5. ආනන්ද සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - ආනන්‍දො ධර්ම භාණ්ඩාගාරික තෙරුන් වහන්සේ, අතිවෙලං සීමාව ඉක්මවා ගිය (බොහෝ) වේලාව්ක; ගිහීසඤ්ඤත්ති බහුලො රාත්‍රියේත් දවාලේත් බොහෝ වේලාවක් ගිහියනට හැඟවීම් කර වන්නාහු; භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි මහා කාශ්‍යප තෙරුන් වහන්සේ අනඳ තෙරුනට (මෙසේ) කී හ: ඇවැත්නි, අපි රජගහ නුවර වස් විසීමට ගොස් ධර්මය සංගායනා කරන්නෙමු. යනු මැනවි, ඔබ අරනට පිවිස උපරිමාර්ගත්‍රය පිණිස වෑයම් කරනු මැනවි.” උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු ගෙන කොසොල් රටට ගොස් එක් ආරණ්‍යවාසයක වැස ඊළඟ දිනයේ එක් ගමකට පිවිසියහ. මිනිස්සු තෙරුන් දැක “ස්වාමීනි, ආනන්දයනි, ඔබ වහන්සේ මීට පෙර බුදුන් වහන්සේ සමග පැමිණෙන්නහු ය, අද හුදෙකලා ව ම පැමිණියහු, බුදුන් වහන්සේ කොතැනක වඩා හිඳුවා පැමිණියහු ද? දැන් කවරෙකුගේ පා සිවුරු ගෙන සැරිසරන්නහු ද? කවරකු හට මුව දෝනා වතුර හා දැහැටි දෙන්නහු ද? කුටිය අමදින්නහු ද? වත් පිළිවෙත් කරහු ද? යි බොහෝ සේ කියමින් වැළපුනාහ. තෙරුන් වහන්සේ, “පින්වත්නි, ශෝක නො කරව්, නො වැළපෙව්. සංස්කාරයෝ අනිත්‍යයහ” ආදිය ඒත්තු ගන්වා - බත් කිස අවසානයේ වසන තැනට ම යති. මිනිස්සු සවසට ද එහි ගොස් එලෙස ම වැළපෙත්. තෙරුන් වහන්සේ ද එසේ ඔවා දෙති. ඒ අරභයා මෙය කියන ලදි. අජ්ඣභාසි මේ තෙරුන් වහන්සේ භික්‍ෂු සංඝයාගේ කථාව අසා ශ්‍රමණ ධර්මය කරන්නෙමැයි අරණට පිවිස දැන් ගිහියනට ඒත්තු ගන්වමින් වාසය කරයි. බුදු සසුන එකතු නො කළ මල් රැසක් මෙන් වූයේ ධර්ම සංග්‍රහය නො කරයි. මොහුට දෝෂාරෝපනය කරමි යි සිතා පැවසී ය.
පසක්කියා පිවිස, හදයස්මිංඔපියා කෘත්‍ය වශයෙන් ද ආරම්මණ වශයෙන් ද හදවතේ බහා නිවනට පැමිණෙන්නෙමි යි වීර්ය කරන්නේ නිර්වාණය කෘත්‍ය වශයෙන් හදවතෙහි බහාලයි නමි. නිර්වාණාරම්මණ සමාපත්තිය අර්පණා කොට ආරම්මණයෙන් හිඳිමින්; ඒ දෙක ම අරභයා මෙය කියයි. ඣායී ධ්‍යාන දෙකින් දැහැන් වඩන්නෙකු වෙව. බිළිබිළිකා ගිහියන් සමග වූ මේ බිළි බිළි කථාව.
පස් වැනි සූත්‍රය යි.
