“දිට්ඨෙන” යනාදියෙහි ඤාණ නම් ඇසින් දැකීමෙන්ය. “විදිතෙන” යනු ප්‍රඥාවෙන් දැනීමෙන්ය. “අකාලිකො” යනු කල් නොයවා අවබෝධ කරගත් මොහොතෙහිම විපාක දීමෙන් යනුයි. “පත්තෙන” යනු අවබෝධ කිරීමෙන්ය. “පරියොගාළ්හෙන” යනු හාත්පසින් බැසගත්, ප්‍රඥාවෙන් ඇතුලට පිවිසි යනුයි. “අතීතානාගතෙ නයං නෙති” “යෙ ඛො කෙචි” ආදී වශයෙන් අතීතයෙහි ද අනාගතයෙහි ද නය පමුණුවයි. මෙම සූත්‍රයේ දී ද චතුරාර්ය සත්‍යය ධර්මයෙන් හෝ මාර්ග ඤාණ ධර්මයෙන් හෝ අතීත-අනාගතයන්හි නය පැමිණවීමට හැකිය. චතුරාර්ය සත්‍යය මාර්ග ඤාණයෙන් අවබෝධ කළ කල්හි “පරතො ප්‍රතවේක්‍ෂණ ඥාණය” නම් වේ. එයින් නය පැමිණවී යැයි දතයුතුයි. “අබ්භඤ්ඤංසු” යනු විශේෂයෙන් දැනගත්හ. අවබෝධ කරගත්හ. “සෙය්‍යාථාපහං එතරහි” යනු යම්සේ මම දැන් චතුරාර්ය සත්‍යය ධර්මය දන්නේ නම් එසේ යනුයි. “අන්වයෙ ඤාණං” යනු අනු + අයෙ - අනුවයන ඤාණයයි. ධර්ම ඥාණයේ අනුගමන කිරිමේ ඤාණයයි. “ප්‍රත්‍යවේක්‍ෂණ ඥාණය” යන්න ද මෙයට යෙදේ. “ධම්මෙ ඤාණං” යනු මාර්ග ඤාණයයි. මේ සූත්‍රයෙහි රහතන් වහන්සේගේ සේඛ භූමිය කියන ලදී.
තෙවැනි සූත්‍රයයි.
4. දුතියඤාණවත්ථු සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ “සත්ත සත්තරි” යනු සතක් ද සැත්තෑවක් ද වූ සැත්තෑසතකි. අර්ථ-ව්‍යඤජන භාණක මහතෙරවරු බොහෝ කොට බෙදා දක්වා දේශනා කරනු ලබන විට, අවබෝධ කරගැනීමට සමත්වෙති. එනිසා ඔවුන්ගේ අදහස් වශයෙන් මේ සූත්‍රය දේශනා කරන ලදී. “ධම්මට්ඨිති ඤාණං” යනු ප්‍රත්‍යකාර ඤාණයයි. ‘ප්‍රත්‍යකාර’ යනු ධර්මයන්ගේ පැවතීම-සිටීම වන බැවින් “ධම්මට්ඨිති” යැයි කියයි. මෙහි ඤාණය ධර්මස්ථිති ඤාණයයි. මේ සවැදෑරුම් ජරාමරණ ඥාණයටම යෙදෙන තවත් නාමයකි. “ඛය ධම්මං” ක්‍ෂය වන භාවයයි. “වය ධම්මං” යනු ව්‍යය වන ස්වභාවයයි. “විරාග ධම්මං” නො ඇලෙන ස්වභාවයයි. “නිරෝධ ධමමං” යනු නිරුද්ධවන ස්වභාවයයි. “සත්ත සත්තරී” යනු එක් එක් පදයෙහි සත, සත බැගින් පද එකොළොසෙහි (7x11) සැත්තෑ සතකි. (77) මේ සූත්‍රයෙහි “විදර්ශනාපත්ති විදර්ශනාව” පවසන ලදී.
සිවුවන සූත්‍රයයි.
