2. සනිදාන සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ “සනිදානං” යනු භාව නපුංසක ලිංග වචනයකි. සනිදාන යනු “ප්‍රත්‍ය සහිත වී උපදියි” යන අර්ථයි. “කාමධාතුං භික්ඛවේ! පටිච්ච” යන මෙහි කාම විතර්කය ද කාමාවචර ධර්මද විශේෂයෙන් සියලු කුසල් ද ‘කාමධාතු’ නම් වේ. එනිසා මෙසේ කියන ලදී.
“එහි කාම ධාතුව නම් කවරේද? කාම ප්‍රතිසංයුක්ත වූ තර්කයක්, විතරකයක්, සංකල්පයක්, අර්පණයක්, බලවත් අර්පණයක්, අරමුණෙහි සිත පිහිටුවීමක්, මිථ්‍යා සංකල්පයක් වේද එය කාමධාතුව නම් වේ. යටින් අවීචි නිරයේ පටන් මත්තෙහි පරනිම්මිතයක් වේද එය කාමධාතුව නම් වේ. යටින් අවීචි නිරයේ පටන් මත්තෙහි පරනිම්මිත වසවර්තී දෙවියන් සහිත වූ මේ අතර ලෝකයන්හි බැසගෙන සිටින, මේ අතරට ඇතුලත් වන යම් ස්කන්ධධාතු, ආයතනයක් වේද; රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයක් වේද මේ සියල්ල කාමධාතුව නම් වේ. සියලු අකුසල ධර්මයෝද කාමධාතු නම් වෙති.”
මෙහි සර්වසංග්‍රාහිකය හා අසම්භින්න යැයි කථා දෙකක් වේ. මෙය සර්වසංග්‍රාහිකය යි.” ඒ තුන අතුරින් ව්‍යාපාද -විහිංසා ධාතු දෙක වෙන වෙන ම පැමිණි බැවින් ඉතිරි ධර්ම “කාම ධාතු” යැයි ගැනීම අසම්භින්න කථාවයි. මේ අසම්භින්න කථාව ම මෙම සූත්‍රයේ දී අදහස් කරන ලදී. මේ කාමධාතුව අරමුණු වශයෙන් හෝ සම්ප්‍රයෝග වශයෙන් හෝ හේතුවීමෙන් කාම සංඥාව උපදියි. “කාම පටිචච” යනු කාම සංඥාව වනාහී සම්ප්‍රයෝගයෙන් හෝ උපනිශ්‍රය වශයෙන් හේතු වීමෙන් කාම සංකල්පය උපදියි. මේ ක්‍රමයෙන් සෑම පදයක ම අර්ථ දත යුතුයි.
“තීහිඨානෙහි” යනු ත්‍රිවිධ කාරණයෙන්. “මිච්ඡා පටිපජ්ජති” යනු වැරදි වූම ප්‍රතිපදාවක්, නිවනට අයත් නොවන පිළිවෙතක් පිළිපදියි.
“බ්‍යාපාද ධාතුං භිකඛවෙ” යන මෙහි ව්‍යාපාද විතර්කය ද ව්‍යාපාදය ද “ව්‍යාපාද ධාතු” නම් වේ. එනිසා මෙය කියන ලදී.
“එහි ව්‍යාපාද ධාතුව නම් කුමක්ද? ව්‍යාපාද ප්‍රතිසංයුක්ත වූ තර්කය, විතර්කය -පෙ- යන මෙය ව්‍යාපාද ධාතුවයි. දශවිධ ආඝාත (ක්‍රෝධ) වස්තුවෙහි හෝ චිත්තයෙහි ක්‍රෝධයක්, ප්‍රතිඝාතයක්, ප්‍රතිඝයක්, ප්‍රතිවිරෝධයක්, කෝපයක්, ප්‍රකෝපයක් -පෙ- නොසතුටු වූ බවෙක් වේද එය ව්‍යාපාද ධාතු නම් වේ.”
මේ ව්‍යාපාද ධාතුව, සහජාත ප්‍රත්‍යාදි වශයෙන් හේතු වී “ව්‍යපාද සංඥාව” උපදියි. ඉතිරි පදයන්ගේ අර්ථ මුලින් පැවසූ ලෙස දතයුතුයි.
“විහිංසාධාතු භික්ඛවෙ” යන මෙහි විහිංසා විතර්කය ද විහිංසාව ද “විහිංසා ධාතු” නම් වේ. එනිසා කියන ලදී.
“එහි විහිංසා ධාතුව නම් කුමක්ද? විහිංසාවෙන් යුක්ත වූ තර්කය, විතර්කය -පෙ- මෙය විහිංසා ධාතුව යැයි කියනු ලැබේ. මෙහි කෙනෙක් අතින් හෝ ගලකින් හෝ දණ්ඩකින් හෝ සැතකින් හෝ රැහැනකින් හෝ වෙනත් කිසිවකින් සතුන් නසයිද වෙහෙස කරයි ද, මෙබඳු වූ හිංසාව, රිදවීම, හිංසනය, විහිංසාව, රොස් පරොස් කීම, අනුන් නැසීම යන මේවා විහිංසා ධාතු නම් වේ.”
මේ විහිංසා ධාතුව සහජාත ප්‍රත්‍ය වශයෙන් හේතු වී විහිංසා සංඥාව උපදියි. මෙහි ද ඉතිරි පද පෙර පරිදිම දතයුතුයි.
“තිණදායෙ” යනු තණවලින් ගහණ වූ කැළයේ ය. “අනයඛ්‍යසනං” යනු නොවැඩීමයි. විනාශයයි. “එවමෙවඛො” යන මෙහි වියලි තණ ආදිය මෙන් අරමුණ දැකිය යුතුයි. තණ සුල මෙන් අකුසල සංඥාව දතයුතුයි. තණපඳුරු ආශ්‍රිත ප්‍රාණීහු මෙන් මේ සත්ත්වයෝ දතයුතුයි. යම් සේ වියළි තණ ආදියේ තබන ලද තණහුලින් නැගි ගින්න වහා වෑයම් කර නොමනිවූයේ නම් ඒ ප්‍රාණීහු දැඩි ව්‍යසනයට පත්වෙති. මෙලෙසින්ම යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් උපන් අකුසල් සංඥාව විශ්කම්භන, තදංග ප්‍රහාණ හා සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් අත් නොහරිනුයේ මහත් වූ දුකට පත්වෙයි.