7. පරියෙසනානානත්ත සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “රූපධාතු” යනු ඉදිරියේ සිටි තමාගේ හෝ අනුන්ගේ සලුවලින් වෙලීම් ආදී වස්තුක වූ රූපාරම්මණය. “රූප සඤ්ඤා” යනු චක්ෂු විඤ්ඤාණය සම්ප්‍රයුක්ත වූ (එක්ව යෙදුණු) සංඥාව. “රූප සංකප්පො” යනු පිළිගැනීම් ආදී ත්‍රිවිධ සම්ප්‍රයුක්ත සංකල්පයෝය. “රූපඡන්දො” යනු රූපයෙහි කැමැත්ත කරන ලද අර්ථයෙන් ඡන්දයයි. “රූප පරිළාහො” යනු රූපයේ දැවීම් තැවීම් අරුතින් පිරිතැවීමයි. “රූප පරියෙසනා” යනු පිරිතැවීමක් (දාහයක්) උපන් කල්හි ඉදිරියේ සම්මුඛ වූ දෙය රැගෙන රූපයේ ලැබීම පිණිස කරන පරීක්ෂණයයි. මෙහිද - සංඥා, සංකප්ප, ඡන්දාදිය එක් ජවන් වාරයකද නානාවිධ ජවන් වාරයන්හි ද ලැබෙත්. පිරිතැවීම් පර්යේෂණය (සෙවීම) වනාහී නානාවිධ ජවන් වාරයන්හිම ලැබෙත්. “එවං ඛො භිකඛවේ! ධාතුනානත්තං” - මෙහිද “මෙසේ රූපාදී නානා ස්වභාව ඇති ධාතූන් නිසා රූප සංඥාදී නොයෙක් ස්වභාව ඇති සංඥාවෝ උපදියි.” මේ ක්‍රමයෙන් අර්ථ දැකිය යුතුයි.
සත්වන සූත්‍රයයි.
8. නො පරියෙසනානානත්ත සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ “නො ධම්ම පරියෙසනං පටිච්ච උප්පජ්ජති ධම්ම පරිළාහො” යනු මෙසේ පැමිණි නානාවිධ වූ ප්‍රතිෂ්ප කිරීම් පමණක්ම ය.
අටවන සූත්‍රයයි.
9. ලාභනානත්ත සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “උප්පජ්ජති රූපසඤ්ඤා” යනු කියන ලද ක්‍රමයෙන් අරමුණෙහි සංඥාව උපදියි යනුයි. “රූප සංකප්පො” යනු ඒ අරමුණෙහි ත්‍රිවිධවිධ චිත්තයන් සමග එක්ව යෙදුණා වූ සංකල්පනාවයි. “රූප සම්ඵස්සො” යනු ඒ අරමුණ ම ස්පර්ශ කරන ඵස්සයයි. “වේදනා” යනු ඒ අරමුණම විඳින වේදනාව යි. ඡන්දාදියෙහි කියන ලද ක්‍රමයමයි. “රුපලාභො” යනු පර්යේෂණය කර ලැබූ තණ්හා සහිත අරමුණ “රූප ලාභය” යැයි කියන ලදී. මෙය වනාහී සියලු සංග්‍රහ කිරීම් නය වශයෙන් එකම අරමුණක සියලු ධර්මයන්ගේ ඉපදීම් වශයෙන් කියන ලදී. අනික් ආගන්තුක ආරම්මණ මිශ්‍ර වූයේ වේ. රූප සංඥාව, රූප සංකල්පය, ස්පර්ශය, වේදනාව යන මේ සතර ධර්ම ස්ථිර පරිභෝගයෙහි නිබද්ධාරම්මණයෙහි පවතියි. නිබද්ධාරම්මණය වනාහී කිසියම් වූ මනෝඥ, සිත අලවන, ප්‍රියමනාප වූ දෙයක් මෙන් එළඹ සිටියි. ආගන්තුක අරමුණ වනාහී යම්කිසි සමාන වූවක් ඇත්තේද එය කළඹා සිටියි. එහි මේ නිදසුන් කථාවයි.
