1. ධාතුනානත්ත සූත්ර වර්ණනාව
ධාතු සංයුත්තයේ පළමු සූත්රයේ - අනාත්ම (නිස්සත්ත) ශුන්ය (සුඤ්ඤත) යන අර්ථ සංඛ්යාත වූ “ස්වභාවයෙන් පවතින” යන අරුතින් “ධාතු” නම් වූ ධර්මයන්ගේ නානාවිධ වූ ස්වභාවය “ධාතුනානත්තං” යනු වේ. චක්ෂු ප්රසාදය “චක්ඛුධාතු” නම් වේ. රූපාරම්මණය “රූපධාතු” නම් වේ. චක්ෂුප්රසාද වස්තුවෙහි පහළ වූ සිත “චක්ඛු විඤ්ඤාණධාතු” නම් වේ. ශ්රෝත ප්රසාදය “සෝතධාතු” නම් වේ. ශබ්දාරම්මණය “සද්දධාතු” වයි. ශ්රෝත ප්රසාද වස්තුව පිළිබඳ වූ සිත “සොතවිඤ්ඤාණ ධාතු” නම් වේ. අඝ්රාණ ප්රසාදය “ඝානධාතු”වයි. ගන්ධාරම්මණය “ගන්ධධාතු” නම් වේ. ආඝ්රාණ වස්තුක වූ සිත “ඝාන විඤ්ඤාණ ධාතු” නම් වේ. ජිව්හා ප්රසාදය “ජිව්හා ධාතු” නම් වේ. රස ආරම්මණය “රස ධාතු” නම් වේ. ජිව්හා ප්රසාද වස්තුක වූ සිත “ජිව්හා විඤ්ඤාණ ධාතු” නම් වේ. කාය ප්රසාදය “කායධාතු”වයි. ඵස්සාරම්මණය “පොට්ඨබ්බ ධාතු” නම් වේ. කාය ප්රසාද වස්තුක වූ සිත “කාය විඤ්ඤාණ ධාතු” නම් වේ. ත්රිවිධ මනෝධාතුහු “මනොධාතු” නම් වේ. වේදනා දී ත්රිවිධ ස්කන්ධයෝ, සූක්ෂම රූප ද නිවණ ද “ධම්මධාතු” නම් වේ. සියලුම මනෝවිඤ්ඤාණය “මනෝ විඤ්ඤාණ ධාතු” නම් වේ. මෙහිද මුල් සොළොස් ධාතූහු කාමාවචරය. අවසන් ධාතු දෙක චතුභූමිකය. (හෙවත් කාම, රූප, අරූප හා ලෝකෝත්තර භූමීන්හිම යෙදේ.)
පළමු සූත්රයයි.
2. ඵස්සනානත්ත සූත්ර වර්ණනාව
දෙවැනි සූත්රයේ “උප්පජ්ජති ඵස්සනානත්තං” යනු නානා ස්වභාව වූ ස්පර්ශය උපදියි යනුයි. එහි චක්ෂු ස්පර්ශාදිය, චක්ෂු විඤ්ඤාණාදිය සමග එක්ව යෙදේ. (සම්ප්රයුක්තය) මනෝ ස්පර්ශය මනෝද්වාරයේ පළමු ජවන් සිත සමග එක්ව යෙදේ. එනිසා “මනොධාතුං පටිච්ච” යනුවෙන් මනෝද්වාරා වජ්ජනය, කිරිය මනෝ විඤ්ඤාණ ධාතුව නිසා ඇතිවේ යනුයි. පළමු ජවන් සිත්තේ ස්පර්ශය, එකට ගැටී උපදියි” යනු මෙහි අර්ථයයි.
දෙවැනි සූත්රයයි.
3. නො ඵස්සනානත්ත සූත්ර වර්ණනාව
තෙවැනි සූත්රයේ “නො මනො සම්ඵස්සං පටිච්ච උප්පජ්ජති මනොධාතු” යනු මනෝද්වාරයේ පළමු ජවන් සිත හා එකට යෙදීමෙන් ආවර්ජන කිරිය මනෝ විඤ්ඤාණ ධාතුව නූපදින්නේය” යනුවෙන් අර්ථ දතයුතුයි.
තෙවැනි සූත්රයයි.
4. වේදනා සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ “චක්ඛුසම්ඵස්සජා වේදනා” යනු පිළිගන්නා වූ මනෝධාතුවේ සිට එම ද්වාරයේ හටගන්නා සියලුම වේදනාවෝ පවතිනෝය. නිෂ්පත්ති පහසුව සඳහා අනන්තර වූ මනාව පිළිගන්නා (සම්පටිච්ඡන) වේදනාවම ගැනීමට සුදුසු යැයි කියන ලදී. “මනෝ සම්ඵස්සං පටිච්ච” යනු මනෝද්වාරයෙහි ආවර්ජන ස්පර්ශය නිසා පළමු ජවන වේදනාව ද පළමු ජවන ස්පර්ශය නිසා දෙවන ජවන වේදනාවද ඇතිවේ” යන අදහසයි.
සිවුවන සූත්රයයි.