5. අවිජ්ජාදිපච්චය දේසනා සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ “සමුදයො හොති” යන මෙහිදී ශාස්තෘන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව අවසන් කළ සේක. කවර කරුණකින්ද? දෘෂ්ටිගතිකයාට අවසර දීම පිණිසයි. “ඒ පිරිසෙහි දෝෂාරෝපණ කිරිමෙහි සිත් ඇති දෘෂ්ටිගතිකයෙක් ඇත. ඔහු ප්‍රශ්නයක් අසයි. එවිට මම එය විසඳනෙමි”යි ඒ භික්ෂුවට අවසරයක් ලබාදීමට මේ සූත්‍ර දේශනාව අවසන් කළ සේක. “නො කල්ලො පඤ්හො” යනු නුසුදුසු ප්‍රශ්නයකි. මෝඩ ප්‍රශ්නයකි යන අර්ථයි. “ස්වාමීනි! ජරාමරණ කවරේද?”.....යනාදී ප්‍රශ්නය මැනවින් අසන ලද්දක් නොවේද? එය මනාව විමසන ලද්දක් වුවත්, - යම්සේ දහසක් අගනා රන් තලියකින් ගෙනැවිත් තැබූ ඉතා රසවත් භෝජනයක් මතට, නෙල්ලි ගෙඩියක් පමණ කුඩා වූ අශූචි පිඩක් වැටුනහොත් මුලු භෝජනය ම ආහාරයට නුසුදුසු වී ඉවත දැමිය යුතු වන්නේද ඒ අයුරින්ම “ජරා මරණ කවරකුගේද?” යන ප්‍රශ්නය මැනවින් ගැලපුනත්, සත්ව-පුද්ගලවාදී පදය නිසා, අශූචි පිඬ නිසා රසවත් භෝජනය ආහාරයට නුසුදුසු වූවාක් මෙන් මුලු ප්‍රශ්නය ම අනුවණ -මෝඩ ප්‍රශ්නයක් බවට පත්විය.
“බ්‍රහ්මචරියවාසො” යනු ආර්ය මාර්ගයේ වාසය කිරීමයි. “තං ජීවං තං සරීරං” යනු යමෙකුට මේ දෘෂ්ටිය වේනම් ඔහු “ජීවය වැනසෙනවිට මේ ශරීරය ද වැනැසේ. මේ ශරීරය වැනසෙනවිට ජීවිතය ද වැනසෙයි” යනුවෙන් පිළිගනියි. මෙසේ ගන්නා ලද දෘෂ්ටි ඇත්තා, “සිඳේ” - “විනාශ වේ” යැයි ගත් බැවින් උච්ඡේද “දෘෂ්ටි ඇත්තා” නම් වේ. ඉදින් “සංස්කාරයෝම උපදිති. නිරුද්ධ වෙති”යි යන අදහස පිළිගන්නේ නම් එය ධර්මයෙහි හැසිරෙන “සම්‍යක් දෘෂ්ටිය” නම් වන්නේය. “ආර්ය මාර්ගය” නම් වන මෙය, සසර පැවැත්මට හේතුව නිරුද්ධ කරමින් - සසර පැවැත්ම විනාශ කරමින් උපදියි. එහිම ඒ සසර පැවැත්ම උච්ඡේද දෘෂ්ටියෙන් ගත් තැනැත්තා, “සත් භාවය ඇති කල්හි ආර්ය මාර්ගය වැඩීමෙන් තොරව නිරුද්ධවන්නේ යැ”යි ආර්ය මාර්ගය වැඩීම නිරර්ථක වේ. එනිසා මෙය පවසන ලදී. “බ්‍රහ්මචරිය (බඹසර) වාසයට මෙය අයත් නොවේ” යනුවෙනි.
දෙවැනි ක්‍රමයෙහි දී “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං” යමෙකුට මේ දෘෂ්ටිය වේනම් ඔහු “ශරීරය මෙහිදීම වැනැසේ. ජීවය වනාහී කුරුළු කුඩුවක් මෙන් පාවී ගොස් සැපයට යන්නේ ය.” යනුවෙන් පිළිගනියි. මෙසේ පිළිගත් ඒ අදහස අනුව “මේ ලෝකයෙන් ජීවය නැතිවී පරලොවට ගියේය” යනුවෙන් ගත් බැවින්, “ශාස්වත දෘෂ්ටිය” යන නම යෙදේ. [missing here]