8. පරොසහස්ස සූත්ර වර්ණනාව
අට වැන්නේ - පරොසහස්සං දහසකට වැඩි අකුතොභයං නිවනෙහි කවර දෙසකින් වත් බියක් නැත; නිවනට පැමිණියහුට කෙලෙසකින් වත් භයක් නැතැයි නිවන “අකුතොභයං” නමි. ඉසීනං ඉසිසත්තමො විපස්සී (බුදු හිමියන්ගේ) පටන් සෘෂිවරුන්ගේ සත් වැනි සෘෂිවරයා.
කින්නු තෙ වඞ්ගීස මෙය භාග්යවතුන් වහන්සේ අර්ථ උත්පත්ති වශයෙන් පැවසූ සේක. සංඝයා මැද මේ කථාව හට ගත්තේ ය. වංගීස තෙරුන් වහන්සේ අත් හළ වතාවත් ඇත්තේ උද්දේසයෙහි හෝ ප්රශ්න විචාරීමෙහි හෝ යෝනිසෝ මනසිකාරයෙහි හෝ ක්රියාවක් නො කරයි. ගාථා (ගී) ගොතමින් වචන හා පද කඩමින් සැරිසරයි” ඉක්බිති භාග්යවතුන් වහන්සේ (මෙසේ) සිතූ සේක. මේ භික්ෂූහු වංගීසගේ ප්රතිභා සම්පත්තිය නො දනිති. හිත හිතා කියති යි සිතත්. ඔහුගේ ප්රතිභා සම්පත්තිය දැන ගන්නට සලස්වන්නෙමි යි සිතා “කින්නු තෙ වංගීස” යනාදිය කී සේක.
උම්මග්ගපථං නොයෙක් කෙළෙස් මත්වීම් සිය ගණනක් සසරට මග වන හෙයින් ‘පථ’ (මාර්ගය) යි කියන ලදි. පභිජ්ජකීලානි රාග උල ආදි පස බිඳ හැසිරෙන්නෙහි. තං පස්සථ එසේ මැඩ පවත්වා ද බිඳ දමා ද සැරිසරන ඒ බුදුන් වහන්සේ බලව; බන්ධපමුඤ්චකරං බැඳීම් මුදා ලීම කරන, අසිතං නො සෙවුනා ලද, භාගසො පවිභජ්ජං සතිපට්ඨාන ආදි කොටස් වශයෙන් ධර්මය බෙදන; පවිභජ්ජ යනු හෝ පාඨයකි. අංග ප්රත්යංග කොට්ඨාශ වශයෙන් බෙද බෙදා බලව’ යනු අර්ථ යි.
ඔඝස්ස ඕඝ සතරෙහි, අනෙකවිහිතං සතිපට්ඨාන ආදි වශයෙන් අනේක විධ වූ, තස්මිං තෙ අමතෙ අක්ඛාතෙ ඔහු විසින් ප්රකාශ කරන ලද ඒ අමෘතයෙහි. ධම්මද්දසා ධර්මය දක්නා ලද, (ඊට) කැමති වූවාහු; අසංහීරා “අසංහාරියා හුත්වා” යටත් කර ගැනීමට නො හැකි ව සිටියා වූ,
අතිවිඣා ‘අතිවිජ්ඣිත්වා’ විනිවිද දැන; සබ්බට්ඨිතීනං සියලු දෘෂ්ටිස්ථානයන්ගේ හෝ විඥානස්ථිතීන්ගේ; අතික්කම්මද්දසං ඉක්මවීම වූ නිර්වාණය දුටිමි. අග්ගං උත්තම ධර්මය; ‘අග්ගෙ’ හෝ පාඨයකි, පළමු කොට ම යන අර්ථයි. දසද්ධානං පස් දෙනා හට අග්රධර්මය, පඤ්ච වග්ගීයනට පළමුකොට ම ධර්මය දෙසුවෙහි යනු අර්ථය ය. තස්මා යම් හෙයකින් මේ ධර්මය සුදේශිතය යි දන්නවුන් විසින් ප්රමාදය නො කළ යුත්තේ වේ ද එහෙයින්; අනුසික්ඛෙ ත්රි ශික්ෂාවෙහි පුහුණු වන්නේ ය.
අට වැනි සූත්රය යි.
