10. නොලාභනානත්ත සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ අර්ථ ඉතා ප්‍රකටය.
පළමුවන නානත්ත වග්ගයයි.
2. සත්තධාතු වර්ගය
1. සත්තධාතු සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයේ පළමු සූත්‍රයේ “ආභාධාතු” යනු ආලෝක ධාතුවයි. ආලෝකයෙහි ද ආලෝක කසිණයේ පරිකර්ම කොට උපන් ධ්‍යානයාගේ ප්‍රීතිය, අරමුණ සහිත ධ්‍යානයට මේ නම යෙදේ. “සුභා ධාතු” යනු සුභ කසිණයේ උපන් ධ්‍යාන වශයෙනි. අරමුණු සහිත ධ්‍යානයමයි. ආකාසානඤ්චායතනය ම “ආකාසානඤ්චායත ධාතු” නම් වේ. සංඥා වේදයිත නිරෝධයම “සඤ්ඤා වෙදයිත නිරෝධ ධාතු” නම් වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගැලපීමෙහි දක්‍ෂ වූ භික්ෂුව, එහි හිඳ ප්‍රශ්න විචාරනු කැමැත්තාට අවසර දෙන සේක් දේශනාව නැවැත්වූ සේක.
“අන්ධකාරං පටිච්ච” යනු අන්ධකාරයමයි. ආලෝකයෙන් වැසුණු, ආලෝකය ද අන්ධකාරය නිසා ඇතිවේ. අන්ධකාරයෙන්ම ආලෝකය ප්‍රකට වේ. එනිසා “අඳුර නිසා ප්‍රකට වේ. පැහැදිළි වේ”යැයි කියන ලදී. “අසුභං පටිච්ච” යන මෙහිද මේ ක්‍රමයම යෙදේ. අසුභය සුභයෙන් ද සුභය අසුභයෙන් ද වැසුණේ වේ. අසුභය ඇති කල්හි සුභය ප්‍රකට වේ. එනිසා මෙසේ දෙසූහ. “රූපං පටිච්ච” යනු රූපාවචර සමාපත්තිය නිසාය. රූපාවචර සමාපත්තිය ඇති කල්හි. එය ආකාසානඤ්චායතන සමාපත්ති නම් වේ. රූපය ඉක්මවීම හෝ සිදුවේ. එනිසා මෙසේ වදාළහ. “විඤ්ඤාණධාතු” ආදියෙහි ද මේ ක්‍රමයයි. “නිරොධං පටිචච” යනු සතර ස්කන්ධයන්ගේ නැවත සැකසීමක් සිදුනොවන හෙයින්. ස්කන්ධ නිරෝධය නිසා “නිරෝධ සමාපත්තිය” ප්‍රකට වේ. ස්කන්ධයාගේ පැවතීමෙන් එය ප්‍රකට නොවේ. එනිසා මෙසේ වදාළහ. මෙහි ද සිවු ස්කන්ධයන්ගේ නිරෝධයම “නිරෝධ සමාපත්තිය” වේයැයි දතයුතුයි.
“කථං සමාපත්ති පත්තබ්බා” යනු කවරාකාර සමාපත්තියකට, කවර සමවතකට පැමිණිය යුතු ද? “සඤ්ඤා සමාපත්ති පත්තබබා” යනු සංඥාව ඇති බැවින් “සංඥා සමාපත්තිය” නම් වී පැමිණිය යුතුයි. “සංඛාරාවසෙසා සමාපත්ති පත්තබබා” යනු සූක්‍ෂම සංස්කාරයන් ඉතිරිවන බැවින් සංඛාරාවශේෂ සමාපත්ති නම් වී පැමිණිය යුතුයි. “නිරෝධ සමාපත්ති පත්තබ්බා” යනු “නිරෝධයම නිරෝධ සමාපත්තියයි. නිරෝධ සමාපත්ති නම් වී පැමිණිය යුතුයි” යන අර්ථයි.
පළමුවැනි සූත්‍රයයි.
2. සනිදාන සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ “සනිදානං” යනු භාව නපුංසක ලිංග වචනයකි. සනිදාන යනු “ප්‍රත්‍ය සහිත වී උපදියි” යන අර්ථයි. “කාමධාතුං භික්ඛවේ! පටිච්ච” යන මෙහි කාම විතර්කය ද කාමාවචර ධර්මද විශේෂයෙන් සියලු කුසල් ද ‘කාමධාතු’ නම් වේ. එනිසා මෙසේ කියන ලදී.
“එහි කාම ධාතුව නම් කවරේද? කාම ප්‍රතිසංයුක්ත වූ තර්කයක්, විතරකයක්, සංකල්පයක්, අර්පණයක්, බලවත් අර්පණයක්, අරමුණෙහි සිත පිහිටුවීමක්, මිථ්‍යා සංකල්පයක් වේද එය කාමධාතුව නම් වේ. යටින් අවීචි නිරයේ පටන් මත්තෙහි පරනිම්මිතයක් වේද එය කාමධාතුව නම් වේ. යටින් අවීචි නිරයේ පටන් මත්තෙහි පරනිම්මිත වසවර්තී දෙවියන් සහිත වූ මේ අතර ලෝකයන්හි බැසගෙන සිටින, මේ අතරට ඇතුලත් වන යම් ස්කන්ධධාතු, ආයතනයක් වේද; රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයක් වේද මේ සියල්ල කාමධාතුව නම් වේ. සියලු අකුසල ධර්මයෝද කාමධාතු නම් වෙති.”