්සීල පදය ද යෙදේ. මෙම සූත්‍ර අවබෝධ කරගන්නා වූ පුද්ගලයන්ගේ අදහස් වශයෙන් මෙලෙස සූත්‍ර දෙකක් දේශනා කරන ලදී. මෙහි “අසමාහිත” යනු උපචාර අර්පණාදී සමධියෙන් තොර වූ යනුයි. “දුස්සීලා” යනු සිල්නැති බවයි.
3-4. පඤ්චසික්ඛාපද ආදි සූත්‍ර වර්ණනා
තෙවන සූත්‍රය - පස් කර්මපථ වශයෙන් අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් දේශනා කරන ලදී. සතරවන සූත්‍රය සත් කර්මපථ වශයෙන් දේශිතය. පස්වන සූත්‍රය දශ කර්මපථ වශයෙන් දෙසන ලදී. එහි තෙවැනි සූත්‍රයේ “සුරාමේරය මජ්ජපමාදට්ඨායිනො” යනු “රහමෙර” නම් වූ මදයට ප්‍රමාදයට හේතු වූ මත්වීමේ සිතෙන් පානය කරති. එය මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙර යැ”යි කියනු ලැබේ. එහි යෙදුනෝ “රහමෙර පානය කරනෝ” නම් වෙති. අමුතු පදයකට ඇත්තේ මෙම පදය පමණි. සෙසු පදයන්හි අර්ථ ඉතා ප්‍රකටය.
5. දසකම්මපථ සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ-“ප්‍රාණය වේගයෙන් හෙළයි” යනු “පාණාතිපාතිනො” නම් වේ. “පරපණ නසයි” යන අර්ථයයි. “නුදුන්දේ ගනියි” යනු “අදින්නා දායිනො” නම් වේ. “අනුන්ගේ දේ ගනියි” යන අර්ථයයි. වස්තු කාමයෙහිත් ක්ලේශ කාමයෙහිත් වැරදි හැසිරීම් ඇත්තේ “කාමෙසු මිචඡාචාරිනො” නම් වේ. බොරු කියයි. රවටයි යනු “මුසාවාදිනො” නමි. අන්‍යයන්ගේ යහපත නසන, හිස්-බොරු, පදනමක් නැති වදන් පවසයි. යන අර්ථයයි. කේලාම් කියයි යනු “පිසුණාවාචා” නමි. “මොවුහු මර්මස්ථාන සිඳ දමන ඵරුෂ වදන් ඇත්තෝය” යනු “ඵරුසා වාචා” නමි. ප්‍රලාප, නිරර්ථක වචන කථා කරන්නෝ “සම්ඵප්පලාපිනො”. දැඩිසේ ලෝභ කරන්නෝ “අභිජ්ඣාලුනො” නම් වේ. “අන්‍යන්ගේ සම්පත් පිළිබඳව එල්බෙන ස්වභාව ඇති” යනු “බ්‍යාපත්ත චිත්තා” නමි. “වැරදි පවිටු නුවණැත්තන් විසින් ගැරහු දෘෂ්ටියක් මොවුන්ට ඇත යනු “මිච්ඡාදිට්ඨිකා” නම් වේ. කර්මපථ ඇතුලත් දානයේ විපාක නැත ආදී වශයෙන් දැක්වූ වැරදි දේ ඇතුලත් නිවණට අයත් නොවන දෘෂ්ටියෙන් යුක්ත වූ” යන අර්ථයයි. යහපත් වූ ශෝභන වූ නැණවතුන් විසින් පසසන ලද මොවුන්ගේ දෘෂ්ටිය යනු “සම්මාදිට්ඨිකා” නම් වේ. කර්මපථයට ඇතුලත් වූ “දානයේ විපාක ඇත” යනාදී කර්මය පිළිබඳව දැක් වූ දැක්මක් සහිත. “නිවැරදි වූ මාර්ග දෘෂ්ටියෙන් යුක්ත වූ” යන අර්ථයයි. මෙය වනාහී පෙර නො පැවසූ පදයන්ගේ වර්ණනාවක් පමණි.