9. කොණ්ඩඤ්ඤ සූත්ර වර්ණනාව
නව වැන්නේ - අඤ්ඤාකොණ්ඩඤ්ඤො පළමුවෙන් ධර්මය දැන ගත් බැවින් මෙසේ ගන්නා ලද නම් ඇති තෙරුන් වහන්සේ, සුචිරස්සෙව කොපමණ කල් ගත වීමකින් ද? අවුරුදු දොළහක් ය. මෙ පමණ කලක් කොහේ විසුවේ ද? ඡද්දන්ත වනයෙහි මන්දාකිනී පොකුණු තෙර පසේ බුදුවරුන් වසන ස්ථානයෙහි ය. මක් නිසා ද? විහාර ගරුක බව නිසා ය. උන්වහන්සේ ප්රඥාවන්ත මහා ශ්රාවකයා ය. භාග්යවතුන් වහන්සේගේ මෙන් මුන් වහන්සේගේ ගුණ ද දස දහසක් සක්වළ දෙව්මිනිසුන් අතර පැතිරී තිබේ. දෙව් මිනිස්සු, තථාගතයන් වහන්සේ වෙත ගොස් සුවඳ මල්මාලා ආදියෙන් පූජා කොට, අග්ර ධර්මය ප්රතිවේධ කළ ශ්රාවකයාණන් වහන්සේ යි නිරතුරු ව ම තෙරුන් වෙත පැමිණ පූජා කරත්. ළඟට පැමිණියවුනට ද සුදුසු ධර්ම කථා හෝ පිළිසඳර කථා හෝ කළ යුත්තේ වෙයි. තෙරුන් වහන්සේ ද විහාර ගරුක ය. එහෙයින් එය ප්රපංචයක් (ප්රමාද බාධකයක්) මෙන් සිටියි. මෙසේ විහාරගරුක භාවයෙන් එහි ගොස් විසූ හ.
තවත් කාරණයකි : භික්ෂාචාර වේලාවෙහි සියලු ශ්රාවකයෝ වස් පිළිවෙලින් යත්. ධර්ම දේශනා කාලයෙහි මධ්ය ස්ථානයක (මැද) අලංකාර කරන ලද බුද්ධාසනයෙහි බුදුන් වහන්සේ වැඩ සිටින කල්හි, දකුණු අත පැත්තේ ධර්ම සේනාපති (සැරියුත් හිමියෝ)ත්, වම් අත පැත්තේ මහමුගලන් තෙරණුවෝත් අසුන් ගෙන සිටිති. උන්වහන්සේලාට පිටුපස අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුනට ආසනය පනවති. සෙසු භික්ෂූහු උන් වහන්සේලා පිරිවරා වැඩ සිටිති. දෑගසව්වෝ, අග්ර ධර්මය ප්රතිවේධ කළ බැවින් ද මහලු බව නිසා ද තෙරුන් කෙරෙහි ගෞරව සහිත වූවාහු තෙරුන් මහා බ්රහ්මයා මෙන්, ගිනි සිළුවක් මෙන්, සර්පයකු මෙන් ද සිතන්නාහු ධුරාසනයෙහි (ධුරයට හිමි අසුනෙහි) සිටිමින් තැවෙත්; ලජ්ජා වෙත්. තෙරණුවෝ (මෙසේ) සිතති. මුන් වහන්සේලා විසින් ධුරාසන පිණිස අසංඛ්ය කල්ප ලක්ෂයකට අධික කාලයක් පාරමී පුරන ලදි. උන්වහන්සේලා දැන් ධුරාසනයෙහි වැඩ සිටින්නාහු මා ගැන තැවෙති; ලජ්ජා වෙති; උන්වහන්සේලාට පහසු විහරණයක් කරන්නෙමි.”
තෙරුන් වහන්සේ සුදුසු අවස්ථාවෙහි තථාගතයන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, මම ඡද්දන්ත වනයෙහි විසීමට කැමැත්තෙමි’යි” පැවසූහ. බුදුහු අනුමත කළහ. තෙරුන් වහන්සේ සයනාසයන නවා තබා පාත්ර සිවුරු රැගෙන ඡද්දන්ත වනයෙහි මන්දාකිනී ඉවුරට වැඩියහ. පෙර පසේ බුදුවරුන්ගේ සිරිතට අනුව ඇති කර ගත් පුරුද්ද සහිත අට දහසක් ඇත්හු තෙරුන් දැකලා ම අපගේ පින් කෙත පැමිණියේ ය යි නියවලින් තණ කොළ නොමැති සක්මනක් (සක්මන් මළුවක්) කොට ආවරණ ශාඛා ගෙනැවිත් තෙරුනට වාසය කිරීමට ස්ථානයක් සකස් කොට වතාවත් කොට සියල්ලෝ ම එක් රැස් ව (මෙසේ) සාකච්ඡා කළහ. ඉදින් අපි, ‘මොහු තෙරුනට කළ යුතු (මේ) දේ කරන්නේ ය; මොහු (මේ දේ) කරන්නේ ය’යි ගිවිස ගනිමු නම්, තෙරුන් වහන්සේ බොහෝ නෑයින් සිටින ගමට ගියාක් මෙන් මැනවින් සෝදන ලද පාත්රයෙන් යුතු ව යනු ඇත. (දාන) මුරය බැගින් උන්වහන්සේ හා ගිවිස ගන්නෙමු. එක් එක් අයගේ මුරය ආ කල අන්යයන් විසින් ද ප්රමාද නො විය යුතු යයි මුර තබා ගත්හ. මුරයට පැමිණි හස්තියා හිමිදිරියෙන් ම තෙරුනට මුව දෝනා වතුර ද දැහැටි කුරු ද තබයි. වතාවත් කරයි.