6. අනුරුද්ධ සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - පුරාණදුතියිකා අනන්තර ආත්ම භාවයේ (පෙර ආත්මයේ) අග මෙහෙසි; සොභසි පෙර ද බැබළුණෙහි; දැනුදු බබළහි. දුග්ගතා ප්‍රතිපත්ති දුර්ගතියෙන් දුර්ගත වූ; ඔවුහු සුගතියෙහි සිටියාහු සම්පත් විඳිති. ඉන් චුත ව ඔවුහු නිරයෙහි උපදිතියි දුර්ගත වූ; පතිට්ඨිතා සත්කායයෙහි පිහිටමින් අට කරුණකින් පිහිටයි; (රාගයෙන්) රත්වූයේ රාග වශයෙන් පිහිටයි; (ද්වේෂයෙන්) දුෂ්ට වූයේ ද්වේෂ වශයෙන්, මුළා වූයේ මෝහ වශයෙන්; බඳනා ලද්දේ මාන වශයෙන්; ස්පර්ශ කළේ දෘෂ්ටි වශයෙන්; ශක්තිමත් වූයේ අනුශය වශයෙන්; නිෂ්ටාවට නොගියේ විචිකිච්ඡා වශයෙන්; වික්ෂේපයට පත් වූයේ උද්ධච්ච වශයෙන් පිහිටයි; මෙසේ පිහිටියේ ම; නරදෙවානං දෙව් මිනිසුන්ගේ;
නත්‍ථිදානි (දැන් නැත), ඒ දෙව් දුව තෙරුන් කෙරෙහි බලවත් සෙනෙහස ඇත්තියක් වූවා ය. ආපසු යන්නට නො හැකි වූවා ය. සුදුසු වේලාවට පැමිණ කුටිය අමදියි; මුව දෝනා ජලය, දැහැටි, පරිභෝජනයට සුදුසු ජලය තබයි. තෙරුන් වහන්සේ ඒ ගැන කල්පනාවක් නො මැති ව ම භුක්ති විඳිති. දිනක් දිරා ගිය සිවුරු ඇති-වස්ත්‍ර සොයා යන-උන්වහන්සේට කසළ ගොඩක දිව්‍ය වස්ත්‍රයක් තබා ගියා ය. තෙරුන් වහන්සේ එය දැක මෙපමණක් ඇතැයි ගත්තේ ය. එයින් ම සිවුරු තුනක් නිමැවී ය. ජනයා දෙකක් දැග සව්වනට ය, (එකක්) අනුරුද්ධ තෙරණුවනට ය යි සිවුරු තුනක් කළහ. බුදුන් වහන්සේ ඉදිකටුව යොදා දුන් සේක. සිවුරු නිමා කර පිඬු පිණිස හැසිරෙන්නහුට දේවතාවිය පිණ්ඩපාතය සමාදන් කරව යි. ඇය වරෙක තනිව (ද), වරෙක තමා දෙවැන්නා ලෙස (තවත් කෙනෙකු කැටිව) ද, තෙරුන් සමීපයට පැමිණෙයි. එදා තමා තුන් වැනියා කොට පැමිණ දිවාස්ථානයෙහි තෙරුන් වෙත පැමිණ, ‘අපි මනාපකායිකා’ නම් වෙමු. සිතින් කැමති කැමති රූප මවමු’ යි කීවාය. තෙරුන් වහන්සේ මොවුහු මෙසේ කියත්. එය පරීක්‍ෂා කරන්නෙමි. සියලු දෙනා නිල්වන් වූහ. මෙසේ පීත, ලෝහිත, ඕදාත වර්ණ (වූහ). ඉන් පසු (ඔවුහු මෙසේ) සිතූහ : තෙරුන් වහන්සේ අපගේ දර්ශනයෙන් ආස්වාදය ලබයි. ඔවුහු සැණකෙළියට පටන් ගත්තාහු, එකියක් ගැයුවා ය. එකියක් නැටුවා ය, එකියක් අසුරු ගැසුවා ය. තෙරුන් වහන්සේ ඉන්ද්‍රියයන් පහතට හැරවූහ. එයින් අපගේ දර්ශනය තෙරුන් වහන්සේ ආස්වාද නො කරතියි දැන ආදරයක් හෝ පිළිසඳරක් හෝ නො ලබමින් කලකිරී යන්නට පටන් ගත්හ. තෙරුන් වහන්සේ ඔවුන් යන බව දැන යළි යළිත් නො එත්වා යි අර්හත්වය පැහැදිලි කරමින් මේ ගාථාව කී හ. එහි වික්‍ඛීණො ජාතිසංසාරො ඒ ඒ තැන (ජාති) ඉපදීම සංඛ්‍යාත වූ සංසාරය ගෙවිණි.
සය වැනි සූත්‍රය යි.