5. නොවෙදනා සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ - තෙවන, සිවුවන සූත්රවල කියන ලද ක්රමයෙන් එක්කර දෙසන ලදී. මෙසේ දෙවැනි සූත්රයේ එන සූත්ර සතරෙහි මනෝ ධාතුව, “මනෝධාතු” ලෙස නො ගෙන මනෝ ද්වාරා වජ්ජනය ම “මනෝ ධාතුව” යැයි ගන්නා ලදී. මේ සියලුම සූත්ර දේශනා ඒ ඒ අයුරින් දේශනා කරනවිට, අවබෝධ කරගන්නවුන්ගේ වශයෙන් දෙසන ලදී. මෙහි සෙසු පදයන්ගේ අර්ථ ද මේ ක්රමයෙන් දතයුතුයි.
පස්වන සූත්රයයි.
6. බාහිරධාතුනානත්ත සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ - මෙහි විස්තර වන මුල් ධාතු පස කාමාවචර වේ. සයවන “ධර්ම ධාතුව” සිවු භූමික වේ.
සයවන සූත්රයයි.
7. පරියෙසනානානත්ත සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ “රූපධාතු” යනු ඉදිරියේ සිටි තමාගේ හෝ අනුන්ගේ සලුවලින් වෙලීම් ආදී වස්තුක වූ රූපාරම්මණය. “රූප සඤ්ඤා” යනු චක්ෂු විඤ්ඤාණය සම්ප්රයුක්ත වූ (එක්ව යෙදුණු) සංඥාව. “රූප සංකප්පො” යනු පිළිගැනීම් ආදී ත්රිවිධ සම්ප්රයුක්ත සංකල්පයෝය. “රූපඡන්දො” යනු රූපයෙහි කැමැත්ත කරන ලද අර්ථයෙන් ඡන්දයයි. “රූප පරිළාහො” යනු රූපයේ දැවීම් තැවීම් අරුතින් පිරිතැවීමයි. “රූප පරියෙසනා” යනු පිරිතැවීමක් (දාහයක්) උපන් කල්හි ඉදිරියේ සම්මුඛ වූ දෙය රැගෙන රූපයේ ලැබීම පිණිස කරන පරීක්ෂණයයි. මෙහිද - සංඥා, සංකප්ප, ඡන්දාදිය එක් ජවන් වාරයකද නානාවිධ ජවන් වාරයන්හි ද ලැබෙත්. පිරිතැවීම් පර්යේෂණය (සෙවීම) වනාහී නානාවිධ ජවන් වාරයන්හිම ලැබෙත්. “එවං ඛො භිකඛවේ! ධාතුනානත්තං” - මෙහිද “මෙසේ රූපාදී නානා ස්වභාව ඇති ධාතූන් නිසා රූප සංඥාදී නොයෙක් ස්වභාව ඇති සංඥාවෝ උපදියි.” මේ ක්රමයෙන් අර්ථ දැකිය යුතුයි.
සත්වන සූත්රයයි.
8. නො පරියෙසනානානත්ත සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ “නො ධම්ම පරියෙසනං පටිච්ච උප්පජ්ජති ධම්ම පරිළාහො” යනු මෙසේ පැමිණි නානාවිධ වූ ප්රතිෂ්ප කිරීම් පමණක්ම ය.
අටවන සූත්රයයි.
9. ලාභනානත්ත සූත්ර වර්ණනාව
නවවන සූත්රයේ - “උප්පජ්ජති රූපසඤ්ඤා” යනු කියන ලද ක්රමයෙන් අරමුණෙහි සංඥාව උපදියි යනුයි. “රූප සංකප්පො” යනු ඒ අරමුණෙහි ත්රිවිධවිධ චිත්තයන් සමග එක්ව යෙදුණා වූ සංකල්පනාවයි. “රූප සම්ඵස්සො” යනු ඒ අරමුණ ම ස්පර්ශ කරන ඵස්සයයි. “වේදනා” යනු ඒ අරමුණම විඳින වේදනාව යි. ඡන්දාදියෙහි කියන ලද ක්රමයමයි. “රුපලාභො” යනු පර්යේෂණය කර ලැබූ තණ්හා සහිත අරමුණ “රූප ලාභය” යැයි කියන ලදී. මෙය වනාහී සියලු සංග්රහ කිරීම් නය වශයෙන් එකම අරමුණක සියලු ධර්මයන්ගේ ඉපදීම් වශයෙන් කියන ලදී. අනික් ආගන්තුක ආරම්මණ මිශ්ර වූයේ වේ. රූප සංඥාව, රූප සංකල්පය, ස්පර්ශය, වේදනාව යන මේ සතර ධර්ම ස්ථිර පරිභෝගයෙහි නිබද්ධාරම්මණයෙහි පවතියි. නිබද්ධාරම්මණය වනාහී කිසියම් වූ මනෝඥ, සිත අලවන, ප්රියමනාප වූ දෙයක් මෙන් එළඹ සිටියි. ආගන්තුක අරමුණ වනාහී යම්කිසි සමාන වූවක් ඇත්තේද එය කළඹා සිටියි. එහි මේ නිදසුන් කථාවයි.