11. තෙවන පබ්බතුපම සූත්‍ර වර්ණනාව
අවසාන සූත්‍රයේ “අඤ්ඤතිත්ථිය සමණබ්‍රාහ්මණ පරිබ්බාජකානං අධිගමො” යනු බාහිර ආගමික සම්ප්‍රදායන්ගේ සියලුම ගුණයන්ගේ අධිගමයයි. ප්‍රථම ආර්ය මාර්ගයෙන් ලබන ලද ගුණ සම්පත්තියෙන් සීයෙන් භාගයක්වත්, දහසින් භාගයක්වත්, ලක්ෂයකින් භාගයක්වත් නොවටියි. සමීපවිය නොහැක.
අභිසමය වර්ගය නිමාවිය.
අභිසමය සංයුත්තය නිමාවට පත්විය.
2. ධාතු සංයුක්තය
1. නානත්ත වර්ගය
1. ධාතුනානත්ත සූත්‍ර වර්ණනාව
ධාතු සංයුත්තයේ පළමු සූත්‍රයේ - අනාත්ම (නිස්සත්ත) ශුන්‍ය (සුඤ්ඤත) යන අර්ථ සංඛ්‍යාත වූ “ස්වභාවයෙන් පවතින” යන අරුතින් “ධාතු” නම් වූ ධර්මයන්ගේ නානාවිධ වූ ස්වභාවය “ධාතුනානත්තං” යනු වේ. චක්ෂු ප්‍රසාදය “චක්ඛුධාතු” නම් වේ. රූපාරම්මණය “රූපධාතු” නම් වේ. චක්ෂුප්‍රසාද වස්තුවෙහි පහළ වූ සිත “චක්ඛු විඤ්ඤාණධාතු” නම් වේ. ශ්‍රෝත ප්‍රසාදය “සෝතධාතු” නම් වේ. ශබ්දාරම්මණය “සද්දධාතු” වයි. ශ්‍රෝත ප්‍රසාද වස්තුව පිළිබඳ වූ සිත “සොතවිඤ්ඤාණ ධාතු” නම් වේ. අඝ්‍රාණ ප්‍රසාදය “ඝානධාතු”වයි. ගන්ධාරම්මණය “ගන්ධධාතු” නම් වේ. ආඝ්‍රාණ වස්තුක වූ සිත “ඝාන විඤ්ඤාණ ධාතු” නම් වේ. ජිව්හා ප්‍රසාදය “ජිව්හා ධාතු” නම් වේ. රස ආරම්මණය “රස ධාතු” නම් වේ. ජිව්හා ප්‍රසාද වස්තුක වූ සිත “ජිව්හා විඤ්ඤාණ ධාතු” නම් වේ. කාය ප්‍රසාදය “කායධාතු”වයි. ඵස්සාරම්මණය “පොට්ඨබ්බ ධාතු” නම් වේ. කාය ප්‍රසාද වස්තුක වූ සිත “කාය විඤ්ඤාණ ධාතු” නම් වේ. ත්‍රිවිධ මනෝධාතුහු “මනොධාතු” නම් වේ. වේදනා දී ත්‍රිවිධ ස්කන්ධයෝ, සූක්‍ෂම රූප ද නිවණ ද “ධම්මධාතු” නම් වේ. සියලුම මනෝවිඤ්ඤාණය “මනෝ විඤ්ඤාණ ධාතු” නම් වේ. මෙහිද මුල් සොළොස් ධාතූහු කාමාවචරය. අවසන් ධාතු දෙක චතුභූමිකය. (හෙවත් කාම, රූප, අරූප හා ලෝකෝත්තර භූමීන්හිම යෙදේ.)
පළමු සූත්‍රයයි.
2. ඵස්සනානත්ත සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ “උප්පජ්ජති ඵස්සනානත්තං” යනු නානා ස්වභාව වූ ස්පර්ශය උපදියි යනුයි. එහි චක්ෂු ස්පර්ශාදිය, චක්ෂු විඤ්ඤාණාදිය සමග එක්ව යෙදේ. (සම්ප්‍රයුක්තය) මනෝ ස්පර්ශය මනෝද්වාරයේ පළමු ජවන් සිත සමග එක්ව යෙදේ. එනිසා “මනොධාතුං පටිච්ච” යනුවෙන් මනෝද්වාරා වජ්ජනය, කිරිය මනෝ විඤ්ඤාණ ධාතුව නිසා ඇතිවේ යනුයි. පළමු ජවන් සිත්තේ ස්පර්ශය, එකට ගැටී උපදියි” යනු මෙහි අර්ථයයි.
දෙවැනි සූත්‍රයයි.
3. නො ඵස්සනානත්ත සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයේ “නො මනො සම්ඵස්සං පටිච්ච උප්පජ්ජති මනොධාතු” යනු මනෝද්වාරයේ පළමු ජවන් සිත හා එකට යෙදීමෙන් ආවර්ජන කිරිය මනෝ විඤ්ඤාණ ධාතුව නූපදින්නේය” යනුවෙන් අර්ථ දතයුතුයි.
තෙවැනි සූත්‍රයයි.
4. වේදනා සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ “චක්ඛුසම්ඵස්සජා වේදනා” යනු පිළිගන්නා වූ මනෝධාතුවේ සිට එම ද්වාරයේ හටගන්නා සියලුම වේදනාවෝ පවතිනෝය. නිෂ්පත්ති පහසුව සඳහා අනන්තර වූ මනාව පිළිගන්නා (සම්පටිච්ඡන) වේදනාවම ගැනීමට සුදුසු යැයි කියන ලදී. “මනෝ සම්ඵස්සං පටිච්ච” යනු මනෝද්වාරයෙහි ආවර්ජන ස්පර්ශය නිසා පළමු ජවන වේදනාව ද පළමු ජවන ස්පර්ශය නිසා දෙවන ජවන වේදනාවද ඇතිවේ” යන අදහසයි.