10. දෙවැනි අරියසාවක සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ - නය හෙවත් ක්රම දෙකකින් එකම කරුණක් කියන ලදී. මෙය මුල් සූත්රයේම නානා බවකි. විවිධත්වයකි. සෙසු පද අර්ථාදිය මුල් සූත්රයේ මෙන් දතයුතුයි.
පස්වන ගහපති වර්ගය නිමියේය.
6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසන සූත්ර වර්ණනාව
දුක්ඛ වර්ගයේ පළමු සූත්රයේ “පරිවීමංසමානො” යනු පරික්ෂා කරමින්ය. “ජරාමරණං” යනු එකම වූ ජරාමරණ දෙක අනේකවිධය, නානාප්රකාර යැයි කියා කුමක් නිසා ගන්නා ලද්දේ ද? එසේ ගත් කල්හි සියලු දුක් අදහස් වන බැවිනි. යම්සේ කෙස් වැටියෙන් අල්ලාගත් කල්හි, ඒ පුරුෂයාම අල්ලාගත් සේ සළකන්නාක් මෙන් ජරාමරණ දෙක ගත් කල්හි සියලු ම දුක ගන්නා ලද්දේ වේ. එනිසා “යම් මේ අනේකවිධ වූ නානාප්රකාර වූ දුක් ලෝකයේ උපදින්නේයැ”යි දිය නා සිටි පුරුෂයා දැක්වූවාක් මෙන් සියලු දුක් දක්වා, ඔහුගේ හිසකෙස් වැටියෙන් අල්ලා ගන්නාක් මෙන් ජරාමරණ දෙක ගත් බව දතයුතුයි.
“ජරාමරණ නිරෝධ සාරුප්පගාමිණි ” යනු “ජරාමරණ දෙකේ නිරුද්ධ වීමට සමාන ස්භාවයෙන් නිකෙලෙස් බව පිණිස, පිරිසිදු බව පිණිස, සමානව යන්නා වූ ප්රතිපදාව” යන අර්ථයි. “තථා පටිපන්නො ච හොති” යම්සේ ඊට අනුකූල වූයේ යැයි කියනු ලැබේ එසේ පිළිපන්නේ වේ. “අනුධම්මචාරී” යනු නිර්වාණ දහමට අනුගත වූ ප්රතිපත්ති දහමෙහි හැසිරෙයි. එය සම්පූර්ණ කරයි යන අර්ථයි. “දුක්ඛක්ඛයාය පටිපන්නො” යනු සීලය මුල් කරගත් ජරාමරණ දුකෙහි නිරුද්ධ වීම පිණිස පිළිපන් යනුයි. “සංඛාර නිරොධාය” යනු සංස්කාර දුකෙහි නිරෝධය පිණිසය. මෙපමණෙකින් රහත් බව දක්වා දේශනාව සිදුකරන ලදී.
දැන් රහත් ඵල ප්රත්යවේක්ෂණයත්; නිරන්තර වාසයත් දක්වා දේශනාව නැවැත්විය යුතු වුවත් එසේ නොකර “අවිජ්ජාගතො...” යනාදී වශයෙන් මෙය කුමක් හෙයින් දක්වන ලද්දේ ද? රහතන් වහන්සේගේ ඉක්මවන ලද සසර පවත්නා දුක දැක්වීම් වශයෙනි. තවද නැවත සසර පැවතීම් ආකාරයෙන් ආරම්භ කර, සසර නැවැත්ම දේශනා කරන කල්හි අවබෝධ කරගත හැකි පුද්ගලයෙක් මෙහි ඇත. ඔහුගේ අදහස වශයෙන් මෙය දක්වන ලදැයි දතයුතුයි.
එහි “අවිජ්ජාගතො” යනු අවිද්යාව පැමිණි, එළඹි, ඊට බැසගත්, අවිද්යාවෙන් යුක්ත යනුයි. “පුරිසපුග්ගලො” පුරුෂයාම පුද්ගලයා වේ. මේ වචන දෙකින්ම සම්මුති දේශනාව කියවේ. බුදුවරුන්ගේ සම්මුති දේශනාව හා පරමාර්ථ දේශනාව වශයෙන් දේශනා දෙකකි. එහි සත්වයා, මිනිසා, පුරුෂයා, පුද්ගලයා, තිස්ස, නාගයා යනාදී වශයෙන් පවතිනුයේ සම්මුති කථාවයි. ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් පවතිනුයේ පරමාර්ථ කථාවයි. පරමාර්ථ දේශනාව කිරිමේ දී සම්මුතිය අත්නොහැරම දේශනා කරති. උන්වහන්සේලා සම්මුති දේශනාව කළත් පරමාර්ථ දේශනාව කළත් සත්යයම දේශනා කරති. එනිසා මෙය කියන ලදී.
දුවෙ සච්චානි අක්ඛාසි සම්බුද්ධො වදතං වරො
සම්මුති පරමත්ථංච තතියං නූප ලබ්භති
සම්මුති පරමත්ථංච තතියං නූප ලබ්භති
සංකෙත වචනං සච්චං ලොක සම්මුති කාරණා
පරමත්ථ වචනං සච්චං ධම්මාණං භූත ලක්ඛණා
පරමත්ථ වචනං සච්චං ධම්මාණං භූත ලක්ඛණා
“කියන්නවුන අතරින් උතුම් වූ බුදුරජාණන් වහන්සේ සම්මුති හා පරමාර්ථ වශයෙන් සත්ය දෙකක් ම වදාරති. තෙවැනි සත්යයක් මෙහි කිසිකලෙක නොලැබේ.”
