සෝවාන් වූවන්ටද මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වී මෙන් මැනවින් ප්‍රකටව අවබෝධ වේ. ආනන්ද තෙරුන් ද සෝවාන්ව සිටි බැවින් මෙම සත්‍යය ධර්මය මැනවින් වැටහෙන්නට ඇති බව දතයුතුයි. බහුශ්‍රැතයන්ට වනාහී; සිවුරියන් කාමරයක පහන් දල්වන කල්හි ඇඳපුටු ආදිය මැනවින් ප්‍රකටව පෙනෙන්නාක් මෙන් නාමරූපයන්ගේ බෙදා දැක්වීම් මනාව ප්‍රකටව වැටහේ. මේ ආනන්ද තෙරුන් වහන්සේද බහුශ්‍රැතයන්ට අග්‍රවූයේමය.
මෙලෙස බහුශ්‍රැත බවින් අග්‍ර හෙයින් උන්වහන්සේට ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වූවක් මෙන් මනාව වැටහුනේය.
ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයේ ගැඹුරු බව සතරාකාරව දතයුතුයි. ඒ ගාම්භීරතාවයන් විශුද්ධිමාර්ගයේ විස්තර කරන ලදී. එම සියලු ගාම්භීරතාවයන් ආනන්ද තෙරුන්ට වඩා අවබෝධ විය. එනිසා භාග්‍යවතුන් වහසේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් උත්සාහවත් කරවන සේක්, “ආනන්ද එසේ නොකියන්න” යනාදිය වදාළ සේක.
මේ එහි අදහසයි.- “ආනන්දය! නුඹ මහා ප්‍රාඥයෙක. ප්‍රකට වූ ඤාණ ඇත්තෙක. එනසා නුඹට අතිශය ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාදයද උඩුකුරු වූවක් මෙන් වැටහුනේය. එනිසා මාහටම මෙය උඩුකුරු වූවක් මෙන් වැටහුණිද? නැතිනම් සෙස්සන්ටත් මෙය වැටහේද? යනාදී වදන් නොපවසන්න” යනුවෙනි.
නින්දා කරමින් යමක් කියන ලදද එහි මේ අදහස ඇත. “ආනන්දය! තවත් “මට උඩුකුරුව-ඉතා ප්‍රකටව වැටහේ” යැයි නොපවසන්න. ඉදින් නුඹට ඉතා ප්‍රකටව ප්‍රතීත්‍ය සමුත්පාදය වැටහේ නම් කුමක් නිසා නුඹ තම ධර්මතා වශයෙන් සෝවාන් ඵලයට පත් නොවූයෙහිද? මවිසින් දේශිත නය අනුව නුඹ සෝවාන් ඵලයට පත් වූයෙහිය. ආනන්දය! මේ නිවන් මග ඉතා ගැඹුරුය. ප්‍රතීත්‍ය-සමුත්පාදය වනාහී ප්‍රකට වූයේ - මැනවින් වැටහෙනුයේ නම් කුමක් නිසා නුඹ ඕලාරික වූ කාමරාග සංයෝජනය, ප්‍රතිඝ (තරහ) සංයෝජනය හා කාමරාගානුසය හා ප්‍රතිසානුසය යන මේ සිවුවැදෑරුම් ක්ලේශ ධර්ම උපුටා දමා සකෘදාගාමී ඵලය සාක්ෂාත් කර නොගන්නෙහි ද? කිම ඒ අත්‍යල්ප වූ සතරවිධ ක්ලේශ ධර්ම සම්පූර්ණයෙන් ම නසා අනාගාමී ඵලය සාක්ෂාත් නොකරන්නේ ද? රූපරාගාදී පස්විධ සංයෝජනයන් ද මාන-භව-අවිද්‍යාදී අප්‍රකට ක්ලේශ ධර්ම අට ද සම්පූර්ණයෙන් ම නසා රහත්ඵල