8-9. නාමරූප ආදි සූත්‍ර වර්ණනා
අටවන හා නවවන සූත්‍ර දෙකෙහි අර්ථ ඉතා ප්‍රකටය.
10. නිදාන පටිච්චසමුප්පාද සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ “කුරුසු විහරති” යනු “කුරු” යන මෙසේ බහුවචන වශයෙන් ලබන ලද ව්‍යවහාර ඇති ජනපදයේ වාසය කරයි. “කම්මාස්සදම්මං නාම කුරුනං නිගමො” යනු කම්මාසදම්ම නම් වූ කුරු දේශයේ නියම්ගමකි. “එය ගොදුරුගම කරගෙන” යන අර්ථයි. “ආයස්මා” යන මෙය ප්‍රිය වදනකි. ගරු වදනකි. “ආනන්දෝ” යනු ඒ ආනන්ද තෙරුන්ගේ නාමයයි. “එකමන්තං නිසීදි” යනු සයක් වූ හිඳීම්-හිඳගැනීම් දෝෂයන්ගෙන් තොරව, දකුණු දණමඩලට (බුදුරදුන්ගේ) අභිමුඛ වූ තැන්හි, සවණක් ඝන බුද්ධරශ්මීන්ගේ ඇතුලට පිවිස, ප්‍රසන්න වූ ලාක්ෂා රසයකට බැසගන්නාක් මෙන් ද රන්පැහැ වස්ත්‍රයක් පොරවා ගන්නාක් මෙන් ද රතු උපුල් වියනක් මැදට පිවිසෙන්නාක් මෙන් ද ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ හිඳගත්හ. එනිසා “එකත්පසෙක සිටියේය”යි කියන ලදී.
කුමන වේලාවක කවර කරුණකින් මේ තෙරුන් වහන්සේ, භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ වෙත එළඹි සේක්ද? සවස් වේලාවෙහි ප්‍රත්‍යයන්ගේ ආකාර දැක්වෙන ප්‍රශ්නයක් විමසීම සඳහායි. එදින අනඳ තෙරණුවෝ කුල සංග්‍රහය පිණිස, ගෙදරක් ගෙදරක් පාසා දහසක් බඩු පොදි බහා තබන්නාක් මෙන් කම්මාස්සදම්ම නියම්ගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර, සවස් යාමයේ පිණ්ඩපාතයෙන් වැළකුණු සේක. ශාස්තෘන් වහන්සේට වත් දක්වා, ශාස්තෘන් වහන්සේ ගඳකිළියට වැඩම කළ කල්හි උන්වහන්සේට වැඳ, තමා දහවල ගතකරන තැනට ගොස් අන්තේවාසිකයන්ට වත් දක්වා, නික්මුණු කල්හි දවල් වසන තැන හැමද සම්කඩ පනවා දියබඳුනින් දියගෙන, අත්පා සීතල කරගෙන පලඟකට නැගී හුන් සේක. එසේ හිඳිමින් සෝවාන් ඵල සමවතට සමවැද අනතුරුව පිරිසිඳ දැක්වූ කාල වශයෙන් සමවතින් නැගිට, ප්‍රතීත්‍ය සමුපපාදයෙහි සිත පිහිට වූ සේක. උන්වහන්සේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර ඇතිවේ යනාදී ලෙස මුල සිට අගටත්, අග සිට මුලටත් උභයාන්තයේ සිට මැදටත්, මැදසිට අන්ත දෙකටත් වශයෙන් තෙවරක් ම දොළොස් පදයක් ඇති ප්‍රතීත්‍ය සමුප්පාදය සිහිපත් කළ සේක. මෙසේ සිහිපත් කරන උන්වහන්සේට ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය මැනවින් ප්‍රකටවූ සේක. උඩුකුරු කළ කුන්තායුධයක් මෙනි. ඉක්බිති උන්වහන්සේට මෙසේ වැටහුනි. “මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය සියලු බුදුවරුන් විසින් “ඉතා ගැඹුරුය. අවබෝධ කරගැනීම අපහසුය. දුරවබෝධය”යැයි වදාරන ලදහ. අල්ප වූ දැනීම් ඇති ශ්‍රාවකයකු වූ මාහට මෙය උඩුකුරු වී අතිශය ප්‍රකටව වැටහුනේය. මෙසේ උඩුකුරුව මැනවින් වැටහෙනුයේ මාහට පමණක්ද? අන්‍යයන්ට නොවැටහේද?”යි සිතා තමාට වැටහුණු මෙම කාරණය ශාස්තෘන් වහන්සේට දන්වන්නෙමි යි හුනස්නින් නැගිට, සම්කඩ ගසාදමා, එයත් රැගෙන සවස් වේලෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි සේක. එනිසා කියන ලදී. “සවස් වේලෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය පිළිබඳව ප්‍රශ්නයක් විමසා දැනගැනීමට බුදුරදුන්ගේ සමීපයට වැඩි සේක” යනුවෙන්.
