2. දෙවැනි පඤ්චභයවෙර සූත්ර වර්ණනාව
දෙවන සූත්රයේ - පළමු සූත්රය මෙනි. මෙහි ඇති විශේෂත්වය නම්, මෙම සූත්රය භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කිරීමයි. (පළමු සූත්රය අනේපිඬු සිටුහුට දේශිතය.)
දෙවන සූත්රයයි.
3. දුක්ඛ සූත්ර වර්ණනාව
තෙවන සූත්රයේ “දුක්ඛස්ස” යනු සසර පැවැතීම් දුකෙහිය. “සමුදයං” යනු ඛණික සමුදය හා ප්රත්ය සමුදය යන දෙවැදෑරුම් සමුදයන්ය. ප්රත්ය සමුදය දකින්නා වූ භික්ෂුව ඛණික සමුදය (ක්ෂණික හටගැනීම) දකියි. ඛණික සමුදය දකින භික්ෂුව ද ප්රත්ය සමුදය (ප්රත්ය හටගැනීම) දකියි. අස්තංගම හෙවත් නැතිවීම ද දෙකොටසකි. අත්යන්ත අස්තංගමය හා රෝධ අස්තංගමය යනුවෙනි. අත්යන්ත අස්තංගමය දකින්නා රෝධ අස්තංගමය දකියි. රෝධ අස්තංගමය දකිනා අත්යන්ත අස්තංගමය දකියි. “දෙසෙස්සාමි” යනු “මේ සසර පැවතුම් දුකෙහි ඇතිවීම-නැතිවීම-ඉපදීම යනාදී භේද දේශනා කරනෙමි. එය අසවු.” යන අර්ථයයි. “පටිච්ච” යනු නිශ්රය වශයෙන් මෙන්ම ආරම්මණ වශයෙන් ද හේතුවීමෙන් “තිණ්ණං සංගති ඵස්සො” යන තුනෙහි එකතුවීමෙන් ස්පර්ශය ඇතිවේ. “අයං දුක්ඛ සමුදයො” යනු මේ සසර පැවතීම් දුකේ ඉපදීමයි. “අත්ථංගමො” යනු නැතිවීමයි, බිඳීයෑමයි. මෙසේ සසර පැවතීම් දුක බිඳීගියේය. නැතිවිය. නැවත පිළිසිඳ ගැනීමක් නැත.
තෙවන සූත්රයයි.
4. ලෝක සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ “ලෝකස්ස” යනු සංස්කාර ලෝකයේ. මෙම සූත්රයේ ඇති විශේෂත්වය ලෝකයේ ඇතිවීම හා නැතිවීම කථා කිරීමයි.
5. ඤාතික සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “ඤාතිකෙ” යනු පරපුරු දෙකෙහි නෑයන්ගේ ගමෙහි යනුයි. “ගිජ්ඣකාවසථෙ” යනු ගඩොල්වලින් කරන ලද මහා ප්රාසාදයේය. “ධම්මපරියායං” යනු ධර්ම පර්යායකි. (දහම් කරුණකි) “උපස්සුති” යනු දේශනාව ඇසෙන තැනකය. “යම් තැනකට පැමිණීමෙන් භාග්යවතුන් වහන්සේගේ කටහඬ ඇසීමට හැකිවේද, එතැන සිටියේ” යන අර්ථයයි. ඒ භික්ෂුව වනාහී ගඳකිළිය හෙවත් ගඳකිළි පිරිවෙණ ඇමදීමට පැමිණ, තම ක්රියාව අතරමග නවතා, භාග්යවතුන් වහන්සේ දහම් දෙසන හඬ අසමින් සිටියේය. “අද්දසා” යනු එකල්හි වනාහී භාග්යවතුන් වහන්සේ මුලදීම ප්රත්යකාරය සිහිකරන සේක්, “මේ ප්රත්යය හේතුවෙන් මෙය වේ. මේ ප්රත්යයෙන් මෙය ඇතිවේ” යැයි ආවර්ජනය කරන සේක්, අකනිටා බඹලොව දක්වා ප්රදේශය එක මිදුලක් මෙන් විය. ශාස්තෘන් වහන්සේ සිහිකිරීම අත්හැර වචනයෙන් සජඣායනා කරන සේක්, ගැලපීම් කරන ලද පරිදිම දේශනාව නිමවූ සේක. අනතුරුව “මේ ධර්ම පර්යාය කිසිවකු විසින් හෝ ඇසුවේද?”යි සිහිපත් කර බලන සේක්, ඒ භික්ෂුව දුටු සේක. එනිසා “භාග්යවතුන් වහන්සේ විසින් දකින ලදී”යි කියැවිණි.