9. කොණ්ඩඤ්ඤ සූත්ර වර්ණනාව
නව වැන්නේ - අඤ්ඤාකොණ්ඩඤ්ඤො පළමුවෙන් ධර්මය දැන ගත් බැවින් මෙසේ ගන්නා ලද නම් ඇති තෙරුන් වහන්සේ, සුචිරස්සෙව කොපමණ කල් ගත වීමකින් ද? අවුරුදු දොළහක් ය. මෙ පමණ කලක් කොහේ විසුවේ ද? ඡද්දන්ත වනයෙහි මන්දාකිනී පොකුණු තෙර පසේ බුදුවරුන් වසන ස්ථානයෙහි ය. මක් නිසා ද? විහාර ගරුක බව නිසා ය. උන්වහන්සේ ප්රඥාවන්ත මහා ශ්රාවකයා ය. භාග්යවතුන් වහන්සේගේ මෙන් මුන් වහන්සේගේ ගුණ ද දස දහසක් සක්වළ දෙව්මිනිසුන් අතර පැතිරී තිබේ. දෙව් මිනිස්සු, තථාගතයන් වහන්සේ වෙත ගොස් සුවඳ මල්මාලා ආදියෙන් පූජා කොට, අග්ර ධර්මය ප්රතිවේධ කළ ශ්රාවකයාණන් වහන්සේ යි නිරතුරු ව ම තෙරුන් වෙත පැමිණ පූජා කරත්. ළඟට පැමිණියවුනට ද සුදුසු ධර්ම කථා හෝ පිළිසඳර කථා හෝ කළ යුත්තේ වෙයි. තෙරුන් වහන්සේ ද විහාර ගරුක ය. එහෙයින් එය ප්රපංචයක් (ප්රමාද බාධකයක්) මෙන් සිටියි. මෙසේ විහාරගරුක භාවයෙන් එහි ගොස් විසූ හ.
තවත් කාරණයකි : භික්ෂාචාර වේලාවෙහි සියලු ශ්රාවකයෝ වස් පිළිවෙලින් යත්. ධර්ම දේශනා කාලයෙහි මධ්ය ස්ථානයක (මැද) අලංකාර කරන ලද බුද්ධාසනයෙහි බුදුන් වහන්සේ වැඩ සිටින කල්හි, දකුණු අත පැත්තේ ධර්ම සේනාපති (සැරියුත් හිමියෝ)ත්, වම් අත පැත්තේ මහමුගලන් තෙරණුවෝත් අසුන් ගෙන සිටිති. උන්වහන්සේලාට පිටුපස අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුනට ආසනය පනවති. සෙසු භික්ෂූහු උන් වහන්සේලා පිරිවරා වැඩ සිටිති. දෑගසව්වෝ, අග්ර ධර්මය ප්රතිවේධ කළ බැවින් ද මහලු බව නිසා ද තෙරුන් කෙරෙහි ගෞරව සහිත වූවාහු තෙරුන් මහා බ්රහ්මයා මෙන්, ගිනි සිළුවක් මෙන්, සර්පයකු මෙන් ද සිතන්නාහු ධුරාසනයෙහි (ධුරයට හිමි අසුනෙහි) සිටිමින් තැවෙත්; ලජ්ජා වෙත්. තෙරණුවෝ (මෙසේ) සිතති. මුන් වහන්සේලා විසින් ධුරාසන පිණිස අසංඛ්ය කල්ප ලක්ෂයකට අධික කාලයක් පාරමී පුරන ලදි. උන්වහන්සේලා දැන් ධුරාසනයෙහි වැඩ සිටින්නාහු මා ගැන තැවෙති; ලජ්ජා වෙති; උන්වහන්සේලාට පහසු විහරණයක් කරන්නෙමි.”
තෙරුන් වහන්සේ සුදුසු අවස්ථාවෙහි තථාගතයන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, මම ඡද්දන්ත වනයෙහි විසීමට කැමැත්තෙමි’යි” පැවසූහ. බුදුහු අනුමත කළහ. තෙරුන් වහන්සේ සයනාසයන නවා තබා පාත්ර සිවුරු රැගෙන ඡද්දන්ත වනයෙහි මන්දාකිනී ඉවුරට වැඩියහ. පෙර පසේ බුදුවරුන්ගේ සිරිතට අනුව ඇති කර ගත් පුරුද්ද සහිත අට දහසක් ඇත්හු තෙරුන් දැකලා ම අපගේ පින් කෙත පැමිණියේ ය යි නියවලින් තණ කොළ නොමැති සක්මනක් (සක්මන් මළුවක්) කොට ආවරණ ශාඛා ගෙනැවිත් තෙරුනට වාසය කිරීමට ස්ථානයක් සකස් කොට වතාවත් කොට සියල්ලෝ ම එක් රැස් ව (මෙසේ) සාකච්ඡා කළහ. ඉදින් අපි, ‘මොහු තෙරුනට කළ යුතු (මේ) දේ කරන්නේ ය; මොහු (මේ දේ) කරන්නේ ය’යි ගිවිස ගනිමු නම්, තෙරුන් වහන්සේ බොහෝ නෑයින් සිටින ගමට ගියාක් මෙන් මැනවින් සෝදන ලද පාත්රයෙන් යුතු ව යනු ඇත. (දාන) මුරය බැගින් උන්වහන්සේ හා ගිවිස ගන්නෙමු. එක් එක් අයගේ මුරය ආ කල අන්යයන් විසින් ද ප්රමාද නො විය යුතු යයි මුර තබා ගත්හ. මුරයට පැමිණි හස්තියා හිමිදිරියෙන් ම තෙරුනට මුව දෝනා වතුර ද දැහැටි කුරු ද තබයි. වතාවත් කරයි.