4. සම්බහුලා සූත්‍ර වර්ණනාව
සතර වැන්නෙහි සම්බහුලා බොහෝ සූත්‍රාන්තිකයෝ ද ආභිධම්මිකයෝ ද විනයධරයෝ ද, විහරන්ති බුදුන් සමීපයෙහි කමටහන් ගෙන වාසය කරති. පක්කමිංසු ඒ ජනපදයෙහි එක් ගමකට යන ඔවුන් දැක මිනිස්සු පහන් සිත් ඇත්තාහු ආසන ශාලාවේ ඇතිරිලි බුමුතුරුණු ආදිය පනවා කැඳ කැවිලි ආදිය දී හිඳගෙන සිටියහ. මහ තෙරුන් වහන්සේ ඒක ධර්ම කථික භික්ෂුවකට ධර්මය දේශනා කරන ලෙස පැවසූහ. උන්වහන්සේ විසිතුරු දහම් කතාවක් පැවැත්වූහ. මිනිස්සු පැහැදී බොජුන් වේලෙහි ප්‍රණීත භෝජන දුන්හ. මහ තෙරහු මනෝඥ වූ භක්තානුමෝදනාවක් කළ සේක. මිනිස්සු වඩාත් සොම්නස් බවින් පහන් වූවෝ ස්වාමීනි, තෙමස මෙහි ම වසනු මැනවි යි ප්‍රතිඥා කරවා ගමනාගමනයට පහසු තැනක සෙනසුන් කරවා සිවු පසයෙන් උපස්ථාන කළහ. මහ තෙරහු වස් එළඹෙන දිනයෙහි භික්‍ෂූන්ට අවවාද කළහ: “ඇවැත්නි, ඔබලා විසින් ගෞරව කටයුතු බුදුන් වහන්සේ සමීපයෙහි කමටහන් ගන්නා ලදි. බුදුවරයකු පහළ වීම නම් දුර්ලභ ය. මාසයේ දින අටක් ධර්ම ශ්‍රවණය කොට, ගණසංගණිකාව (කණ්ඩායම් ගැසී සිටීම) හැර දමා අප්‍රමාදී ව වාසය කරවු’යි. ඔවුහු එවක් පටන් යෙදෙත්, එක්වෙත්. සමහර දිනක මුළු රෑ ධර්මශ්‍රවණය කරති, දිනක ප්‍රශ්න විසඳති, සමහර දිනක දැහැන් වඩති. ඔවුන් ධර්ම ශ්‍රවණය කරන දවසේ ධර්ම කථා පවතිද්දී ම අරුණ නැගෙයි. ප්‍රශ්න විසඳන දවසේ ව්‍යක්ත භික්ෂූහු ප්‍රශ්න අසති. පණ්ඩිත (භික්ෂුව) විසඳයි. ප්‍රශ්න ඇසීම් විසඳීම් කෙරෙද්දී ම (අරුණ නැගෙයි). දැහැන් වඩන දවසේ හිරු බැස යද්දී ගෙඩිය ගසා සක්මනට බැස දැහැන් වඩද්දී ම (අරුණ නැගෙයි). ඔවුහු මෙසේ වස් වැස පවාරණය කොට ඉවත් ව ගියහ. ඒ අරභයා මෙසේ කියන ලදි. පරිදෙවමානා දැන් ඒ ආකාර වූ මිහිරි දහම් ඇසුමක් ප්‍රශ්න ඇසීමක්, කොහෙන් ලබන්නෙම් ද ආදිය කියා හඬමින්,
ඛායති ප්‍රකට ව පෙනෙයි (ඇතිවුණු බව) වැටහෙයි. කොමෙ ‘කහං ඉමෙ’ කොහි ද මේ (සවුවෝ), වජ්ජිභූමියා වැදැ රට අභිමුඛ ව ගියාහු මිගා විය මුවන් ඒ ඒ කඳු පාමුල හෝ වන ලැහැබක හැසිරෙනු මෙන් - මෙය අපගේ මව් සන්තක - පියා සන්තක - උරුමයෙන් ආ දේ යි නො ගෙන යම් තැනක ඔවුනට ගොදුරුවල පහසු බව ද හිරිහැර නො මැති බව ද වේ නම් එහි සැරිසරති. අනිකෙතා නිවාස නො මැති භික්ෂූහු ද ඇවැත්නි, මෙය අපගේ ආචාර්ය උපාධ්‍යායන් සන්තක ය, ප්‍රවේණියෙන් පැමිණියේ ය යි නො ගෙන යම් තැනක ඔවුනට සෘතුවලට ඔබින භෝජනයට ඔබින පුද්ගලයනට ඔබින සේනාසනයට ඔබින ධර්මශ්‍රවණයට ඔබින දේ සුලභ වේ ද එහි වෙසෙති.
