“යෙනායස්මා ආනන්දො තෙනුපසංකමි” යන සුසීමට මෙසේ සිතුණි. “මා හට මේ ධර්මය ඉක්මණින් උගත හැකිවනුයේ කාගේ ලගට ගියහොත් ද?” මෙසේ විමසන ඔහුට “ශ්‍රමණ ගෞතමයෝ ගුරුවරයා වෙති. එතුමෝ තේජසින් බහුලය. නොවෙනස් ක්‍රියාවලියක (කාලසටහනක් අනුව) එතුමෝ ක්‍රියා කරති. නොකල්හි උන්වහන්සේ හමුවීමට නොහැක. වෙනත් බොහෝ ක්‍ෂත්‍රියාදීහු ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹෙති. එනිසා එම සමාගමයේදී සමීපයට යා නොහැක. ශ්‍රාවකයන් අතරින් සැරියුත් තෙරණුවෝ මහා ප්‍රඥාවන්තයෙකි. එතුමෝ විදර්ශනා ලක්‍ෂණ බෙදා දැක්වීම අග්‍රවෙති. සමාධි ලක්ෂණ බෙදා දැක්වීමෙහි අග්‍රස්ථානය මහමුගලන් තෙරණුවෝ ලබා ඇත. කාශ්‍යප තෙරණුවෝ ධුතාංගධාරීන්ගෙන් අග්‍ර වෙති. දිවැස් ඇත්තවුන් අතරින් අනුරුද්ධ තෙරණුවෝ අග්‍ර වෙති. පුණ්ණමන්තානි පුත්ත තෙරණුවෝ විසිතුරු ධර්ම කථා ඇත්තවුන් අතරින් අග්‍රවෙති. උපාලි තෙරණුවෝ විනයධාරීන් අතරින් අග තනතුරු ලබති. මේ ආනන්ද තෙරණුවන් වනාහී බහුශ්‍රැතය. ත්‍රිපිටකධාරීය. ශාස්තෘන් වහන්සේද ඒ ඒ තැන දෙසූ දහම් කරුණු එතුමන්ට නැවත දේශනා කරන සේක. උන්වහන්සේ අගතනතුරු පහක් ලැබූහ. අට වරයක් ලැබූහ. සතර ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන් යුක්තය. එනිසා ආනන්ද තෙරුන් ලඟට ගියහොත් වහා ධර්මය උගත හැකිවේ. එබැවින් උන්වහන්සේ වෙත එළඹෙමි”යි සිත්විය.
“යෙන භගවා තෙනුපසංකමි” යනු කුමක් නිසා තමන් ම ඔහු පැවිදි නොකර, තථාගතයන් වෙත පැමිණවූ සේක්ද? ආනන්ද හිමියන්ට මෙසේ සිතුණි. “මොහු අන්‍ය තීර්ථක පැවිද්දෙකි. මා මොහු පැවිදි කළහොත් ශාස්තෘන් වහන්සේ මම යැයි සිතා කටයුතු කරයි. පැවිදිවී සසුනට අලාභ කිරීමට ද පිළිවන. එමෙන් ම මම මොහුගේ අභ්‍යන්තරය නොදනිමි. ශාස්තෘන් වහන්සේ එය දනිති. එනිසා ඔහුත් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතම යන්නෙමි” යනුවෙන් සිතා බුදුරදුන් වෙත එළඹියහ.
“තෙනහානන්ද! සුසීමං පබ්බාජෙහි” යනු භාග්‍යවතුන් වහන්සේට මේ අදහස පහළ වූ සේක. “මේ පිරිවැජියා අන් සසුනකින් මෙහි පැමිණ පැවිදි වී “මම ශාස්තෘවරයාය”යි පිළිගෙන හැසිරේ. මේ සසුනේ ද මාර්ග බ්‍රහ්මචර්යාවෙහි හැසිරිමට කැමති යැයි කියයි. කිම මොහු මාහට ප්‍රසන්න වූයේක් ද? පැහැදුණු පුද්ගලයෙක් ද? නැතිනම් මගේ ශ්‍රාවකයන්ට පැහැදුණ පුද්ගලයෙක් ද? නැතිනම් මගේ හෝ ශ්‍රාවකයන්ගේ ධර්ම කථාවකට පැහැදුණු අයෙක් ද?” එවිට ඔහු එකම කාරණයකින් පැහැදි බව දැන “මොහු මගේ සසුනෙන් ධර්මය සොරා ගනිමි”යි පැවිදි වේ. මොහුගේ සසුනට පැමිණීමේ සිත අපිරිසිදුය. මොහුගේ හේතු සම්පත් කවරාකාරද?යි බලන සේක් - “ධර්මය සොරකම් කිරීමේ සිතින් පැවිදි වුවත්, කීපදිනක් උත්සාහ කර - රහත්ඵලය ලබාගත්තේය” යනුවෙනි. මෙනිසා “ආනන්දය! එසේනම් සුසීම පැවිදි කරන්න”යැයි වදාළ සේක.