මන්දාකිනී නම් වූ මේ විල යොදුන් පනහක් වේ. එහි යොදුන් විසි පහක් පමණ වූ තැන දිය සෙවල හෝ පණක හෝ නැත. පළිඟු වන් ජලය ම වේ. ඉන් ඔබ්බට ඉඟටිය ප්රමාණ වූ ජලයෙහි අඩ යොදුනක් පැතිරී සුදු නෙළුම් වනය යොදුන් පනහක් වූ විල වට කොට සිටියේ ය. ඉන් අනතුරු ව එපමණ මහත් රත් නෙළුම් වනය ය; ඉන් ඔබ්බට රන් කුමුදු වනය ය; ඉන් අතුරු ව සුදු කුමුදු වනයය; ඉන් අනතුරු ව නිලුපුල් වනය ය. ඉන් අනතුරු ව රතුපුල් වනය ය. ඉන් අනතුරු ව සුවඳ රත් සල් වනය ය. ඉන් අනතුරු ව කැකිරි, ලබු, කොමඩු ආදි මිහිරි රසයෙන් යුත් වැල් පල ය. ඉන් අනතුරු ව අඩ යොදුනක් පැතිරි උක් වනය ය. එහි පුවක් ගසක කඳ ප්රමාණ වූ උක් ය. ඉන් අනතුරු ව කෙසෙල් වනය ය. එයින් ගෙඩි දෙකක් කන්නෝ වෙහෙසට පත් වෙති. ඉන් අනතුරු ව හැලියක් පමණ ගෙඩි ඇති කොස් වනය ය. ඉන් පසු අඹ වනය ය. ඉන් පසු දඹ වනය ය. ඉන් අනතුරු ව දිවුල් වනය ය. කෙටියෙන් ම ඒ විලෙහි කෑ යුතු ඵලයක් නම් නැතැයි නො කිව යුතුය.
මල් පිපෙන කල්හි වාතය රේණු වැටි නංවා පියුම් විල කොළවල හෙළයි. එහි ජලය බින්දු වී වැටේ. ඉන් පසු හිරු රැස් ගින්නෙන් රත් වී රත් වුණු යකඩ ගුලියක් මෙන් වේ. එය ‘පුෂ්කරමධු’ නමි. එය තෙරුන් වහන්සේට ගෙනැවිත් දෙති. නෙළුඹු දැලි නගුලිස පමණ වේ. එය ද ගෙනැවිත් දෙත්; නෙළුම් රිකිලි දවුල්හමක් පමණ වේ. එහි එක පුරුකක කළයක් පමණ වූ කිරි වේ. එය ගෙනැවිත් දෙති. නෙළුම් ඇට මිහිරි සකුරු සමග යොදා දෙති. උක් දඬු ගල්තලාවේ තබා පයින් පාගති. එයින් යුෂ ගලා විත් ගල් වළේ පුරවා අව්වෙන් රත් වී කිරිගරුඬ ගුලියක් මෙන් වෙයි. එය ගෙනැවිත් දෙති. කොස්, කෙසෙල්, අඹ ගෙඩි ආදිය ගැන කථාවක් ම නැත.
කෛලාස පර්වතයෙහි නාගදත්ත නම් දිව්ය පුත්රයෙක් වසයි. තෙරුන් වහන්සේ කලින් කල ඔහුගේ විමන් දොරට යන සේක. හේ අළුත් ගිතෙල්, නෙළුම් රේණු පැණි සුණු සහිත දිය මඳ කිරිබතින් පාත්රය පුරවා දෙයි. හේ කාශ්යප බුදුන් සමයෙහි වර්ෂ විසි දහසක් සුවඳ ගිතෙලින් යුත් කිරිසලාකයක් දුන්නේ ය. එයින් ඔහුට මේ භෝජන ඇති වේ.
මෙසේ තෙරුන් වහන්සේ දොළොස් වසක් වැස තමාගේ ආයු සංස්කාරය බලන සේක් (ආයු) ගෙවී ගිය බැව් දැන කොතැන පිරිනිවන් පාන්නෙම් දැයි සිතා ඇතුන් විසින් මා හට දොළොස් වසරක් උපස්ථාන කරමින් දුෂ්කර දෙයක් කරන ලදි. බුදුන් වහන්සේ ලවා අනු දන්වාගෙන ඔවුන් සමීපයෙහි පිරිනිවන් පාන්නෙමි යි අහසින් භාග්යවතුන් වහන්සේ සමීපයට පැමිණියහ. එහෙයින් සුචිරස්සෙව යෙන භගවා තෙනුපසංකමි’ යි කියන ලදි.