“යාව ගම්හීරෝ” යනු “යාව” ශබ්දය ප්‍රමාණය අතික්‍රමණය කරයි. ඉක්මවා සිටියි. ප්‍රමාණය ඉක්ම වූ ගැඹුරු - අතිශය ගැඹුරු යන අර්ථයි. “ගම්භීරාවභාසො” යනු ගැඹුරුවූයේ ම බබලයි. දක්නට ලැබෙයි යන අර්ථයි. එය වනාහී ප්‍රකට වූයේ නමුත් ගැඹුරු ආකාරයෙන් වැටහේ. මේ එක් ක්‍රමයකි. කුණු වූ කොළවල රස, කසට ආදියෙන් කළුපාට වූ පල් වූ වතුරක් මෙන් දණක් පමණ උස ඇත්තේ වුවත් එම වතුරට එබී බැලූවහුට මිනිසුන් සීයකගේ පමණ උස ඇති (ගැඹුරු වූ) ජලාශයක් මෙන් වැටහේ.1 තව ක්‍රමයක් මැණික් මෙන් ආලෝකවත් වූ ඉතා ප්‍රසන්න ජලාශයක දිය මෙන් ගැඹුරු වූයේ නමුත් ප්‍රකට වූ බැබලීම් ඇත. එම ජලාශය වනාහී මිනිසුන් සීයකගේ පමණට ගැඹුරු වුවත්, දණහිස පොවන දියකඩක් මෙන් වැටහේ. තවත් ජලයේ ක්‍රමයක් නම් ප්‍රකට වූයේ අතිශය ප්‍රකට වූයේම වේ. භාජනයකට දැමූ දිය මෙනි. තව ජලයේ ක්‍රමයක් නම් ගැඹුරු වූයේ අතිශය ගැඹුරුව දක්නට ලැබේ. වැටහේ. මහමෙර පාමුල ඇති මහා සමුද්‍රයේ දිය මෙනි. මෙසේ එකම ජලයම සතර වැදෑරුම්ව දක්නට ලැබෙයි. මෙවැන්නක් ප්‍රතීත්‍ය සමුත්පාදයේ නම් නැත. එය වනාහී ගැඹුරුවූයේ ම අතිශය ගැඹුරුවූයේ ම දක්නට ලැබේ. එනිසා එකම නමක් ලබයි. මෙසේ සමාන වුවත් “අථ ච පන මෙ උත්තාන කුන්තානකො විය ඛායති” මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ. එය මෙහි “අච්ඡරියං භන්තෙ! අබ්භූතං භන්තෙ!” යනුවෙන් තම විස්මය - පුදුමය ප්‍රකාශ කරන සේක්, තමන්ගේ ප්‍රශ්නය විමසා නිහඬ වූහ.