“අස්සොසිනො” යනු “ඇසුවෙහි ද?” නැතිනම් “අස්සොසි නො” ලෙස ගෙන “අපගේ දෙසුම ඇසුවේද?” යන අරුතයි. “උග්ගණ්හාහී” යනාදියෙහි මේ සූත්රය අසා, නිශ්ශබ්දව හිඳ ප්රගුණ කිරිම ‘උගනියි’ (උග්ගණ්ගාති) නම් වේ. පදයෙන් පදය අර්ථ ගලපා වචනයෙන් වචනය පුරුදු කරනුයේ “පිරිවහයි” (පරියාපුණාති) නම් වේ. මේ දෙකම ප්රගුණ කිරීමට ආධාරවනුයේ “දරයි” (ධාරෙති) නම් වේ. “අත්ථ සඤ්හිතො” යනු හේතු-කාරණා සහිතය. (අර්ථ සහිතය.) “ආදිබ්රහ්මචරියකො” යනු මාර්ග බ්රහ්ම චර්යාවට මුල්වී පිහිටන සුලු යනුයි. මෙලෙස මෙම සූත්ර තුනෙහිම සසර පැවැත්ම හා සසර නැවැත්ම ම (වට්ට විවට්ටමෙව) විස්තර කරන ලදැයි දත යුතුයි.
පස්වන සූත්රයයි.
6. අඤ්ඤතරබ්රාහ්මණ සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ “අඤ්ඤතරො” යනු නමින් අප්රකට වූ එක්තරා බමුණෙක් අදහස් කරන ලදී.
සයවන සූත්රයයි.
7. ජාණුස්සොණි සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ “ජාණුස්සොණි” යනු තනතුරු වශයෙන් මෙලෙස තබන ලද නම් ඇත්තෙකි. අසූකෙළක් පමණ ධනය ඇති මහා පුරෝහිතයෙකි.
සත්වන සූත්රයයි.
8. ලෝකායතික සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ “ලෝකායතිකො” යනු විතණ්ඩවාදයෙහි පරලොවක් නැතැයි පිළිගත් (භෞතිකවාදී) ඉගැන්වීමෙහි කරන ලද පුහුණුවීම් ඇත්තෙකි. “ජෙටඨමෙතං ලෝකායතං” යනු පළමු ලෝකායත වාදයයි. “ලෝකායත” යනු ලෝකයේම දිගයි. (ලොකස්ස+ආයතං=ලොකායතං) බාල පුහුදුන් ලෝකයේ දික්වූ මහත් වූ ගැඹුරු වූ ළං වූ අල්ප වූ ආශ්රව සහිත වූ දෘෂ්ටි ගැනීමයි. “එකන්තං” යනු එකම ස්වභාවයයි. නිත්ය වූ ස්වභාවයම යැයි කියයි. “පුථුත්තං” යනු පළමු ස්වභාවයෙන් විවිධ ස්වභාවයන්ට පැමිණිමයි. වෙනස්වීම. “දේව මනුෂ්යාදී වශයෙන් පළමුව ඉපිද පසුව එම තත්ත්ව නොලබයි” යන උච්ඡේදවාදය පිළිගත් නිසා විමසයි. මෙපරිද්දෙන් මේ සූත්රයේ එන “සබ්බමත්ථි සබ්බ මෙකත්තං” යන පළමු ප්රශ්න දෙක ශාස්වතවාද දෘෂ්ටිය යැයි ගතයුතුය. “සබ්බං නත්ථි සබ්බං පුථුත්තං” යන අවසන් ප්රශ්න දෙක උච්ඡේදවාද දෘෂ්ටිය යැයි දතයුතුයි.