4. ලෝක සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ “ලෝකස්ස” යනු සංස්කාර ලෝකයේ. මෙම සූත්රයේ ඇති විශේෂත්වය ලෝකයේ ඇතිවීම හා නැතිවීම කථා කිරීමයි.
5. ඤාතික සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “ඤාතිකෙ” යනු පරපුරු දෙකෙහි නෑයන්ගේ ගමෙහි යනුයි. “ගිජ්ඣකාවසථෙ” යනු ගඩොල්වලින් කරන ලද මහා ප්රාසාදයේය. “ධම්මපරියායං” යනු ධර්ම පර්යායකි. (දහම් කරුණකි) “උපස්සුති” යනු දේශනාව ඇසෙන තැනකය. “යම් තැනකට පැමිණීමෙන් භාග්යවතුන් වහන්සේගේ කටහඬ ඇසීමට හැකිවේද, එතැන සිටියේ” යන අර්ථයයි. ඒ භික්ෂුව වනාහී ගඳකිළිය හෙවත් ගඳකිළි පිරිවෙණ ඇමදීමට පැමිණ, තම ක්රියාව අතරමග නවතා, භාග්යවතුන් වහන්සේ දහම් දෙසන හඬ අසමින් සිටියේය. “අද්දසා” යනු එකල්හි වනාහී භාග්යවතුන් වහන්සේ මුලදීම ප්රත්යකාරය සිහිකරන සේක්, “මේ ප්රත්යය හේතුවෙන් මෙය වේ. මේ ප්රත්යයෙන් මෙය ඇතිවේ” යැයි ආවර්ජනය කරන සේක්, අකනිටා බඹලොව දක්වා ප්රදේශය එක මිදුලක් මෙන් විය. ශාස්තෘන් වහන්සේ සිහිකිරීම අත්හැර වචනයෙන් සජඣායනා කරන සේක්, ගැලපීම් කරන ලද පරිදිම දේශනාව නිමවූ සේක. අනතුරුව “මේ ධර්ම පර්යාය කිසිවකු විසින් හෝ ඇසුවේද?”යි සිහිපත් කර බලන සේක්, ඒ භික්ෂුව දුටු සේක. එනිසා “භාග්යවතුන් වහන්සේ විසින් දකින ලදී”යි කියැවිණි.
“අස්සොසිනො” යනු “ඇසුවෙහි ද?” නැතිනම් “අස්සොසි නො” ලෙස ගෙන “අපගේ දෙසුම ඇසුවේද?” යන අරුතයි. “උග්ගණ්හාහී” යනාදියෙහි මේ සූත්රය අසා, නිශ්ශබ්දව හිඳ ප්රගුණ කිරිම ‘උගනියි’ (උග්ගණ්ගාති) නම් වේ. පදයෙන් පදය අර්ථ ගලපා වචනයෙන් වචනය පුරුදු කරනුයේ “පිරිවහයි” (පරියාපුණාති) නම් වේ. මේ දෙකම ප්රගුණ කිරීමට ආධාරවනුයේ “දරයි” (ධාරෙති) නම් වේ. “අත්ථ සඤ්හිතො” යනු හේතු-කාරණා සහිතය. (අර්ථ සහිතය.) “ආදිබ්රහ්මචරියකො” යනු මාර්ග බ්රහ්ම චර්යාවට මුල්වී පිහිටන සුලු යනුයි. මෙලෙස මෙම සූත්ර තුනෙහිම සසර පැවැත්ම හා සසර නැවැත්ම ම (වට්ට විවට්ටමෙව) විස්තර කරන ලදැයි දත යුතුයි.
පස්වන සූත්රයයි.
6. අඤ්ඤතරබ්රාහ්මණ සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ “අඤ්ඤතරො” යනු නමින් අප්රකට වූ එක්තරා බමුණෙක් අදහස් කරන ලදී.
සයවන සූත්රයයි.
7. ජාණුස්සොණි සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ “ජාණුස්සොණි” යනු තනතුරු වශයෙන් මෙලෙස තබන ලද නම් ඇත්තෙකි. අසූකෙළක් පමණ ධනය ඇති මහා පුරෝහිතයෙකි.
සත්වන සූත්රයයි.
8. ලෝකායතික සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ “ලෝකායතිකො” යනු විතණ්ඩවාදයෙහි පරලොවක් නැතැයි පිළිගත් (භෞතිකවාදී) ඉගැන්වීමෙහි කරන ලද පුහුණුවීම් ඇත්තෙකි. “ජෙටඨමෙතං ලෝකායතං” යනු පළමු ලෝකායත වාදයයි. “ලෝකායත” යනු ලෝකයේම දිගයි. (ලොකස්ස+ආයතං=ලොකායතං) බාල පුහුදුන් ලෝකයේ දික්වූ මහත් වූ ගැඹුරු වූ ළං වූ අල්ප වූ ආශ්රව සහිත වූ දෘෂ්ටි ගැනීමයි. “එකන්තං” යනු එකම ස්වභාවයයි. නිත්ය වූ ස්වභාවයම යැයි කියයි. “පුථුත්තං” යනු පළමු ස්වභාවයෙන් විවිධ ස්වභාවයන්ට පැමිණිමයි. වෙනස්වීම. “දේව මනුෂ්යාදී වශයෙන් පළමුව ඉපිද පසුව එම තත්ත්ව නොලබයි” යන උච්ඡේදවාදය පිළිගත් නිසා විමසයි. මෙපරිද්දෙන් මේ සූත්රයේ එන “සබ්බමත්ථි සබ්බ මෙකත්තං” යන පළමු ප්රශ්න දෙක ශාස්වතවාද දෘෂ්ටිය යැයි ගතයුතුය. “සබ්බං නත්ථි සබ්බං පුථුත්තං” යන අවසන් ප්රශ්න දෙක උච්ඡේදවාද දෘෂ්ටිය යැයි දතයුතුයි.