සතර වැනි සූත්‍රය යි.
5. ආනන්ද සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - ආනන්‍දො ධර්ම භාණ්ඩාගාරික තෙරුන් වහන්සේ, අතිවෙලං සීමාව ඉක්මවා ගිය (බොහෝ) වේලාව්ක; ගිහීසඤ්ඤත්ති බහුලො රාත්‍රියේත් දවාලේත් බොහෝ වේලාවක් ගිහියනට හැඟවීම් කර වන්නාහු; භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි මහා කාශ්‍යප තෙරුන් වහන්සේ අනඳ තෙරුනට (මෙසේ) කී හ: ඇවැත්නි, අපි රජගහ නුවර වස් විසීමට ගොස් ධර්මය සංගායනා කරන්නෙමු. යනු මැනවි, ඔබ අරනට පිවිස උපරිමාර්ගත්‍රය පිණිස වෑයම් කරනු මැනවි.” උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු ගෙන කොසොල් රටට ගොස් එක් ආරණ්‍යවාසයක වැස ඊළඟ දිනයේ එක් ගමකට පිවිසියහ. මිනිස්සු තෙරුන් දැක “ස්වාමීනි, ආනන්දයනි, ඔබ වහන්සේ මීට පෙර බුදුන් වහන්සේ සමග පැමිණෙන්නහු ය, අද හුදෙකලා ව ම පැමිණියහු, බුදුන් වහන්සේ කොතැනක වඩා හිඳුවා පැමිණියහු ද? දැන් කවරෙකුගේ පා සිවුරු ගෙන සැරිසරන්නහු ද? කවරකු හට මුව දෝනා වතුර හා දැහැටි දෙන්නහු ද? කුටිය අමදින්නහු ද? වත් පිළිවෙත් කරහු ද? යි බොහෝ සේ කියමින් වැළපුනාහ. තෙරුන් වහන්සේ, “පින්වත්නි, ශෝක නො කරව්, නො වැළපෙව්. සංස්කාරයෝ අනිත්‍යයහ” ආදිය ඒත්තු ගන්වා - බත් කිස අවසානයේ වසන තැනට ම යති. මිනිස්සු සවසට ද එහි ගොස් එලෙස ම වැළපෙත්. තෙරුන් වහන්සේ ද එසේ ඔවා දෙති. ඒ අරභයා මෙය කියන ලදි. අජ්ඣභාසි මේ තෙරුන් වහන්සේ භික්‍ෂු සංඝයාගේ කථාව අසා ශ්‍රමණ ධර්මය කරන්නෙමැයි අරණට පිවිස දැන් ගිහියනට ඒත්තු ගන්වමින් වාසය කරයි. බුදු සසුන එකතු නො කළ මල් රැසක් මෙන් වූයේ ධර්ම සංග්‍රහය නො කරයි. මොහුට දෝෂාරෝපනය කරමි යි සිතා පැවසී ය.
පසක්කියා පිවිස, හදයස්මිංඔපියා කෘත්‍ය වශයෙන් ද ආරම්මණ වශයෙන් ද හදවතේ බහා නිවනට පැමිණෙන්නෙමි යි වීර්ය කරන්නේ නිර්වාණය කෘත්‍ය වශයෙන් හදවතෙහි බහාලයි නමි. නිර්වාණාරම්මණ සමාපත්තිය අර්පණා කොට ආරම්මණයෙන් හිඳිමින්; ඒ දෙක ම අරභයා මෙය කියයි. ඣායී ධ්‍යාන දෙකින් දැහැන් වඩන්නෙකු වෙව. බිළිබිළිකා ගිහියන් සමග වූ මේ බිළි බිළි කථාව.
පස් වැනි සූත්‍රය යි.