“අඤ්ඤා බ්‍යාකතා හොති” යනු ඒ භික්ෂූහු තථාගතයන් සමීපයෙන් කමටහන් ගෙන, තෙමසක් වස් වැස - ඒ තෙමස තුලදීම උත්සාහ කර, වෑයම් කර රහත්ඵලය ලබාගත්හ. ඔවුහු මහා පවාරණයෙන් වස් පවාරණය කොට, “අපගේ ගුණමහිමයන් ශාස්තෘන් වහන්සේට දන්වන්නෙමි”යි සෙනසුන් හකුළුවා තබා හෝ ඒවා අත්හැර තථාගතයන් වෙත පැමිණ, තමන් වහන්සේලා ලැබූ අධිගමයන් - ගුණ මහිමයන් දැන්වූහ. එනිසා මෙය කියන ලදී. “අඤ්ඤා” යනු රහත් බවයි. “ඛ්‍යාකතා” යනු දන්වන ලදී. පවසන ලදී.
“අස්සොසි” යනු ඔහු අසනු කැමතිව යොමු කළ සවන් ඇතිවයි. ඒ ඒ භික්ෂූන් වැඩ වෙසෙන ස්ථානවලට යමින් උන්වහන්සේලා ලැබූ අධිගම පිළිබඳ විස්තර කථා ඇසීමට යයි.
“යෙන තෙ භික්ඛු තෙනුපසංකමි” යනු කුමක් නිසා එළඹියේ ද? උන්වහන්සේලා බුදුරදුන්ගේ සමීපයේ කළ කථාව ඇසූ ඔහුට “රහත් බව යනු මේ බුදුසසුනෙහි ඇති පරම සාර වූ ගුරු මුෂ්ටිය විය යුතුය. ඒ ගැන අසා දැනගතිමි” යන සිත ඇතිවිය. මෙනිසා උන්වහන්සේලා සමීපයට එළඹියේය.
“අනෙකවිහිතං” යනු නානාවිධ වූ යනුයි. “ඉද්ධිවිධං” යනු ඍද්ධි කොටස්ය. ඍද්ධිමය ප්‍රාතිහාර්ය පාන්නා වූ ආකාරයන්ය. “ආවිභාවං තිරොභාවං” යනු පෙනෙන ආකාරය දක්වා නොපෙනී යාමයි. නොපෙනී සිට පෙනෙමින් යාමයි. ආදිය සිදුකිරීමට හැකිද?”යි අසයි. “තිරොකුඩ්ඪං” යනු බිත්තිය හරහාය. “තිරෝපබ්බතං” යනාදියේත් පර්වත හරහා යැයි අර්ථදතයුතුයි. “උමුජ්ජ නිමුජ්ජං” යනු කිමිදීමත්-මතුවීමත්ය. “පල්ලංකෙනාති” යනුපලක්බැඳගෙනය. “කමථ” යනු “එසේ හිඳීමට හෝ යෑමට හැකිද?”යි ප්‍රශ්න කිරිමයි. “පක්ඛිසකුණො” යනු පියාපත් සහිත පක්ෂියාය. මේ දැක්වූයේ සංක්‍ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් දැනගනු කැමැත්තන් විසින් මේ ඍද්ධිවිධ හා සෙසු දිබ්බසෝතා දී ප්‍රාතිහාර්ය පිළිබඳව විශුද්ධි මාර්ගය බලා දතයුතුයි.