සාක්ෂාත් කරණය නොකර සිටිනුයේ මන්ද? සිය දාහක් කල්පයන්හි ඒකාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් පිරූ පාරමී ධර්ම ඇති, සැරියුත්-මුගලන් මහතෙරවරු මෙන් ශ්‍රාවක පාරමී ඤාණය අවබෝධ නොකළේ කුමක් නිසා ද? කල්ප අසංඛෙය්‍ය කල්ප ලක්‍ෂ දෙකක් පුරා පිරූ පාරමී දම් ඇති පසේ බුදුවරු මෙන් පසේ බුදු ඤාණය අවබෝධ නොකළේ ඇයිද? ඉදින් නුඹට සියලුම ආකාරයෙන් මේ ධර්මය ඉතා ප්‍රකටව වැටහෙන්නෙහි නම්, අසංඛ්‍යය කල්ප ලක්‍ෂ හතරක්, අටක් හෝ දාසයක් පුරා පුරන ලද පාරමිතා ධර්ම ඇති ලොවුතුරා බුදුවරයෙකු මෙන් සර්වඥතා ඥානය කුමක් නිසා සාක්ෂාත් කර නොගන්නෙහි ද? මේ සුවිශේෂී වූ අධිගමයන්ගෙන් අනර්ථයක් හෝ අවැඩක් වන්නෙහිද? බලන්න! නුඹගේ අපරාධ වූ ප්‍රකාශයේ තරම. නුඹ ශ්‍රාවක ඥාණයෙහි පිහිටියේ ඉතා ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වූවක් මෙන් වැටහෙන්නේ යැයි පවසන්නෙහිය. මේ නුඹගේ ප්‍රකාශය ලොවුතුරු බුදුවරුන්ගේ දේශනාවට විරුද්ධ වූයේ වෙයි. නුඹ වැනි භික්ෂූන් විසින් බුදුවරුන්ගේ දේශනාවට පටහැනි වූවක් පැවසීම නුසුදුසුම ක්‍රියාවකි. ආනන්දය! මාහට මෙම ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය අවබෝධ කරගැනීම සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්ම නොගියේද? මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය අවබෝධ කරගැනීම සඳහා මවිසින් නොදුන් දානයක් නම් නැත. නොපිරූ පාරමිතාවක් නම් නැත. “අද ප්‍රතීත්‍ය -සමුත්පාදය අවබෝධ කරනෙමි”යි මාර බලය පරදා කළ ඒ උත්සාහය ඵලරහිතය. ඔබ මේ ප්‍රකාශය කරන කල්හි මහපොළව දෑගිල්ලක් තරම්වත් කම්පා නොවිණි. එනමුත් බුදුවනදා ප්‍රථමයාමයේ දී පුබේනිවාසානුස්සති ඥානය ද මධ්‍යම යාමයේ දී දිබ්බචක්ඛු ඥානය ද උපදවාගෙන පශ්චිම යාමයේදී ඉතා අලුයම් වේලාවෙහි අවිද්‍යා, සංස්කාරාදිය නවාකාරයකින් ප්‍රත්‍යවන්නේ යැයි දුටු පමණින් ම දස දහසක් සක්වල යකඩ දණ්ඩකින් තලන ලද ලෝහ තලියක් මෙන් රාවප්‍රතිරාව සීයක්, රාවප්‍රතිරාව දාහක් මුදමින්, සුලඟින් සොලවන ලද නෙලුම් පත්‍රයේ ඇති දියබිඳු මෙන් කම්පා විය. මෙලෙස “ආනන්දය! මේ ප්‍රතීත්‍ය සමුත්පාදය ඉතා ගැඹුරුය. ගැඹුරු වූයේ ම ගැඹුරුව පෙනේ. ආනන්දය! මේ දහම නොදැනීම නිසා, අවබෝධ නොකිරීම නිසා -පෙ- සසර නො ඉක්මවත්.”