1-11. ජරාමරණ ආදි සූත්ර වර්ණනා
ශ්රමණ බ්රාහ්මණ වර්ගයේ - ජරාමරණාදියෙහි එක් එක් පදය වශයෙන් ගෙන වෙන වෙනම දක්වා එකළොස් සූත්රයක් දේශනා කරන ලදී. එහි අර්ථ ඉතා ප්රකටය.
අටවැනි ශ්රමණ බ්රාහ්මණ වර්ගය නිමාවට පත්විය.
9. අන්තරපෙය්යාලය
මෙයින් පසුව “සත්ථා පරියෙසිතබ්බො” යනු මේ ආදී වශයෙන් පැවති දොළොස්, “අන්තර පෙය්යාල වර්ගය” නම් වේ. ඒ සියලුම සූත්ර ඒ ඒ තැන්වලදී අවබෝධ කරගත්තා වූ හික්මවිය යුතු පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලදී. එහි “සත්ථා” යනු බුදුරජාණන් වහන්සේ හෝ ශ්රාවකයෙක් හෝ යමක් නිසා මාර්ග ඤාණයක් ලබයි නම් එතුමා “සත්ථා” හෙවත් “ශාස්තෘවරයා” නම් වේ. ඔහු පිළිබඳව සෙවිය යුතුයි. “සික්ඛාකරණියා” ත්රිවිධ ශික්ෂාවන් වැඩිය යුතුයි. යෝගාදියෙහි “යොගො” යනු ප්රයෝගයයි. යෙදීමයි. “ඡන්දො” යනු කරනු කැමති, කුසලට ඇති කැමැත්ත. “උස්සොළ්හී” යනු සියල්ල ඉවසන අධික මාත්ර වූ වීර්යයයි. “අප්පටිවානි” යනු නොනැවතීමයි. “ආතප්පං” යනු කෙලෙස් තවන වීර්යයයි. “විරියං” යනු වීර්යම වේ. “සාතච්චං” යනු නිතරම කරන ක්රියාවයි. “සති” යනු ජරාමරණාදී වශයෙන් චතුරාර්ය සත්ය මනාව පරිග්රහණය කරගත් සිහියයි. “සම්පජඤ්ඤං” යනු එවැනි වූම ඤාණයයි. “අප්පමාදො” යනු සත්ය භාවනා වශයෙන් අප්රමාදී වීමයි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
අන්තර පෙය්යාල වර්ගය නිමාවිය.
10. අභිසමය වර්ගය
1. නඛසිඛා සූත්ර වර්ණනාව
අභිසමය වර්ගයේ පළමු සූත්රයෙහි “නඛසිඛා යං” යනු මස් තිබෙන තැනින් නික්මුණු නිය අග. ලෞකික මිනිසුන්ගේ නිය අග මහත් ය. බුදුවරයන් වහන්සේලාගේ වනාහී රතු උපුල් පියුම් පෙත්තක කෙළවර මෙන් අතිශය සියුම්ය. කෙසේ නම් මෙහි පස් පිහිටා සිටියේද? අධිෂ්ඨාන බලයෙනි. භාග්යවතුන් වහන්සේ ධර්ම කාරණය මැනවින් අවබෝධ කරවනු සඳහා අධිෂ්ඨාන බලයෙන් ඒ පස් නිය අග පිහිටවූ සේක. “සතිමංකලං” යනු මහපොළොවේ පස් සිය කොටසකට බෙදා ඉන් එක කොටසකි. සෙසු පදයන්හිද මේ ක්රමය ම යෙදේ. “අභිසමෙතාවිතො” ප්රඥාවෙන් ආර්ය සත්යයන් අවබෝධ කරගෙන සිටි පුද්ගලයාය. “පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදිණ්ණං උපනිධාය” යනු මෙහිදීමය. බොහෝ වූ දුක ක්ෂය කරවන ලදී. මෙලෙස දුක්ඛස්කන්ධය හා සමාන කර බලා ප්රථමයෙන් කියන ලදී. ඤාණයෙන් එය, ඒ සමීපයේ තබා පිරික්සා බලමින් යන අර්ථයයි. මෙහි මුල් දුක නම් කුමක්ද? යමක් ක්ෂය කරන ලදද එය දුක නම් වේ. ක්ෂය කරන ලද්දේ කුමක්ද? යමක් පළමු මාර්ගය නොවැඩීමෙන් උපදින්නේ ද එයයි. පිහිටන්නේ කුමක්ද? යමක් සතක් වූ ආත්මභාවයන්හි ද අපාය අටවැනි වූ ප්රතිසන්ධිය මුල්කරගත් යම්තැනක උපදින්නේ නම්, ඒ සියලු ස්ථානවල ඉපදීම ක්ෂය කරන ලදැයි දතයුතුයි. “සත්තක්ඛත්තුං” යනු සත්වාරයක්. සත් භවයක් ඇතුලතදී. “පරමතා” යනු මෙය ඔහුගේ ප්රමාණයයි යනුවෙන් ප්රමාණය දක්වයි. “මහත්ථියො” යනු මහත් වූ අර්ථයක් නිපදවන්නෙකි.