එක්තරා ඇමති පුතෙක් ගැමියන් විසින් පිරිවරාගෙන ගම මැද සිට වැඩකටයුතු සිදුකරයි. එසමයේ උවැසියක් ගගට ගොස් නා, අලංකාරව සැරසී කිරිමවු සමූහයා විසින් පිරිවරාගත්තේ තම ගෙදරට යමින් සිටියාය. ඈ දුරදීම එනුදුටු ඇමති පුතා, “මැය” ආගන්තුක ස්ත්‍රියක් වන්නීය”යි සිතා “කොල! යව. මැය කවුදැයි දැනගෙන එව!”යි පුරුෂයකු යැවීය. ඒ පුරුෂයා ඈ වෙත ගොස් පසුපස යමින් පරිවාර ස්ත්‍රීන් මගින් “ඇය කොහේ ද?” යි අසා දැනගෙන තත්වූ පරිදි සියලු තොරතුරු ඇමති පුතුට දැන්වූයේය. මෙලෙසින්ම ආගන්තුක අරමුණ සිතේ කැළඹීම් ඇතිකරයි. එහි උපන් ඡන්දය “රූපඡන්ද” නම් වේ. එයම අරමුණු කර උපන් දාහය පිරිතැවීම “රූප පරිළාහ” නම් වේ. එව ගොස් එය සෙවීම “රූපපරියෙසනා” නම් වේ. පර්යේෂණය කර ලබන ලද තණ්හා සහිත අරමුණ “රූපලාභ” නම් වේ.
උරුවෙලාවාසී චූළතිස්ස තෙරුන්වහන්සේ මෙසේ පවසයි. ත්‍රිපිටක පාළියෙහි ස්පර්ශ වේදනාවෝ, මධ්‍යයෙහි ගන්නා නමුත්, පාළියෙහි පිරිවහා කියන ලද පරිදි අරමුණේ උපදින සංඥාව රූප සංඥාවයි. එහිම උපදින සංකල්පය රූප සංකල්පයයි. එහි උපදින ඡන්දය රූප ඡන්දයයි. එහි ඇතිවන දාහය, “රූප පරිළාහ” යයි. එහි සෙවීම “රූප පර්යේෂණය”යි. සෙවීමෙන් ලබන තණ්හා සහිත අරමුණ “රූපලාභය”යැයි. මෙසේ ලබන ලද අරමුණෙහි ගැටීම ස්පර්ශයයි. විදීම වේදනාවයි. රූප ස්පර්ශය හා රූප ස්පර්ශයෙන් හටගත් වේදනාව යැයි යනුවෙන් මෙසේ දෙකක් ලැබේ” යනුවෙනි.
අන්‍යයෝ “අවිභූත වාරය” යැයි ගනිති. - අරමුණ තිරවලින් වටකරන ලද්දේ, තණපත් ආදියෙන් වසන ලද්දේ වේ. ඉන් අඩක් දකින ලද්දේ, “මම අරමුණු මැනවින් දකින්නෙමි”යි බලනුයේ, ඒ අරමුණෙහි උපන් සංඥාව “රූප සංඥා” නම් වේ. එහිම උපන් සංකල්පදිය “රූප සංකප්ප” නම් වේ යැයි දතයුතුයි. මෙපමණකින් ද සංඥා, සංකප්ප, ස්පර්ශ, වේදනා, ඡන්දාදිය එක් ජවන් වාරයක ද නානාවිධ ජවන් වාරයන්හි ද ලැබේ. පිරිතැවීම්, පර්යේෂණ ලාභයන් නානාවිධ ජවන් වාරයෙහි ම වේ.
10. නොලාභනානත්ත සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ අර්ථ ඉතා ප්‍රකටය.
පළමුවන නානත්ත වග්ගයයි.
2. සත්තධාතු වර්ගය
1. සත්තධාතු සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයේ පළමු සූත්‍රයේ “ආභාධාතු” යනු ආලෝක ධාතුවයි. ආලෝකයෙහි ද ආලෝක කසිණයේ පරිකර්ම කොට උපන් ධ්‍යානයාගේ ප්‍රීතිය, අරමුණ සහිත ධ්‍යානයට මේ නම යෙදේ. “සුභා ධාතු” යනු සුභ කසිණයේ උපන් ධ්‍යාන වශයෙනි. අරමුණු සහිත ධ්‍යානයමයි. ආකාසානඤ්චායතනය ම “ආකාසානඤ්චායත ධාතු” නම් වේ. සංඥා වේදයිත නිරෝධයම “සඤ්ඤා වෙදයිත නිරෝධ ධාතු” නම් වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගැලපීමෙහි දක්‍ෂ වූ භික්ෂුව, එහි හිඳ ප්‍රශ්න විචාරනු කැමැත්තාට අවසර දෙන සේක් දේශනාව නැවැත්වූ සේක.