“ලෝක සම්මුතිය නිසා සංකේතාත්මකව භාවිත වචන සත්ය වේ. ධර්මයන්ගේ ඇති තතු ප්රකාශ කරන හෙයින් පරමාර්ථ වචනය ද සත්යය වේ.”
“පුඤ්ඤං චෙ සංඛාරා” යනු දහතුනක් වූ චේතනා භේදයෝ ය. කුශල සංස්කාර ධර්මයි. “අභිසංඛරොති” යනු රැස්කරයි. “පුඤ්ඤාපගං හොති විඤ්ඤාණං” යනු කර්ම කුශලයෙන් කර්ම විඤ්ඤාණය යුක්ත වේ. විපාක කුශලයෙන් විපාක විඤ්ඤාණය යුක්ත වේ යනුයි. “අපුඤ්ඤං චෙ සංඛාරා” යනු දොළොසක් වූ චේතනා භේද ඇති අකුශල සංස්කාර රැස්කරයි. “ආනඤ්ජං චෙ සංඛාරා” යනු සිවු චේතනා භේද ඇති අරූපාවචර කුශල සංස්කාරයි. “ආනඤ්ජූපගං හොති විඤ්ඤාණං” “අරූපාවචර කර්මයන් ගෙන් කර්ම විඤ්ඤාණය ද අරූපාවචර විපාකයන්ගෙන් විපාක විඤ්ඤාණය ද යුක්ත වූයේ වේ. මෙහිද ත්රිවිධ වූ කර්ම රැස්කිරීම් ගන්නා ලද බැවින් දොළොස් ප්රත්යකාරය ගන්නා ලද්දේමය. මෙපමණෙකින් සසර පැවැතීම් චක්රය දක්වන ලදී.
දැන් සසර නැවැත්ම පිළිබඳ චක්රය දක්වන සේක් “යතො ඛො භික්ඛවෙ” යනාදිය දෙසූහ. එහි, “අවිජ්ජා” යනු චතුරාර්ය සත්යය පිළිබඳ නොදැනීමයි. “විජ්ජා” යනු අරහත් මාර්ග ඤාණයයි. මෙහිදී පළමුව ම අවිද්යාව ප්රහීණ කිරිමෙන් විද්යාව උපදියි. යම්සේ සිවුවැදෑරුම් රාත්රී ඝන අන්ධකාරය පහන් දැල්වීම මගින් නැතිවේ ද, එලෙසින් ම විද්යාව පහළවීමෙන් අවිද්යාවේ නැතිවීම - ප්රහීණවීම දතයුතුයි. “නචකිඤ්චි ලොකෙ උපාදියති” යනු ලොව කිසිදු දහමක් තණ්හාවෙන් අල්ලා නොගනියි. අතනොගායි යනුයි. “අනුපාදියං න පරිතස්සති” යනු දැඩිව උපාදාන නොකර ගනුයේ තණ්හාවෙන් තැති නොගනියි. බියෙන් තැති නොගනියි. තණ්හාව නැත. බිය නැත යන අර්ථයි. “පච්චත්තඤ්ඤව” යනු තමාම ය. තමා ම පිරිණිවේ. අනිකකුගේ ආනුභාවයෙන් නොවේ.
“සො සුඛං චෙ වෙදනං” යන මෙය කුමක් නිසා ඇරඹුසේක් ද? රහතන් වහන්සේගේ ප්රත්යවේක්ෂා ඥාණය දක්වා, අනතුරුව නිතර එහි වාසය කිරීම දැක්වීමට අරඹන ලදී. “අනජ්ඣොසිතා” යනු තණ්හාවෙහි ගිලී අවසන් කළේ යැයි නොගත් බැවින්. තණ්හාවෙන් නොබැසගත්. අනතුරුව “දුක් වේදනාව කුමක් නිසා කියන ලද ද?” “කිම එහි පිළිගැනීමක් ඇද්ද?” “එසේය, පිළිගැනීමක් ඇත.” සැප ආදරයෙන් පිළිගැනීමට - සතුටුවීම ම, දුක පිළිගත්තා නම් වේ. දුකට පැමිණ සැප පැතීම් වශයෙන් සැපයේ ද විපරිණාමය දුකකි. “කාය පරියන්තිකං” යනු කය සමීපයේ ඇති, කය පිරිසිඳ ඇති, යම්තාක් පඤ්චද්වාරික වූ කය පවතීද ඒ තාක් පවතින පඤ්චද්වාරික වේදනාව යන අර්ථයි. “ජීවිත පරියන්තිකං” යනු ජීවිතය සමීපයේ ඇති, ජීවිතය පිරිසිඳ ඇති, යම්තාක් දිවි පවතියි ද ඒතාක් පවත්නා, මනෝද්වාරික වූ වේදනාව යන අර්ථයි.