භාග්‍යවතුන් වහන්සේ අනඳ හිමියන්ගේ වදන් අසා ‘ආනන්ද, අකනිටා බඹලොව අල්ලාගැනීමට අතදිගු කරන්නාක් මෙන් ද මහමෙර බිඳ දමා එහි මදය බැහැර කරගැනීමට උත්සාහ කරන්නාක් මෙන් ද නැවක් නොමැතිව මහමුහුද තරණය කිරීමට සිතන්නාක් මෙන් ද පොළව පෙරළා පෘථිවි රසය ගැනීමට වෑයම් කරන්නාක් මෙන් ද බුදුවරුන්ට ම විෂය වූ ප්‍රශ්නයක් “තමාට මැනවින් ප්‍රකට වී”යැයි පවසයි. මොහුට මෙහි ගැඹුරු බව පෙන්වා දෙමි”යි සිතා, “ආනන්දය, එසේ නොකියන්න”යනාදිය දෙසූහ.
එහි “මාහෙවං” යන තැන්හි “හ” කාරය නිපාතයකි. “මෙසේ නොපවසන්න” යන අර්ථයයි. මෙහි භාග්‍යවතුන් වහන්සේ, “එසේ නොකියන්න” යනුවෙන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් උත්සාහවත් කරමින් ද නින්දා කරමින් ද වදාරන සේක. මෙම සූත්‍රයේ දී වදාරන ලද්දේ තෙරුන් උත්සාහවත් කිරීම සඳහායි. “ආනන්දය, නුඹ මහා පඬිවරයෙකි. විෂද වූ ඤාණ ඇත්තෙකි. එනිසා නුඹට ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාදය ඉතා ප්‍රකටව වැටහේ. අන්‍යයන්ට ද එසේ ප්‍රකටව වැටහෙන්නේ යැයි නො සැළකිය යුතුයි. එය ගැඹුරුය. අතිශය ගැඹුරු වූ දැකීම් ඇත්තකි.
ඒ සඳහා මේ උපමා සතර කියනු ලැබේ. සමසක් ඉතා රජ බොජුන් වළඳා පෝෂිත ශරීරයක් ඇති, කරන ලද නිසි පුහුණුවීම් ඇති මහාමල්ලවපොරකාරයකු උත්සව සමයේ දී කරන ලද මල්ලවපොර බැඳීමකට යුධබිමට යන්නේ, අතරමගදී තවත් එවැනිම මල්ලව පොරකාරයකු දැමු ගලක් දකින්නේය. ඔහු “මේ කුමක්ද?”යි ඇසූවිට අවට සිටි මිනිස්සු “මල්ලවයකු දැමු ගලකි”යි පවසති. ඔහු “එය ඉවත් කරවු”යි සෙස්සන්ට කී කල්හි, “එය එසවීමට නොහැක”යි ඔවුහු පවසති. එවිට මල්ලවයා තමාම ගොස් “මේ ගලේ බරක් කොයින්ද?”යි දෙඅතින් එය ඔසවා ක්‍රීඩා බෝලයක් මෙන් කරකවා ඈතට විසිකර යන්නේය. එහිදී මල්ලවයාට මල්ලව පාෂාණය සැහැල්ලු දෙයක් විය. එනමුත් සෙසු මිනිසුන්ට එය “සැහැල්ලු දෙයකි” යි නොකිව යුතුයි. සමසක් ඉතා පෝෂ්‍යදායී රස අහරින් පෝෂිත වූ මල්ලවයා මෙන්, කල්ප සියදහස් ගණනක් පාරමීදම් පුරා සම්පූර්ණ කරගත් ප්‍රාර්ථනා ඇති මේ ආනන්ද තෙරුන් දතයුතුයි. ඒ තෙරුන් වහන්සේගේ මහා ප්‍රඥාවන්ත බව නිසා ප්‍රතීත්‍ය සමුත්පාදය මැනවින් ප්‍රකට වූයේ මල්ලවයාගේ මහා බලය නිසා මල්ලව පාෂාණය සැහැල්ලු වූවාක් මෙනි. වෙනත් අයෙකුට ප්‍රතීත්‍ය සමුත්පාදය වහා ප්‍රකට වේයැයි නොකිව යුතුයි.