අටවන සූත්රය යි.
9. පඨම අරියසාවක සූත්ර වර්ණනාව
නවවන සූත්රයේ “කිං නු ඛො” යනු සැකසහිත බවේ උපත, ආකාරය දැක්වීමකි. “සමුදයති” යනු උපදියි (හටගනියි) යනුයි.
නවවන සූත්රය යි.
10. දෙවැනි අරියසාවක සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ - නය හෙවත් ක්රම දෙකකින් එකම කරුණක් කියන ලදී. මෙය මුල් සූත්රයේම නානා බවකි. විවිධත්වයකි. සෙසු පද අර්ථාදිය මුල් සූත්රයේ මෙන් දතයුතුයි.
පස්වන ගහපති වර්ගය නිමියේය.
6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසන සූත්ර වර්ණනාව
දුක්ඛ වර්ගයේ පළමු සූත්රයේ “පරිවීමංසමානො” යනු පරික්ෂා කරමින්ය. “ජරාමරණං” යනු එකම වූ ජරාමරණ දෙක අනේකවිධය, නානාප්රකාර යැයි කියා කුමක් නිසා ගන්නා ලද්දේ ද? එසේ ගත් කල්හි සියලු දුක් අදහස් වන බැවිනි. යම්සේ කෙස් වැටියෙන් අල්ලාගත් කල්හි, ඒ පුරුෂයාම අල්ලාගත් සේ සළකන්නාක් මෙන් ජරාමරණ දෙක ගත් කල්හි සියලු ම දුක ගන්නා ලද්දේ වේ. එනිසා “යම් මේ අනේකවිධ වූ නානාප්රකාර වූ දුක් ලෝකයේ උපදින්නේයැ”යි දිය නා සිටි පුරුෂයා දැක්වූවාක් මෙන් සියලු දුක් දක්වා, ඔහුගේ හිසකෙස් වැටියෙන් අල්ලා ගන්නාක් මෙන් ජරාමරණ දෙක ගත් බව දතයුතුයි.
“ජරාමරණ නිරෝධ සාරුප්පගාමිණි ” යනු “ජරාමරණ දෙකේ නිරුද්ධ වීමට සමාන ස්භාවයෙන් නිකෙලෙස් බව පිණිස, පිරිසිදු බව පිණිස, සමානව යන්නා වූ ප්රතිපදාව” යන අර්ථයි. “තථා පටිපන්නො ච හොති” යම්සේ ඊට අනුකූල වූයේ යැයි කියනු ලැබේ එසේ පිළිපන්නේ වේ. “අනුධම්මචාරී” යනු නිර්වාණ දහමට අනුගත වූ ප්රතිපත්ති දහමෙහි හැසිරෙයි. එය සම්පූර්ණ කරයි යන අර්ථයි. “දුක්ඛක්ඛයාය පටිපන්නො” යනු සීලය මුල් කරගත් ජරාමරණ දුකෙහි නිරුද්ධ වීම පිණිස පිළිපන් යනුයි. “සංඛාර නිරොධාය” යනු සංස්කාර දුකෙහි නිරෝධය පිණිසය. මෙපමණෙකින් රහත් බව දක්වා දේශනාව සිදුකරන ලදී.
දැන් රහත් ඵල ප්රත්යවේක්ෂණයත්; නිරන්තර වාසයත් දක්වා දේශනාව නැවැත්විය යුතු වුවත් එසේ නොකර “අවිජ්ජාගතො...” යනාදී වශයෙන් මෙය කුමක් හෙයින් දක්වන ලද්දේ ද? රහතන් වහන්සේගේ ඉක්මවන ලද සසර පවත්නා දුක දැක්වීම් වශයෙනි. තවද නැවත සසර පැවතීම් ආකාරයෙන් ආරම්භ කර, සසර නැවැත්ම දේශනා කරන කල්හි අවබෝධ කරගත හැකි පුද්ගලයෙක් මෙහි ඇත. ඔහුගේ අදහස වශයෙන් මෙය දක්වන ලදැයි දතයුතුයි.
එහි “අවිජ්ජාගතො” යනු අවිද්යාව පැමිණි, එළඹි, ඊට බැසගත්, අවිද්යාවෙන් යුක්ත යනුයි. “පුරිසපුග්ගලො” පුරුෂයාම පුද්ගලයා වේ. මේ වචන දෙකින්ම සම්මුති දේශනාව කියවේ. බුදුවරුන්ගේ සම්මුති දේශනාව හා පරමාර්ථ දේශනාව වශයෙන් දේශනා දෙකකි. එහි සත්වයා, මිනිසා, පුරුෂයා, පුද්ගලයා, තිස්ස, නාගයා යනාදී වශයෙන් පවතිනුයේ සම්මුති කථාවයි. ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් පවතිනුයේ පරමාර්ථ කථාවයි. පරමාර්ථ දේශනාව කිරිමේ දී සම්මුතිය අත්නොහැරම දේශනා කරති. උන්වහන්සේලා සම්මුති දේශනාව කළත් පරමාර්ථ දේශනාව කළත් සත්යයම දේශනා කරති. එනිසා මෙය කියන ලදී.